*
Sunday, May 5, 2024
spot_img

Latest Posts

ඉන්දීය ව්‍යාප්තවාදය ෆැන්ටසියක් ද …?

ඉන්දීය ආයෝජන හැටියට ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ යෝජිත “ආර්ථික කලාපය” වෙත ලාංකේය වාමාංශිකයින්ගේ ඇති විරෝධය හුදෙක් “ඉන්දීය ව්‍යාප්තවාදය” කරගසාගෙන යාමේ දී මතුවන අවිඥ්ඥානික බියක් හැටියට තේරුම් ගතහැකිය යන්න මාගේ අදහසයි.

“ඉන්දීය ව්‍යාප්තවාදය” රෝහණ විජේවීර සහෝදරයා විසින් ජ.වි.පෙ නිර්මාණය කරනවිට ඊට ඇතුල් කරනලද්දේ ඔහු ඊටපෙර නියෝජනය කළ “චීන” පිලෙනි. ඒ කාලවකවානුවේදී චීන කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන පෙලේ සතුරෙක් වූයේ ඉන්දියාවයි. එබැවින් චීන පිල එකපිම්මේම චීන කොමියුනිස්ට් පක්ෂය සතුටු කිරීම සඳහා ඉන්දීය විරෝධය මුළුමනින්ම කරට ගන්නාලදී. එහි ප්‍රතිපලයක් ලෙස මේ ඉන්දියන් ව්‍යාප්තවාදය චීන පිලේ නිදන්ගත (inherent) රෝගයක් බවට පත්වෙන ලදී.

රෝහණ විජේවීර සහෝදරයා ජවිපෙ නිර්මාණය කිරීමේදී මෙම ඉන්දියන් ව්‍යාප්තවාදය එහි පැවැත්වූ දේශපාලන පංති 5න් එකක් ලෙස ඊට ඇතුලත් කරන ලදී. එතැන් පටන් ජවිපෙ හැම සාමාජිකයෙක්ම තුලම මේ ඉන්දියන් විරෝධය නිදන්ගතවන්නට විය (built in).

නමුත් මීට පරිභාහිරව “පැරණි වම” ලෙස හඳුන්වන්නාවූ ලංකා සමසමාජ පක්ෂය (LSSP) සහ ලංකා කොමියුනිස්ට් පක්ෂය (CP) යන පක්ෂවල නායකයින්, විශේෂයෙන් සමසමාජ නායකයින් විශ්වාස කළේ ඉන්දියාවේ සමාජවාදී විප්ලවයේ ජයග්‍රහණයන් ලංකාවේ සමාජවාදී විප්ලවයේ ජයග්‍රහණයන් ආරක්ෂා කරගැනීමට ඉතා වැඳගත්වන බවයි. ඒ අනුව ඉන්දියාවේ සමාජවාදී විප්ලවය සාක්ෂාත් කරගැනීමේ වැඳගත්කම ඔවුන් මීට දශක 6 කටත් පෙරසිටම දැකතිබූබව පැහැදිලිය. මේ අවබෝධය තුලින් ඔවුන් ඉන්දියාවේ වාමාංශික දේශපාලන ව්‍යාපාර ඇරඹීමට පවා ඉදිරිපත් වුනු අතර ඒ තුල ඔවුන් අදහස් කලේ ඉන්දියන් වැඩකරන ජනතාව සමඟ එක්ව එකපෙරමුණක දේශපාලනය කලයුතු බවත්, ඉන්දියාව යනු මේ කළාපය තුල ඉතා වැඳගත් සාධකයක් බැවින් ඒ තුල වාමාංශික ව්‍යාපාරයක් තහවුරු කිරීම අනිවාර්‍ය කොන්දේසියක් වන බවයි.

