Sunday, September 24, 2023
spot_img

Latest Posts

ඩොලර් හිඟයට පිළියම

ශ්‍රී ලංකාවේ මාසික අපනයන ආදායම අමෙරිකන් ඩොලර් බිලියනය දක්වා ඉහළ දැමිය හැකි නම්, රටේ පවතින බොහොමයක් ආර්ථික ගැටලු ඒ ඔස්සේ විසඳා ගත හැකිය. මේ වන විට රට පවතින්නේ ඩොලර් හිඟයකය. තවදුරටත් පැහැදිලි කළ හොත් අපගේ විදේශ විනිමය සංචිත බින්දුවට පහළ බැස තිබේ. මේ තත්ත්වය වහා වෙනස් නොවුණ හොත් රට බරපතළ ආර්ථික අර්බුදයක් වෙත තල්ලු වනු ඇත. එය කිසිවකුට වැළැක්විය නොහැකි අවාසනාවන්ත තත්ත්වයකි. ඩොලර් ආදායම් අඩු වුව හොත් බොර තෙල් මිලට ගන්නේ කෙසේ ද? අත්‍යවශ්‍ය ඖෂධ මිලට ගන්නේ කෙසේ ද? ඩොලර් වහා ඉපැයිය යුතුය. වෙනත් විසඳුමක් අපට නැත.

අපනයන ක්ෂේත්‍රය ඔස්සේ රට ඉදිරියට තල්ලු කළ හැකි මාර්ග ගණනාවක් අපට තිබේ. අපගේ විමසුමට බහුල ලෙස ලක් වන්නේ තේ-පොල්-රබර් පමණි. මෙයින් ද වර්තමානය වන විට ප්‍රමුඛතාව හිමිකරගෙන ඇත්තේ තේ පමණි. තේ සඳහා අප සමඟ තරග කරන ප්‍රධාන රටවල් තුනක් ඇත. ඉන්දියාව, කෙන්යාව හා චීනය එම රටවල්ය. මේ අතින් හොඳම ස්වාභාවික තේ නිෂ්පාදනය කළ හැකි එකම රාජ්‍යය ශ්‍රී ලංකාව වෙයි. එහෙත් එම සංසිද්ධියේ නියම ප්‍රතිඵලය අප ලබා ගන්නේ නැත. ඉන්දියාවේ සිකීම් රාජ්‍යය කාබනික ගොවිතැනේ උපරිම ප්‍රතිඵලය හිමි කරගන්නා අතර, ශ්‍රී ලංකාව ස්වාභාවික තේ නිෂ්පාදනයේ උපරිම ප්‍රතිඵලය ලබාගන්නේ නැත.

ශ්‍රී ලංකාව මේ දිනවල මුහුණ දී සිටින්නේ බරපතළ විදේශ විනිමය හිඟයකටය. වෙනත් වචනයකින් කිව හොත් එය ඩොලර් හිඟයක් ලෙස හැඳින්විය හැකිය. ඩොලර් හිඟ වන තරමට ආර්ථිකය කඩා වැටෙයි. දැන් අපි එම තත්ත්වයට මුහුණ දී ඇත්තෙමු. මෙයින් ගැලවීම සඳහා වැඩි වශයෙන් ඩොලර් ඉපැයිය යුතුය. එය කළ හැක්කේ කෙසේ ද? අපනයනය වර්ධනය කළ යුතුය. සංචාරක ක්ෂේත්‍රය පුළුල් හා ගුණාත්මක වෘද්ධියක් කරා ගෙන යා යුතුය. විදේශීය රැකියා අවස්ථා පුළුල් කර ගත යුතුය. විදේශීය රැකියා සම්පාදනයේදී නුපුහුණු ශ්‍රමිකයන් වෙනුවට වෘත්තියවේදීන් ඉදිරිපත් කිරීමට රජය වගබලා ගත යුතුය.

කාබනික පොහොර ප්‍රශ්න හා විරෝධතා මැද අපගේ අපනයන ආදායම ඉහළ යෑම එක් අතකින් විස්මයට කාරණයක් වනු ඇත. අපගේ විදේශ විනිමය ඉපැයීම් අතින් වැඩි දායකත්වයක් ඇඟලුම් නිෂ්පාදනවලට බැර වෙයි. ඇඟලුම් කර්මාන්තය 1991 සිට ශ්‍රී ලංකාවේ දියුණු විය. එදා විවිධ විවේචන ඉදිරිපත් වුව අපගේ ඇඟලුම් නිෂ්පාදන කර්මාන්තය ශක්තිමත් විය. එහි ප්‍රතිඵලය අපි අද භුක්ති විඳින්නෙමු.

රටේ ආර්ථිකය මුළුමනින්ම විනාශ වී ඇතැයි විවේචන ඉදිරිපත් කරන අයට අපනයන ක්ෂේත්‍රය හොඳ පිළිතුරක් දී ඇත. නිදසුනක් කිව හොත් අපේ කුරුඳු අපනයනය ඉතා ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ. ලෝකයේ හොඳම කුරුඳු නිෂ්පාදනය කරන එකම රට හැටියට ශ්‍රී ලංකාව හඳුන්වනු ලැබේ. කුරුඳු ආශ්‍රිත නිමි භාණ්ඩ නිෂ්පාදනය කිරීමට අපනයනකරුවන් උනන්දු වුව හොත් අපගේ විදේශ විනිමය ආදායම් තවදුරටත් වැඩි කර ගත හැකිය. අපනයන ක්ෂේත්‍රයේදී නිමි භාණ්ඩ නිෂ්පාදනය කෙරෙහි අපගේ අවධානය යොමු වී ඇත්තේ අඩුවෙන්ය. අප තවම පසු වන්නේ අමුද්‍රව්‍ය අපනයනය කරන රාජ්‍යයක් හැටියටය. මෙය වෙනස් විය යුතුය. එලෙසම එය වෙනස් කළ හැකිය.

ශ්‍රී ලංකාවේ දැනට පවත්නා ආර්ථික අර්බුදය රටේ අපනයන ක්ෂේත්‍රය දියුණු කිරීමෙන් විසඳාගත හැකිය. එය විශ්වාසවන්ත ලෙස භාවිත කළ හැකි ආර්ථික උපාය මාර්ගයකි. අපනයන ක්ෂේත්‍රයේ වර්ධනයෙන් ඊට හොඳ උත්තේජකයක් ලැබී ඇත.

ඇත්ත Facebook

Sponsored Article

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img

තීරු ලිපි

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.