නිශ්මං රණසිංහ දෙසැම්බර් 27, කොළඹ LNW:
මීට කාලයකට පෙර ශ්‍රී ලංකාවේ ක්‍රීඩා මාධ්‍ය ප්‍රවීනයන් සහ ක්‍රීඩා අමාත්‍යවරයා ක්‍රීඩා අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී හමු විය.එයට සුගත් තිලකරත්න නියෝජ්‍ය අමාත්‍යවරයා ද එක් වී සිටියේය.එහිදී මේ ලියුම්කරු මතු කළ ප්‍රධාන කාරණයක් වූයේ ලංකාවේ පවතින ක්‍රීඩාංගණ, ක්‍රීඩාව මූලික කර රකින්නට පියවර ගන්නා ලෙසය.එහිදී සංදර්ශන ආදිය පැවත්විමෙන් ක්‍රීඩාංගණය පාලනය කරන ආයතන යම් ලාභයක් ලබනවානම් සහ එය අත්‍යවශ්‍යයමනම්,කිසිඳු විටෙක විශේෂයෙන් ධාවන පථය ඇති කොටස සමඟ ක්‍රීඩාවන්ට යොදා ගන්නා ප්‍රදේශවල බිමට හානි සිඳු නොවනාකාරයෙන් ඒවා පාලනය කිරීමේ වැදගත්කම ද පෙන්වා දුන්නේය.
එහෙත් අත්දැකීම් ඇති පිරිස් ඒ ඇසුරෙන් ඉදිරිපත් කරන අදහස් දැන ගැනීමට හෝ එයින් ක්‍රීඩාවට යම් අනුග්‍රහයක්,ආශිර්වාදයක් ලැබීම ක්‍රීඩා අමාත්‍යතුමාගේ හමුවේ අදහස නොවුණු බව ඔහු අවසාන වශයෙන් දැක් වූ අදහස්වලින් පැහැදිළි විය.
“ඔයාල බොරු කිව්වත් කමක් නැහැ,බොරු ලිව්වත් කමක් නැහැ.මට ඔයාල කියන ලියන දේවල් කරන්න අවශ්‍යය නැහැ.මං ක්‍රීඩාව හදන හැටි දැනගෙනයි මේ වැඩේට ඇවිත් ඉන්නෙ.“
එහි ඇලපිලි පාපිලි එහේ මෙහේ වී වචනද යම් ආකාරයකට වෙනස් වී තිබෙනවා වන්නට හැකිය.එහෙත් ඔහු පැවසූ වචනවල මූලික හරය එය විය.එහි සිටි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් මේ කාරණය දන්නා නිසා ඔවුන් සාක්ෂි වන්නේය.එසේම එවකට සිටිය මාධ්‍ය ලේකම්වරයා වූ සංඛ සමරප්පුලි මේ සාකච්ඡාව වීඩියෝ ගත කළ අතර ඔහු විසින් කළ දේ ඉවත්ව යාම නිසා පසුව පැමිණි අය ඉවත් කර නැත්නම් එම තොරතුරු අමාත්‍යවරයාගේ මාධ්‍ය ඒකකයේ තිබෙනවා ඇත.ඔහු කිවේ ක්‍රීඩාව සම්බන්ධයෙන් සිඳු කරන මාධ්‍ය විවේචන සහ විකල්ප අදහස් වැඩක් නැත මම සියල්ල දනිමි වැනි කතාවක්ය.
මේ කාරණය මතු කරන්නට සිඳු වූයේ ක්‍රීඩාව ගැන මෙලෝ අදහසක් නැතුව ඒවා සෙල්ලම් මට්ටමේ සිතීමේ ලක්ෂණ පෙන්වමින් මේ වන විට සුගතදාස ක්‍රීඩාංගණය සංගීත සංදර්ශනයක් සඳහා සකස්වෙමින් තිබීම නිසාය.එය නැවත ඉදිකිරිමට අවශ්‍යය මට්ටමටම කැඩුණු බිඳුණු බිමක් වුව,නිකං තණකොළ පිට්ටනියකට වඩා ගැම්මක් මේ තිබෙන තත්ත්වයෙන් හෝ පුහුණු කිරිමෙන් ලැබෙන බව ඇත්තය.එසේ තිබියදී ධාවන පථය එලීම වෙනුවට තියෙන තත්ත්වයෙන් හෝ ප්‍රයෝජන නොගෙන ක්‍රීඩා පිටිය පුහුණුවීම්වලට වසා දැමීමට තීරණය කිරීම ලංකාවේ ක්‍රීඩා අමාත්‍යංශය හරහාම මතු වීම ක්‍රීඩාවේ අනාගත දැක්ම ගැන හොඳ නිදසුනක්ය.