මේ ඉහත අදහස් උඩ 1940-43 කාලවකවානුවේදී සමසමාජ පක්ෂ නායක N.M.පෙරේරා, ඔහුගේ බිරිඳ සෙලීනා පෙරේරා ඇතුළු කංඩායමක් ඉන්දියාවට ගොස් ඉන්දියාවේ “බෝල්ෂෙවික්-ලෙනින්වාදී පක්ෂය (Bolshevik-Leninist Party of India-BLPI) සමඟ ක්‍රියාත්මක විය. ඇත්තෙන්ම මේ BLPI පක්ෂය ගොඩනැගීමේ රහසිගත රැස්වීම් පවා පවත්වා තිබුනේ මහනුවර ප්‍රදේශයේදීය. මේ අනුව පැරණි වාමාංශික නායකයින් විශේෂයෙන් “ට්‍රොස්ට්කිවාදී” නායකයින් ලංකාවේ සමාජවාදී විප්ලවය සඳහා ක්‍රියාත්මක වීමේදී ඊට සමාන්තරව ඉන්දීය වැඩකරන පංතිය සමඟද සහයෝගයෙන් වැඩකිරීම ඉතාම වැඳගත් කර්තව්‍යක් ලෙස දක්නා ලදී.

නමුත් ඉන් අනතුරුව 1965න් පසුව ජවිපෙ නිර්මාණය වෙද්දී මේ ඉන්දියානු සාධකය කිසියම්වූ සතුරු විරෝධී ආස්ථානයක තබාගැනීමට වගබලාගන්නා ලදී. විශේෂයෙන් විජේවීරයන් ඇතුළු ජවිපෙ ප්‍රමුඛ පෙලේ නායකයින් තුල මුල්බැස තිබුනේ ඉන්දියාව පිළිබඳ වෛරය මුසු හැඟීමකි. නිතරම ඔවුන් දුටුවේ ඉන්දියාව විසින් ලංකාව කොයිවෙලේ හෝ ගිලගැනීමට හෝ ඩැහැගැනීමට මානබලමින් සිටින බවකි.

ඒ අනුව 1986 දී ප්‍රකාශයට පත් රෝහණ විජේවීර සහෝදරයා විසින් රචිත “දෙමළ ඊළාම් අරගලයට විසඳුම කුමක්ද?” යන පොතේ ඔහු කියාසිටියේ, උතුරේ සටන්කාමී කොටස් ප්‍රමුඛව ගෙනයන එම උතුරේ අරගලය කේන්ද්‍රගත වී ඇත්තේ “චෝල” අධිරාජ්‍යයේ ඓතිහාසික උරුමය බවයි. මෙය ඉන්දියාවේ ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් පක්ෂය ඉන්දියාවේ “ද්‍රවිඩනාඩු”නමින් ඉල්ලා සිටින චෝල අධිරාජ්‍යයේ උරුමයට සමානවන බවයි. එම ග්‍රන්තයේ තවදුරටත් කරුණු දක්වන රෝහණ සහෝදරයා දකුණු ඉන්දියාවේ “මුම්මුඩ චෝල මංඩලම්” යනුවෙන් යලිපිහිටවීමට නියමිත චෝල අධිරාජ්‍යයට ලංකාවේ “උතුර” ඈඳාගැනීමේ උපායමාර්ගයක් බවත්, අනෙත් අතට ඇමරිකාව විසින් ඉන්දියාව කැබලි කිරීමේ ව්‍යාපෘතියේ මෙය තවත් එක් පියවරක් බවයි.

නමුත් මේ රෝහණ සහෝදරයා මෙම “දෙමළ ඊළාම් අරගලයට විසඳුමකුමක්ද?” යන පොත ප්‍රකාශයට පත්කොට දැන් අවුරුදු 40 ක් පමණ ඉක්මගොසිනි. එසේනම් අදවනවිට මේ රෝහණ සහෝදරයා එම පොතේ පෙන්වාදුන් “මුන්මුඩ චෝල මන්ඩලම්” ව්‍යාපෘතිය සැලකියයුතු මට්ටමකින් ඉඳිරියට ගොස් ඇතිබව සහ අප ඉදිරියේ මේ වනවිට ඒබව පැහැදිලිවම දර්ශනය වියයුතුය.

එහෙත් සිදුවී ඇත්තේ කුමක්ද? ඉන්දියාව තම මිතුරු පාර්ශවයන් ලෙස හිටගත් සෝවියට් කඳවුර අතහැර (1989-91) කාලයේදී, ඔවුන් බටහිර කඳවුර දෙසට නැඹුරුවී බංකොලොත් වුනු තම ආර්ථිය IMF හරහා ණයලබාගෙන ලොව 5 වෙනි ආර්ථික බලවතා බවට ඉදිරියට විත්, ඇමරිකාව සමඟ මිත්‍රවී, අදවනවිට ඉන්දියාවේ ප්‍රධාන වෙළඳ ගණුදෙනු කරුබවට ඇමරිකාව පත්කරගෙන ඇත. එපමණක් නොව, ඉන්දියාව විසින් 2022 වසර තුලදී පමණක් ඇමරිකාවට ඩොලර් බිලියන 80 වකට වැඩි භාණ්ඩ ප්‍රමාණයක් අපණයනය කොට ඇත. මෙම ප්‍රමාණය 1991 වසරේදී තිබුනේ ඩොලර් මිලියන 2.6 ක ප්‍රමාණයක් වශයෙනි. එනම් අදවනවිට ඩොලර් මිලියන 2.6 ක ප්‍රමාණය ඩොලර් බිලියන 80 කට වැඩිප්‍රමාණයක් දක්වා වැඩිදියුණු කරගෙන ඇත. එමෙන්ම 2023 දී ඇමරිකාව සහ ඉන්දියාව අතර වෙළඳ ගණුදෙනු ඩොලර් බිලියන 128 ද ඉක්මවා යනුලබයි. දැන් ඇමරිකාවට ඉන්දියාව කැබළිකිරීමට ඇති අවශ්‍යතාව කුමක්ද? සෝවියට් කඳවුර සහ ඇමරිකාව අතර තිබූ ශීතල යුද්ධය නිමාවී ඇමරිකාව සහ චීනය අතර යම් ඝට්ටනයක් ඇතිවී ඇති මොහොතක, ඉන්දියාව ඇමරිකාව සමග ඇති අමනාපකම් ඉතා අඩු මට්ටමක පවතින මොහොතක ඇමරිකාව විසින් ඉන්දියාව කැබලි කිරීමට උත්සාහ ගැන්නවායැයි කියන පැරණි කථාව කොපමණ තවදුරටත් වලංගුද යන්න සැකසහිතය.

එසේම විජේවීරයන් අදහස් කළ “මුම්මුඩ චෝල මංඩලම්” ගැන සලකා බැලීමේදීද, එදා විජේවීර සහෝදරයා ඒ පිළිබඳව ලියූ කාලයේ දකුණු ඉන්දියාව ලෙස තිබුනේ තමිල්නාඩු, අන්ද්‍රා ප්‍රදේශ්, කර්ණාටක සහ කේරල යනුවෙනි. නමුත් වත්මන් තත්වය තුලදී, මේ වසරේදී අන්ද්‍රා ප්‍රදේශ් ද ප්‍රාන්ත දෙකකට කඩා එක් ප්‍රාන්තයක් ලෙස “තෙලඟානා” වශයෙන් ඉන්දීය රජය නම්කරන ලදී. ඒ අනුව ෆෙඩරල් ක්‍රමය තුල ඉදිරියට යන ඉන්දියාව මේ වනවිට එසේ දකුනු ඉන්දියාව තුල ස්වෝත්තමවාදයන් ඇතිවීමට වඩා එහි ඇතිවී ඇති ආර්ථික වර්ධනය හේතුවෙන් දකුණු ඉන්දියාවේ ආර්ථික වර්ධන වේගය 14% ක් ඉක්මවා යන තත්වයක් අත්කරගෙන ඇති අතර එය මුළු ඉන්දීය ආර්ථිකයෙන් 35% ක ප්‍රමාණයකි. එනම් දකුණු ඉන්දියාවේ ආර්ථිකය මුළු ඉන්දියාවේ ආර්ථිකයෙන් තුනෙන් පංගුවකටත් වඩා වැඩිවේ.

ඉතා වේගයෙන් කාර්මිකකරණයට ලක්වන දකුණු ඉන්දියාවේ වත්මන් තරුණ පරපුරට අවශ්‍ය වී ඇත්තේ මුම්මුඩ චෝල මංඩලම් වෙනුවෙන් සටන්කර ඊනියා මව්බිම වෙනුවෙන් දිවිපිදීමට නොව, තාක්ෂණික ලෝකයේ තව තවත් ඉදිරියට ගොස් ලොවපුරා ඔවුනට විවෘතව ඇති රැකියා උල්පත් පිරවීම හරහා ඔවුන්ගේ අනාගතය අති සාර්ථක කරගැනීමටය.

ඉන්දියාවේ ප්‍රසාරණය වන වෙළඳපොල හමුවේ එහි නිෂ්පාදන අසල්වැසි රටවල්වල වෙළඳපොලවල් ආක්‍රමණය කිරීම ලාංකීය වාමාංශිකයින් විසින් ඉන්දීය ආක්‍රමණයක් ලෙස වැරදි වැටහීමක් ඇතිකරගෙන ඇතිබව පෙනේ. මාක්ස්ට අනුව ප්‍රාග්ධන සංතතිය යනු ලොවපුරා අස්සක් මුල්ලක් නෑර වෙළඳපොලවල් ඉවකරමින් සැරිසරන ප්‍රපංචයක් මිස, එය එකතැන පල්වන (standstill) ආකාරයක් කිසිසේත් පෙන්නුම් නොකරයි. ඒ අනුව ප්‍රාග්ධනය, වෙළඳපොල ආදිපත්‍ය බලවත් රටවල්වල සිට කුඩා නොදියුණු රටවලට වෙළඳපොල සොයා හෝ ඒවා ස්ථාපනය සඳහා පැමිණියේද ආක්‍රමන, බලහත්කාරකම් සහ නොයෙක් විදියේ සටකපටකම්, විජ්ජා හරහා වියහැක.

ලංකාවේ පැවති පසුගාමී රාජාංඩු ක්‍රමය පෙරළා උඩු යටිකුරු කොට ඒ වෙනුවට කාර්මිකකරණය ගෙනඒමේදී වෙල්ලස්සේ කැරළි කුඩුපට්ටම්කොට, භවභෝග විනාශකොට, ජනයා ලේ සාගරයක ගිල්වා රාජාංඩුව සුනුවිසුනු කොට, ඒතුල සිය කාර්මිකකරණය සඳහා අඩිතාලම දැමීමට මෙකී ආක්‍රමනිකයින්ට සිදුවිය. ලංකාවේ පමණක් නොව ආසියාවේ, ලතින් ඇමරිකාවේ මෙන්ම අප්‍රිකාවේ සිදුවූවේද එයමය. කියුබාවේ අධිරාජ්‍යවාදීන් ලතින් ඇමරිකාවේ මුල්ම රේල් පාර හදනවිට රේල් පාරේ සෑම සැතැප්මකටම වහලුන් 13 ක් දිවිපිදූ බව කියවේ.

මේ කියන අධිරාජ්‍යවාදීන් නවසීලන්තයේ කාර්මිකකරණයට අවශ්‍ය අඩිතාලම දැමීමට නවසීලන්තයට එනවිට නවසීලන්තයේ එවක සිටඇත්තේ මිනීමස් පවා බුදින දඩයමින් ජීවත්වන දේශීය ජනකොටසකි. එහිදී නවසීලන්තයට පැමිණි මුල් සුදුජාතිකයින්ව මරා පුලුස්සා ආහාරයට ගෙනඇතිබවත් ඔවුන් පැළඳි සපත්තු පවා කෑමට උත්සාහ ගෙනඇති බවත් කියවේ. එසේම මේ කියන ආක්‍රමිකයින් එදා ඇමරිකාවට එනවිට එහිසිටි ස්වදේශිකයින් වන රතු ඉන්දියන් ජාතිකයින් ලේ සාගරයක ගිල්වා එහි කාර්මිකකරණයට අවශ්‍ය අඩිතාලම දැමූ බවත් අපි හොඳාකාරවම දනිමු. මේ ආකාරයට ගත්විට එකී බලවත් රටවල් විසින් තම වෙළඳපොල ප්‍රසාරණයේදී සහ ඊට අවශ්‍ය නිෂ්පාදන අමුද්‍රව්‍ය කොල්ලකෑමේදීත් මුළු ලෝක ඉතිහාසයම ගලාගෙන ගියේ ලේ වැකුනු දඩබිමක බව ඉතා පැහැදිලිය. ඒ ඉතිහාසය තුල මතුවී පැමිණි කොන්දේසි හරහා සමාජ සංවර්ධනය උදෙසා ඉතිහාසය ගලාගෙන පැමිණි ආකාරයයි.

ලෙනින් විසින් 1916 දී ලියනලද “අධිරාජ්‍යවාදය ධනවාදයේ ඉහලම අවදිය” යන පොතේ අධිරාජ්‍යවාදය ගැන හැදින්වීම ආකාර 5 කින් සැඳුම්ලත් බව අප කියවා ඇත්තෙමු. ඒවානම්,

  • තරඟය වෙනුවට ඒකාධිකාරය බිහිවීම,
  • මූල්‍ය ප්‍රාග්ධනය මත කතිපයාධිපතිත්වයක් බිහිවීම,
  • භාණ්ඩ අපණයනය වෙනුවට මූල්‍ය ප්‍රාග්ධනය අධිනිශ්චය වීම,
  • ධනවාදී රටවල් විසින් ලෝකය බෙදා වෙන්කරගැනීම අවසන් වීම සහ
  • ලෝකය බෙදාගැනීමට ප්‍රභල සමාගම් ක්‍රියාකිරීම ලෙස ලෙනින් විසින් හඳුන්වාදුන් අධිරාජ්‍යවාදයේ ලක්ෂණයි.

නමුත් අදවනවිට එනම් 21 වන සියවසට පියනගා ඇතිවිට ලෝකයේ ධනේශ්වරයේ වත්මන් අර්බුදය හමුවේත්, තනි අක්ෂයක ක්‍රියාත්මක වීම වෙනුවට අක්ෂ කීපයක ක්‍රියාත්මක වීම් බලාත්මක වී ඇති තත්වයක් තුලදීත්, ලංකාවේ භූගෝලීය පිහිටීමේ ස්වභාවය ඉන්දියාවට මෙන්ම චීනයටද එය ඉතා වැඳගත් වනබව පෙනීයයි. විශේෂයෙන් තම රටවල දොරකඩ අභියස තම සතුරාගේ තිප්පොලක් ඇතිවීම මේ දෙපලම නුරුස්සයි. එය ඇමරිකාව තම දොරකඩ ආසන්නයේ ඇමරිකන් විරෝධී සහ රුසියන් රූකඩ කියුබාවක් පිහිටා තිබීම නොරිස්සුවා යම්සේද, රුසියාවේ පුටින් තම දොරකඩ අභියස බටහිර නෙටෝවේ රූකඩයක් ලෙස යුක්‍රේනය පිහිටීම නොරිස්සුවා යම්සේද, ලංකාවද මේ දෙරටෙන් කොයියම් රටක රූකඩයක් වනවාට අනිත් රට කැමති නොවේ. ඒ ඔවුන්ගේ රටේ ආරක්ෂක තත්වය සැලකිල්ලට ගෙන සහ ඊට යටින් සැඟවුනු ඔවුන්ගේ වෙළඳපොල ව්‍යාප්තිය යන කරුණු මතය.

එබැවින් ලංකාවෙ පාලකයින් මේ දෙරට සමඟ ගණුදෙනු කිරීම ඉතා ඥාණාන්විතව කළයුතුබව පැහැදිලිය. එපමණක් නොව ලාංකික වාමාංශිකයින් තේරුම් ගතයුතු යථාර්ථය වන්නේද මේ දෙරට රජයන් මෙන්ම වැඩකරන ජනතාව සමඟද ගණුදෙනු කලයුතු සහ දේවල් කළමණාකරණය කලයුතු ඥාණාන්විත ක්‍රමවේදය කුමක්ද යන්නයි. එහෙත් අද අපට දක්නට ලැබෙන්නේ ලාංකීය වාමාංශිකයින් විසින් ඉන්දියානු අගමැති මෝදි මහතාගේ අනුරූ ගිනිතැබීම වැනි ලාබාල “ජනතාවාදය” චූන් කිරීම් මිස හරියාකාර ප්‍රවිශ්ඨයන් ගැනීමක් පෙන්නුම් කිරීමක් නම් නොවේ. ඉන්දියාව යම්කිසි මට්ටමක ලංකාව තුල කරගෙන යන්නාවූ ක්‍රියාමාර්ගවලට යම් විරෝධයක් ගෙන ආ යුත්තේ ඉන්දියන් වැඩකරන ජනතාව හරහා මිස ලංකාවේ සිට මෝදි මහතාගේ පිංතූර ගිනිතැබීමෙන් නම නොවේ. මේ ජාතික වාමාංශිකයින් නැවත නැවතත් උත්සන්න කිරීමට යත්න දරන “ඊනියා ඉන්දීය විරෝධය”තුල නැවත පණගසා එන්නේ ඉන්දීය විරෝධී දේශප්‍රේමයයි. මේ පරීක්ෂණය 1989 දී ගෙඩිපිටින් අසාර්ථක උනු බවක් නොදැක නැවත ඉතිහාසයේ එකමසිදුවීම නැවතත් ඒ ආකාරයෙන්ම සිදුකිරීම යත්න දැරීම ඉතා හාස්‍යජනක බවනම් කිවයුතුමය.

බොහෝ ස්ටැලින්වාදී බෝල්ෂෙවික් වාදීන් ( ලොවපුරාම මොවුන් සීග්‍රයෙන් වඳවීමේ රෝගයට භාජනය වී ඇත) “තනිරටේ සමාජවාදය” නැමැති උගුලේ පැටලී ඇතිබවනම් කිසිදු සැකයක් නොමැත. මේ උගුලෙන් ගොඩඒමේ කිසිදු උත්සාහයක් හෝ ඒ බව පෙනෙන තෙක් මානයකවත් නොමැත. එදා මාඕවාදී චීනපිලෙන් බිඳී වෙන්වුනු විජේවීර ඇතුලු බොහෝ දෙනා විවිධාකාර රැඩිකල් ඩායම් ගොඩනැගූහ.

ප්‍රගති පෙරමුණු සංවිධානය, පෙරදිග සුලඟ කංඩායම, ගිනි පුපුර වැනි කංඩායම් මේ අතරින් කීපයක් වන අතර ජනතා විමුක්ති පෙරමුණද ඒ අනුව විජේවීරයන් ගොඩනැගුවේ චීන පිලෙන් කැඩී වෙන්වීමෙනි. ඉහත නම්කල සෑම කංඩායමකම එක් ප්‍රධාන ලක්ෂනයක් නම් කම්කරු පංතිය විප්ලවවාදී බලවේගය බවට ප්‍රායෝගික තලයේදී නොපිලිගැනීමයි. මෙයින් සමහර කංඩායම් “මහජනතාව” මතද, සමහරු “සිංහල ජනතාව” මතද, සමහරු “ගොවි ජනතාව” මතද දැඩිසේ පදනම් වුනු අතර සියල්ලෝම වාගේ ස්ටැලින්වාදී බෝල්ශෙවික්වාදයේ ප්‍රධාන ලක්ෂනයක් වන “මහජන පෙරමුණු” නැත්නම් පළල් “මහජන බලයන්” ගොඩනැගීමට උත්සාහ දැරීය.

ඉන් අනතුරුව ජවිපෙන් බෙදී වෙන්වුනු අනිකුත් කංඩායම්ද ඔවුන්ගේ මූලික අරමුනු කරගත්තේද “මහජන බලයක්” ගොඩනැගීමටයි. එය කොතෙක් දුරකට අදවනවිට විකාරයක් බවට පත්වී ඇත්දැයි කියතොත් අදවන විට හංදියක් හංදියක් ගානේ මේ කියන වාමාංශිකයින් විසින් “මහජන බලයන්” ගොඩනැගීමට මුලු වැරයොදා උත්සාහ කරනු පෙනේ. මේ හැදීමට උත්සාහ කරන්නාවූ මේ කියන මහජන බලය කිසිවිටක විප්ලවකාරී ජීවයක් අත්කරනොගන්නා බවත්, එකී විප්ලවීය ඉම්පෙටස් එක (impetus) එක ඇත්තේ කම්කරු පංතිය තුල පමණක් බවත් මොවුන් කිසිවිටෙකත් සැලකිල්ලට නොගනී. අනිත් අතට මේ ජනතාවාදය චූන් කිරීමට අවශ්‍ය වන්නේද “ඊනියා දේශප්‍රේමය”, “ආක්‍රමිකයාගෙන් රටබේරාගැනීම”, “අහිමිවන ගොවි ඉඩම් වෙනුවෙන් වැලපීම”, “රටේ සම්පත් ඩැහැගැනීම” වැනි 21 වනසියවසේ ප්‍රායෝගික නොවන ඉතා පසුගාමී පුස්කෑ සටන්පාඨ වීමද ඉතාමත් අභාග්‍යකි.

අද ලෝකය ගෝලීය වශයෙන් එක ගමක් වී ඇතිබවත් ඒ ගෝලීයගමතුල රටවල් හැටියට ඇති දේශසීමා වැඩකරන ජනතාවට අදාල නොවනබව මේ ජාතික වාමාංශිකයින් තවමත් වටහාගෙන ඇතිබවක් නොපෙනේ. ත්‍රීඩී තාක්ෂණය භාවිතාවෙන් මුද්‍රණ යන්ත්‍ර මගින් ආහාර දුරින් සිට නිපදවා ගතහැකි ලොවක, පරීක්ෂනාගාර තුල කෘතිම මස් වර්ග නිපදවා වෙළඳපොලට එන මොහොතක, ත්‍රී ඩී ප්‍රින්ටර් තාක්ෂණයයෙන් නිවාස ඉදිකරන මොහොතක, විද්‍යාගාර තුල හඳවත් කෘතිමව වර්ධනය කරවා ඒවා ශල්‍යකර්ම මගින් සිරුරු වල plant කරන මොහොතක, අභ්‍යවකාශය තුල කර්මාන්‍ත ඇතිකිරීමට වෙරදරන මොහොතක, ලොව බිලියන පතියන් එකතුව ධනවාදය shape up කිරීමට සැරසෙන මොහොතක, අපේ රැඩිකල් ජාතික වාමාංශිකයින් ගොවි ඉඩම් කොල්ලකනවෝ, රටේ සම්පත් කොල්ලකනවෝ කියන සටන් පාඨ වලම ලැගසිටීම විස්තරකරගන්නේ කෙසේදැයි වෙනම සිතා බැලිය යුතු කාරණයකි.

මේ තුලින් මතුවන ඊනියා ජාතික දේශප්‍රේමය හරහා නැවතවතාවක් සිදුවීමට නියමිතව ඇත්තේ, රට ජාතිය බේරාගැනීමට පපුවට ගසාගනිමින් පොළව ඉඹගනිමින් නැවත ජාතියේ පිනට පහළවන “අප්පච්චි” කෙනෙකුට හෝ “සපුමල්”කුමාරයෙකුට පාලනයට ඉතා පහසුවෙන් පැමිණීමේ මාවත විවර කරදීමක් බවනම් සක්සුදක් සේ පැහැදිළිවන කාරණයක් බව දැඩි අවධාරණයෙන් යුතුව මතක්කරදීමට කැමැතිය.

~ රංජන සේනානායක
සමාජ හා දේශපාලන විශ්ලේශක
[email protected]

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan