*
Friday, April 19, 2024
spot_img

Latest Posts

ඩෙස්මන්ඩ් ටුටූ හිමිපාණනි, ඉතිහාසයේ ඔබට හිමි සිහසුනේ හිඳ, අනාගතයට එළිය දල්වමින් වැජඹෙන්න !

අගරදගුරු අති උතුම් ඩෙස්මන්ඩ් ටුටූ කියන්නේ ඉකුත් සියවසෙන් මේ සියවසට පැමිණි අය අතරින් මානව හිමිකම් පිළිබඳව සනාතන අරගලයක පතාක යෝධයෙක්….. කොටින්ම කටපුරා “අති උතුම්” කියන්න පුළුවන් කෙනෙක්….සියළුම ආගම් වල නායකයන්ට විහිදුණු සාමයේ හඬක් පතුරවපු ඉතාම ආදරණීය මිනිසෙක්….අද එතුමන්ගේ වියෝව සිදුවුණා…
අති උතුම් ඩෙස්මන්ඩ් ටුටූ අගරදගුරු තුමන් විසින් සිදු කළ අතිමහත් සේවාව ඉදිරි දිනවලදි විවිධ මාධ්‍ය ඔස්සේ ඔබට දැකගන්න ලැබෙයි….මා දැන් මේ කියන්න යන්නෙ, එතුමන් සිදු කරන්නට මූලික වූ විශිෂ්ඨතම විද්‍යාත්මක සේවාව පිළිබඳවයි….

එච්.අයි.වී වෛරසයට එරෙහිව මිනිස් වර්ගයා ගෙන යන සටනේ හැරවුම් ලක්ෂ්‍යය තමයි දකුණු අප්‍රිකාව කියන්නෙ. ඒ හැරවුම් සාධකය වෙන්නෙ 1997 වසරෙදි එරට රජය මඟින් හඳුන්වා දී, පාර්ලිමේන්තුව සම්මත කරගත් ” Medicines and Related Substances Control Amendment Act, 1997″ කියන පණත. මේකට කෙටියෙන් කියන්නේ “ද මෙඩිසීන්ස් ඇක්ට් ඔෆ් ” කියලා…

ඔබ දන්නවා, කෙනෙකුට එච්.අයි.වී ආසාදනය උනාට පසුව, එම පුද්ගලයාව “ඒඩ්ස්” නම් මාරාන්තික රෝගී තත්වයට යන එක වළක්වාගන්න එක තමයි, එම පුද්ගලයාගේ ජීවිතය ආරක්ෂා කරගන්න තියෙන ක්‍රමවේදය….එතනදි ඔවුන්ගේ සිරුරු වල වෛරස් සංයුතිය ඉතාම අඩු මට්ටමක රඳවා තබන ඖෂධ ලබාදෙනවා….එච්.අයි.වී කියන්නෙ එහි ජානමය තොරතුරු සහිත තනි ආර්.එන්.ඒ දාමයක් තිබෙන “රෙට්‍රොවයිරස්” වර්ගයට අයත් වෛරසයක්… ඒක නිසා මේ දෙන ඖෂධ “ඇන්ටයිරෙට්‍රොවෛරල් ට්‍රීට්මන්ට් හෙවත් ආට්” කියලා හඳුන්වනවා….

1995 වසරෙදි “සක්විනාවියර්” නමින් මේ ගණයට අයත් ඔසුවක් හඳුන්වා දුන්නා, 1996 වෙද්දි “නෙවියරපින්” කියලා තවත් ඔසුවක් හඳුන්වා දුන්නා… නමුත් මේ ආකාරයට හඳුන්වා දුන්නු එච්.අයි.වී මර්ධක ඔසු වල පේටන්ට් බළපත්‍ර තිබ්බේ ලෝකයේ සමාගම් 13 ක් අතේ පමණයි. ඉතින් මේ සමාගම් මේ ඖෂධ විකුණා, ඉතාම විශාල ලාභයක ඉපයුවා….