මීට පෙර ද ආසන්න කාලයේ සෑහෙන කාලයක් අලුත්වැඩියා කිරීමට යැයි වසා තිබිණ.ඒ සඳහා යම් යම් තැන්වලට මුදල් ද වෙන් වී තිබිණ.එහෙත් වසා තැබුණා විනා කළ දෙයක් නැත.එම මුදල් වියදම් වූවාද මොකටද කියා සෙවිය යුත්තේ සහ විමසා බලා සාකච්ඡා කළ යුත්තේ මේ රජය බලයට ගේන්නට කාලයක සිට සිහින දුටු ඒ වෙනුවෙන් කැපවුණ ජනතා විමුක්ති පෙරමුණේම වෘත්තිය සමිතිය.ඒත් එවැනි වෘත්තිමය ක්‍රියාමාර්ග ලෙස එවැනි කාරණා ගැන කතා කරන්නට එම වෘත්තිය සමිතිවලට ඉඩ ඇද්ද යන සැකය මතුවන්නේ නිලධාරීන් සහ සේවකයින් ලෙස දුරස්තභාවයක් සැකසී ඇතත් එහි ඉන්නේ තමන්ගේ පක්ෂයේ සහෝදරයන් බවය කියන හැඟීම තවමත් එහි වෘත්තිය සමිති සාමාජිකයන්ට අමතක කරන්නට නොහැකි වී ඇති නිසාය.

ඇමති සහෝදරයා මෙන්ම තමන්ගෙන් ක්‍රීඩාවේදී ධාවකයෙකු ලෙසත් පුහුණුකරුවෙකු ලෙසත් උපකාර සහ සහයෝග ලබා ගත් නියෝජ්‍ය ඇමති සහෝදරයා ද,තමන්ගේ ආණ්ඩුවෙන් පත් කළ සභාපති සහෝදරයා සහ අධ්‍යක්ෂ සහෝදරයන් සර්ලාගේ භූමිකාවෙන් තමන්ගේ අදහස තඹයකට මායිම් නොකරන තත්ත්වයට පත් වී ඇති බව සුගතදාසයේ වැඩ කරන සහෝදරවරු කාටනම් කියන්නද?මහා බලවත් ආණ්ඩු සමඟ ගැටෙමින් පක්ෂය සියයට තුනට තිබියදීත් සටන් කරන්න හයිය තිබ්බ,සුගතදාසයට ආදරය කළ ඔවුන්ට අඩුම තරමේ වෘත්තිය මට්ටමෙන් විරුද්ධ වෙන්නටවත් බැරි ලෙස නිලධාරිමය බලයක් ද ගොඩ නැඟී ඇත.
ක්‍රීඩා අමාත්‍යංශයේ සර් තමයි මාර ඇමති කියා කියන්නට ඉහළ සිට පහළට සකස් වුණ මිනිස් පෝලිම් ඇත.ඒ ඇන්දිල්ලට ඇමතිගේ සිට ඉහළ නිලධාරීන්ද කඩේටම ගොස් රෙදි ඇඳගෙන මසා අඳින ගාණට පරිවර්ථනය කරන්නේය.මේ වී තිබෙන්නේත් එයම විය හැකිය.මීට පෙර වරක් නේපාලයේ පැවති දකුණු ආසියාතික ක්‍රීඩා උළෙලේ දී,එවකට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල්වරයෙක් එම උළෙලේ වැරදි සහගත සහ අපහසුකාරී තත්ත්වයන්ට ශ්‍රී ලංකාව මුහුණ දෙන අන්දමේ වැඩ බොහෝ කළ බවට චෝදනා එල්ල විණි.ඒ අතරම ඒ ක්‍රීඩා උළෙලේදී ඔහුගේ මහන්සිය ද දැඩිව යෙදුණ තැන් තිබිණ. එහි ගොස් සිටි සාපෙළ අපේක්ෂකයින්ට නේපාලයේදී සාපෙළ ලියන්නට ලැබීණ.
කෙසේ හෝ අදාළ අධ්‍යක්ෂවරයා එම තනතුරෙන් මාරු කර යැවිමෙන් පසුව සර් මාර ඩී.ජී කියා ප්‍රශස්ති කියූ ලියූ කිසිවෙකු යළි ඔහු දෙස බැලුවේ නැත.සාපෙළ ප්‍රතිපළ පැමිණි පසු ඔහුව අගය කර ලියන්නට සිටියේ කිහිප දෙනෙකු පමණි.ඒ අතර සිටියේ ඔහුව දැඪිව විවේචනය කළ පිරිස මිස ප්‍රශස්ති කණ්ඩායම් නොවේය.එම කණ්ඩායම්වලට අදාළ තොරතුර හෝ එම නිලධාරියා ඒ වන විට අදාළ නොවිණ.මන්ද ඒ වන විට ඔවුන් ප්‍රශස්ති ගැයීම වෙනුවෙන් වෙනම වගකීම් පවරාගෙන තිබුණු අතර ඒ ලැයිස්තුවෙන් අධ්‍යක්ෂවරයාගේ නම කැපී තිබිණ.
ආණ්ඩුව පැත්තෙන් රාජ්‍ය බිමක සිඳුවන දෙයක් නිසා ක්‍රීඩාව ගැන තැවුණු,රිදුණු සිත් ඇතිව සිටි,මේ ආණ්ඩුවේ වගකිම්වලට පත් වුණු කිසිවෙකුද මේ මොහොතේ සුගතදාස ඛේදවාචකය දෙස බලන්නේ නැත.ගමේ පිට්ටනියේ සිට එය ක්‍රීඩකයන්ගේ ක්‍රීඩාව වෙනුවෙන් සුරකින්නට වැඩක් හදන්න කියා ඇමතිට යෝජනා කර මේ ලියුම්කරු පවා සිතුවේ ගමේ කාඩරයේ හයියද සමඟ දේශපාලනික වශයෙන් ගමේ පිට්ටනිය ක්‍රීඩාව වෙනුවෙන් රකින වැඩේ සිටම ක්‍රීඩාවේ පොළව ක්‍රිඩාවට රැක දෙන්නට ආණ්ඩුව කැපවෙනු ඇති බවය.ඒත් ජාතික ක්‍රීඩා උළෙලේ අවසානය ඊට සුදුසුම බිම වෙනුවට ගමේ දේශපාලකයාගේ බිමට අරගෙන ගොස් කරන දේශපාලන ප්‍රචාරන ව්‍යාපෘතියම කරන්නට මේ ආණ්ඩුවේ ඇමතිට ද ඉඩ ලැබිණ.මේවා ගැන නිහඬව සිටින්නේ ඇයිද කියා සුගත් තිලකරත්න හෝ පැවසිය යුතුය.මේවා ක්‍රීඩාවේ උන්නතියට හානි කර දේ බව වසර ගණනාවක් තිස්සේ සුගතදාසයේ පඩි මතම හිඳ කතා කළ දේවල්ය.

දැන් ක්‍රිඩා ඇමතිවරයා පරිපාලන අත්දැකීම්වලින් නොව ප්‍රායෝගික භාවිතාවන්ගෙන් ද සුගත් අභිබවා ගොස් ක්‍රීඩා පොළවේ වැදගත්කම ගැන සුගත්ට අවබෝධ කර දෙන තැනට පැමිණ සිටිය යුතුය.එසේත් නැතිනම් දෙන දෙයක් කාලා වෙන දෙයක් බලා සිටින තත්ත්වයට සුගත්ගේ ක්‍රීඩා ආදරය සහ අවබෝධය වෙස් මාරු කර තිබිය යුතුය.ධාවන පථය මත සාමාන්‍ය පාවහන හෝ පැළද ඇවිදිනවාට අකමැති වූ සහ දුක් වූ සුගත්ලාගේ පරම්පරාව දැන් ධාවන පථයට වෙන දේ ගැන වගේම සුගත්ට අත් වී ඇති ඉරණම ගැන ද දුකෙන් බලා සිටිනවා ඇත.
මේ පේන්නේ ක්‍රීඩාවට අත් වී ඇති ඉරණමය.බලය සතුව ඇති කණ්ඩායමේ ක්‍රීඩාවට ඇති ආදරය ගැනය.ලංකා පත්තරයට මේ ආදරය අකුරු කරපු මේ ලියුම්කරුට එහි ආර්ථිකය ගැන කොළම ලියූ පුද්ගලයා ක්‍රීඩාව එහි සදාචාරාත්මක සහ ආචාර ධාර්මික තත්ත්වයන් ද,න්‍යායාත්මක ධර්මතාවයන් ද නොසළකා වෙළද භාණ්ඩයක් ලෙස විකුණා දමන අයුරු බලා සිටින්නට සිඳු වී ඇත.ඒ වානිජ අරුතෙන්ම ඒවා මාරයි කියා සරසා ලියා ක්‍රිඩාවේ හතර කොණට ඇණ ගසා එල්ලන්න ඇණ සපයන පිරිස් මේවා ගැන උදම් අනා පාළකයා සංතෘප්ත කර යම් වාසියක් ලබා ගැනිමට සූදානමින් සිටිනවා විය යුතුය.
ඒත් ක්‍රීඩාව නඟා සිටුවීමට දෙන භෞතික ලැයිස්තු පහසුකම් ලෙස උජාරුවට කියන්නේ ඒ පොළව මත පහරලානම් ඒ අසූචි වලවල් මැඳින් අනාබාධිත ක්‍රීඩාවක් කරා යා නොහැකි බව අපි ලියා තබනු කැමත්තෙමු!අසූචි වලවල් මැදට සුවඳ විලවුන් ඉස ගද මකාලිය හැකි පාළකයන් ගැන මොහාන් රාජ් මඩවලගේ බෝදිලිමා කෙටි කතා සංග්‍රහයේ එන කෙටි කතාවක ඇත.ඒ පොත කළ දින වකවානු ද සමඟ ආණ්ඩුවේ ක්‍රීඩා පාලකයන්ට එය කියවා බලන ලෙස ඇරයුම් කරන්නෙමු.එයි ලියා ඇත්තේ කවර දවසක කවර හැඟවුම් සහිතව ද යන්නත්,එය මේ මොහොතේ තමන්ටද ඒ ආකාරයටම අදාළ වෙමින් තිබේය යන්නත් එවිට යම් තරමකට හෝ දැනෙනු ඇත.