1997 වසර වෙද්දි දකුණු අප්‍රිකාවේ ලක්ෂ තිහක් එච්.අයි.වී ආසාදිතයන් … ඒ අයගේ ජීවිත බේරගන්න, මේ ඖෂධ ගෙන්වන්න දකුණු අප්‍රිකානු රජය වසරකට වැය කරපු මුදලෙන්, මේ ඖෂධ සමාගම් උපයපු “ලාභය” ( ලාභය පමණක් ) වසරකට දකුණු අප්‍රිකානු රජය, මේ වියදම හැර, සෞඛ්‍ය අධ්‍යාපනය, සහ සුභසාධනයට වෙන් කරන සෙසු සමස්ථ මුදල වගේ දෙගුණයකට ආසන්නව පැවතුණා.

ඔය ඉහත කී ඔසු දෙකට පසුව ආවා එච්.අයි.වී වලට දෙන ඔසු තුනක් හෝ කිහිපයක් එකට මුසු කරලා දෙන එච්.අයි.වී ට්‍රිප්ල් තෙරපි, එච්.අයි.වී කොක්ටේල් ආදී ක්‍රමවේදයන්…. මේ ඖෂධ, අර කියපු සමාගම් වලින්, ඔවුන්ගේ පේටන්ට් බළපත්‍ර ලැබී තිබුණු රසායනික සංයුතිය සමඟ ගෙන්නුවා නම්, වසරකට එක් පුද්ගලයෙක් වෙනුවෙන් දකුණු අප්‍රිකාවට ඇමරිකන් ඩොලර් ලක්ෂයක් වියදම් කරන්න වෙන්න තිබුණා….ඒ විදියට සියලු දෙනාට ගෙන්නුවා නම්, ඒ සඳහා වසරකට වැයවන මුදල ඇමරිකන් ඩොලර් බිලියන 13 ක් හෙවත් එවකට දකුණු අප්‍රිකානු ආර්ථිකයෙන් 20% ක් පමණ අති දැවැන්ත, දරාගත නොහැකි මුදලක්….ඖෂධ සමාගම් බැලුවෙ, දකුණු අප්‍රිකාවේ රත්‍රං සහ දියමන්ති ආදායම මේ වෙනුවෙන් හිළව් කරගන්න…


ඉතින් ඒක දරාගන්න බැරිවෙනකොට, දකුණු අප්‍රිකානු රජය අර පණත ගෙනාවා….ඒ පණතෙන් කරේ, මේ එච්.අයි.වී මර්ධක “ඇන්ටිරෙට්‍රොවෛරල්” ඔසු වල රසායනික සංයුතිය, අර පේටන්ට් බළපත්‍ර වල තියෙන රසායන සංඝටක වලට ආදේශක යොදලා, ලෝකයේ වෙනත් ඔසු නිෂ්පාදකයන්ගෙන් ඉතාම ලාභෙට ගෙන්වන්න හෝ, දකුණු අප්‍රිකානු සමාගම් වලට දේශීයව ඉතාම ලාභදායී ලෙස ගෙන්වන්න අවසර දෙන එක….

ඒ විදියට කළාම, කලින් ඇමරිකානු ඩොලර් 800 ක් පමණ වූ මෙයින් ඔසුවක එක මාත්‍රාවක්, දැන් ඇමරිකානු ඩොලර් 30 කට නිපදවන්න දකුණු අප්‍රිකාවට පුළුවන් වෙනවා….පසුව ඕක ඇමරිකානු ඩොලර් 4 දක්වා අඩු කරන්න පුළුවන් උනා….

ඔබ කවුරුත් දන්නවා, ශ්‍රී ලංකාවේ යම් කලක හිටපු අතිශය ජනප්‍රිය ළමා වෛද්‍ය විශේෂඥ තුමියකටත්, රිය අනතුරකට ප්‍රතිකාර ගන්න යෑමේදී සිදුවූ අත්වැරදීමකින් එච්.අයි.වී ශරීර ගතවුනා….එතුමිය මේ වනවිට අප අතර නැහැ…..එතුමියගේ ජීවිත කාලය දිගු කරන්න භාවිතා කරපු ඖෂධ සඳහා, එවකට, හෙවත් 90 දශකයේදී මාසයකට පිටින් ගෙන්වන ඔසු වලට එතුමියට රුපියල් 80,000 ක් වැය කරන්න සිදුවුනා…90 දශකයේ 80,000 ක් කියන්නෙ සුවිශාල මුදලක්… ඉතින් එතුමියලාගේ පවුල සතු සියළු දේපල විකුණා, අවසානයෙදි ඔවුන්ට අයත් කොළඹ සුවිසල් නිවසත් විකුණනා දමන තැනට අසරණ වූ බව, එවකට එතුමියගේ සැමියා “සන්ඩේ ටයිම්ස්” පුවත්පතට ඒ කාලයේ පවසා තිබුණා….

ඉතින් දකුණු අප්‍රිකානු රජය ගෙනාපු මේ පණත තමයි, ලෝක ඉතිහාසයේ ඖෂධ සම්බන්ධ “පේටන්ට්” බළපත්‍රයේ බලය අබිබවා යම් කිසි රටක ස්වදේශීය රජයක් විසින් ඒ පේටන්ට් ඇවරුම් අහෝසි කරමින් ගෙනාපු සුපැහැදිලි සහ ප්‍රබලම නීතිමය ප්‍රතිපාදනය…

ඉතින් අර ඖෂධ සමාගම් 13 සහ ඔවුන්ගේ උප සමාගම් 26 ක් එකතුවෙලා, සමස්ථ සමාගම් 39 ක්, දකුණු අප්‍රිකානු රජය ගෙනා මේ පණතට එරෙහිව, 2001 වසරේ මාර්තු මස 5 වැනිදා, දකුණු අප්‍රිකාවේ අගනුවර වන ප්‍රිටෝරියා නුවර මහාධිකරණයේදී, නඩු අංක 4183/98 යටතේ නඩුවක් පැවරුවා…නඩුවෙන් ඉල්ලුවේ, අර පණත බළ රහිත කරන්න කියලා… මේ ඖෂධ සමාගම් 39 ට සහ ඔවුන්ගේ අළෙවි නියෝජිතයන් 3 ට ( ඔක්කොම 42 ක් ) ලෝකයේ ඉහළම සමාගම් සන්නාම අයත් වුනා.

දැන් මේ නඩුවෙදි, තමන්ගේ විරුද්ධ පාර්ශව සතු ශක්තිය හමුවේ දකුණු අප්‍රිකාවේ එවකට ජනාධිපති තාබෝ එම්බෙකි මහතා සහ ඔහුගේ සෞඛ්‍ය ඇමතිනිය වන මන්තොම්බාසානා ටීෂබාලාලා එම්සිමන්ග් මහත්මිය දැඩි ලෙස අසරණ උනා….ජාත්‍යන්තර මට්ටමේ ඉහළම නීතිඥ සමාගම් වල අතිදක්ෂ නීතිඥයන් ලොව පුරා මාධ්‍ය ජාලයන් වටකරගෙන ගුවනින් ආවා දකුණු අප්‍රිකාවට මේ නඩුවෙන් අර සමාගම් දිනවලා දෙන්න….

දකුණු අප්‍රිකාවට ලොව බළවත්ම රටවලින් සෑහෙන දරුණු ජාත්‍යන්තර පීඩනයක් එල්ල වෙමින් පැවතුනු මොහොතක් ඒක….මුළු ලොවම ඇසිපිය නොහෙළා බලා සිටියා දකුණු අප්‍රිකාව දිහා….මොකද මේ වගේම පණත් මීට කළින් හඳුන්වා දීපු නිකරගුවාව, බ්‍රසීලය, පෝලන්තය වගේ රටවලට මේ පීඩනය හමුවේ පණත් අකුළාගන්න සිදුවුනා…. කවුරුත් හිතුවේ දකුණු අප්‍රිකාවත් ජාත්‍යන්තර පීඩනය හමුවේ පසු බසියි කියලා….මොකද මේ සමාගම් නඩුව දිනන්න හුවා දක්වලා තිබුණේ දකුණු අප්‍රිකාව මේ පණත ඔස්සේ ලෝක වෙළඳ සංවිධානයේ ප්‍රඥප්තීන් උල්ලංඝණය කරනවා කියලා….ඒ නඩුව දිනුවා නම් දකුණු අප්‍රිකාවට එම සංවිධානයෙන් ලැබෙන යම් සහන සීමාවන් පවා අහිමිවීමේ තර්ජනයකට මුහුණ දෙන්න තිබුණා….


අන්න ඒ වෙලාවෙදි තමයි තිරයෙන් පිටුපස හිඳිමින් මේ අති උතුම් ඩෙස්මන්ඩ් ටුටූ අගරදගුරු තුමා සටන අතට ගත්තේ…. එතුමා කෙළින්ම සෞඛ්‍ය ඇමතිනියව එතුමාගේ පවුලේ උදවියට අයත්, යොහැන්නස්බර්ග් නුවර, සොවේටෝ දිස්ත්‍රික්කයේ, විලාකාසි වීදියේ “ටුටූ හවුස්” නම් නිවහනට ගෙන්වා ගෙන, එතුමිය සමඟත්, හිටපු ජනාධිපති නෙල්සන් මැන්ඩේලා සමඟත් සාකච්ඡා කර සටන ඇරඹුවා….

එතුමා එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් යුනිසෙෆ්, ඩබ්ලිව්.එච්.ඕ ( ලෝක සෞඛ්‍ය සංවිධානය ), මානව හිමිකම් කොමිසම, ඩබ්ලිව්.එෆ්.පී. ආදී සංවිධාන 11 වෙනුවෙන් ලොවපුරා අධිකරණ වල පෙනී සිටීමෙන් පළ පුරුද්ද ඇති නීතිඥවරුන්ට කථා කළා….

ඔවුන් මේ සටන දිනවන්න ඇවැසි සියළු නීතිමය තර්ක ලබා දුන්නා… ඔවුන්ගෙන් සමහරු දකුණු අප්‍රිකාවට ඇවිත් සටන වෙනුවෙන් නිර්ලෝභීව ඉදිරිපත් වෙලා, නීතිඥයන්ව පුහුණු කෙරෙව්වා….ඩෙස්මන්ඩ් ටුටූ මැදිහත් වීම නිසාවෙන් “ඔක්ස්ෆෑම්” වගේ ජාත්‍යන්තර සංවිධාන වහාම පෙරට ඇවිත් ඖෂධ සමාගම් වලට පීඩනය එල්ල කරන්න පටන්ගත්තා….මේ වගේ යුග පුරුෂයෙක් යමකට මැදිහත් වුනාම, බොහෝ දෙනාගේ ඇස් ඒ දෙසට යොමුවෙනවා….ඉතින් ලොව පුරා තරුණ තරුණියන්ගේ කණ්ඩායම් සටනට එකතු වෙලා නන් අයුරින් ආධාර කළා….

අවසානයේදී තමන් පැරදීගෙන එන බව දුටු ඖෂධ සමාගම් පාර්ශවය, එක එක විදියෙ පැකේජ යෝජනාවල්, සමථ යෝජනාවල් ( සෙට්ල්මන්ට්ස් ) දකුණු අප්‍රිකානු රජයට ඉදිරිපත් කරගෙන ආවා….”අවුරුදු දහයක් යනතුරු ඖෂධ යම් ප්‍රමාණයක් නොමිළේ පරිත්‍යාග කරන්නම්…දකුණු අප්‍රිකාවට පමණක් සහන මිළකට දෙන්නම් ” ආදී වශයෙන් …( ඩොලර් 800 කට දුන්නු එක, ඩොලර් 30 ට බස්සන්න පුළුවන් කම තියෙද්දි, ඩොලර් 320 කට දෙන්න ඉදිරිපත් වෙච්ච එක තමයි ඔවුන්ගෙ සහන මිළ ) …

නමුත් මේ අලුතින් බිහිවූ බලවේගය ඒ සෙට්ල්මන්ට්ස් ගණන් ගත්තේ නෑ… අවසානයේදී පරාජය පිළිගෙන චෝදනා ඉල්ලා අස් කරගන්න සමාගම් වලට සිදුවුනා….දකුණු අප්‍රිකාව ජයගත්තා….

නීතියේදී සාමාන්‍යයෙන් ජාත්‍යන්තර සම්බන්ධයක් සහිත නඩු වලදි, දේශීය අධිකරණ වල ඒ නඩු ඇහෙනකොට, ඒවට තීන්දු දෙන්න සෘජු ප්‍රතිපාදන නෑනෙ…එතකොට කරන්නෙ කළින් ඒ වගේම නඩු වලදි ඒ ඒ රටවල දුන්නු තීන්දු සහ වෙච්ච දේවල් ( ෆයිනල් අවුට්කම් එක ) ජුඩීෂල් ප්‍රසීඩන්ට් එකක් හෙවත් විනිශ්චය පූර්වගමනයක් ලෙස අරගෙන ඒවායින් විසඳුම් ලබාදෙන එක…. ඉතින් මේ නඩුවට වෙච්ච දේ පූර්වගමනයක් ලෙස අරගෙන, එහිදී ඖෂධ සමාගම් චෝදනා අතහැරීම මඟින් ගම්‍ය වන්නේ දකුණු අප්‍රිකානු රජය කළ දේ නීත්‍යානුකූලව වලංගු බව කියන පූර්වාදර්ශය ඉක්මණින් ලොව පුරා විදුලි වේගයෙන් පැතිරෙන්න ගත්තා….ඒ අනුව 2004 වසරේදී ඉන්දියාව, 2004 වසරේදී චීනය, 2007 වසරේදී බ්‍රසීලය ආදී රටවලුත් මේ එච්.අයි.වී මර්ධක ඔසු පමණක් නෙමෙයි, එතුවක් කල් ඉතාම අධික මිළ ගණන් වලට ගෙන්වමින් තිබුණු අත්‍යාවශ්‍ය ජීවිතාරක්ෂක ඔසු සහ එන්නත් වර්ග දේශීයවත්, ඒවායේ සංයුතීන්ට ලාභදායී ආදේශක සහිතව විදේශීයවත් නිපදවාගෙන ගෙන්වන්න පටන් ගත්තා…..ශ්‍රී ලංකාවට ලැබෙන එච්.අයි.වී මර්ධක ඔසු වල මිළ 80% කින් පහත වැටුණේ මේ නඩුවෙන් දල්වපු ආලෝකයේ ප්‍රතිඵලයක් ලෙසයි….

අද වෙද්දි ලොව පුරා වාර්ෂික එච්.අයි.වී සබැඳි මරණ විශාල වශයෙන් පහත දමන්න මේක සමත්වෙලා තියෙනවා….ඒ වගේම වෙනත් ජීවිතාරක්ෂක ඔසු තුන්වෙනි ලෝකයේ රටවල් බොහොමයක් ඉතාම පහසු මිළට ජනතාව අතරට යනවා… මෙයින් වසරකට රැකෙන ජීවිත ගණන් තබන්න නොහැකි තරම් සුවිශාලයි… කොටින්ම ඩෙස්මන්ඩ් ටුටූ අරදගුරු හිමිපාණන් වත් දන්නෙ නෑ, එතුමා මුල්වෙලා කරවපු දේ මොන තරම් දැවැන්තද මානවවාදී ප්‍රතිඵල තිබෙනවාද කියන එක….ඒක එතරම් සුවිශාල ජයක් ලෙස අනාගතයටත් ජීවිත බලාපොරොත්තු රැගෙන ඇදී යාවි….!….

( මා මේ ලියූ සටහන ලියන ලද්දේ මතකයෙන් නිසා, මෙහි අඩුපාඩු එමට ඇති… ඒවාට සමාවෙන්න….විශේෂයෙන්ම විද්‍යාත්මක කරුණු, උච්ඡාරණය වගේ දේවල් වල අඩුපාඩු ඇති….එක් එක් ශ්‍රේෂ්ඨ පුද්ගල චරිතය මතක තබා ගන්නා විවිධ ක්‍රමවේද තිබෙනවා… මට මෙතුමාව වැඩිපුරම මතක හිටින්නෙ මේකත් එක්ක … )

ඉතින් අගරදගුරු ඩෙස්මන්ඩ් ටුටූ හිමිපාණනි, ඉතිහාසයේ ඔබට හිමි සිහසුනේ හිඳ, අනාගතයට එළිය දල්වමින් වැජඹෙන්න…..!

  • දමිත් කේතක

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan