Monday, October 3, 2022
spot_img
spot_img

Latest Posts

චින්න චින්න ආසෛ – 19: කැලැන්ඩරේ කොල අතරින් සුළං සොයන සරුංගලේ

මනුස්ස කැලැන්ඩරේ දෙදහස් විසිදෙක අවුරුද්ද හෙමින් සැරේ කිට්ටු වෙන්නෙ දෙසැම්බරේ අවසන් සතිය අවසන් වෙන අතරතුරේ. වරින්වරේ ඇස් දෙක ඉස්සරහට එන ජීවනාභියෝග සැඩසුළං හමුවේ සිතුවිලි සරුංගලේ ඒකමිතිය බිඳෙනකොට, තීරු ලිපිය ලිවීමේ ඉසිඹුව තීරු තීරු වෙලා යන එක නියතයක් ගානට එනවා.

ලියුම්කරුගෙ ආසන්න මාස හය ඉස්පිරිතාලවලට තදාසන්නව ගතවෙද්දී චින්න ‘චින්න චින්න ආසෛ’ සෑහෙන්න සෑහෙන්න ඈතට ගියා. ඒත් ඉරණමේ නියතයට එරෙහිව තනි පුද්ගල කැරැල්ලක් ගහන වෙලාවක් එනවා. මේක තමා ඒක.

ජීවිතේ දෛනික ඉරණමට මුහුණ දෙනකොට මොන තරම් නම් ‘පුංචි පුංචි ආශාවන්’ කැප කරන්න වෙනවද ? ඒත් එක අතකට බැලුවම ඒ ‘කැපකිරීම්’ කියන්නෙමත් පුංචි පුංචි ආශාවන්ම වෙන්නත් පුළුවන්.

සේකරගේ ‘ප්‍රබුද්ධ’ හි ප්‍රබුද්ධ කියන්නා වගේ ; අර හැමෝගෙන්ම සත පහ දහය හිඟා ගත් යාචක දැරියට, ප්‍රබුද්ධ රුපියලක් දුන් වේලේ (එවකට ලොකු මුදලක් වූ) රුපියල කෙරෙහි කිසිම විශේෂත්වයක් නොදක්වා ඈ යන්න ගිය මොහොතේ හිතට දැනුණු අසීරු හැඟීම කියන්නා වාගේ ; “මම ඈට රුපියලක් දුන්නේ ඈ සතුටු කරන්නද ? මම සතුටු කරන්නද?”

ප්‍රේමයයි වෛරයයි අතරේ විතරක් නෙවෙයි කෙස් ගසක වෙනසක් තියෙන්නේ; සමහර වෙලාවට ආත්මාර්ථකාමිත්වයයි පරාර්ථකාමීත්වයයි අතරෙත් වෙනසත් කෙස් ගහයි.. හොඳට බැලුවොත් ඊටත් අඩුද මන්දා.

උදව් ලබන්නා සරුංගලයක් වගේ. උදව් කරන්නා බිම සිට සතුටු වෙන දරුවෙක් වගේ. සරුංගලේ උඩ යන තරමට දරුවාට සතුටුයි. ඒත් අතෙන් ගිලිහිලා කඩාගෙන ගියොත් දුකයි. සරුංගලේකට තමන්ගේම කියලා ආත්මයක් නැති වුණාට මනුස්සයෙකුට ආත්මයක් තියෙනවා. තමන්ගේම ගමනක් තියෙනවා. කඩාගෙන ගිහින් ගහක රැඳුණත් නූලකින් පාලනය වෙන්න මිනිස්සු කැමති නෑ.

පරාර්ථකාමී වීමෙන් තමන් තෘප්තිමත් වෙනවා නම් ඒක ආත්මාර්ථකාමීත්වයම නේද කියන සිතුවිල්ල එක්ක මනස් සරුංගලේ තවත් පැත්තකට පාවෙන්න පටන් ගන්නවා.

මේ ඊයෙ පෙරේදා උතුරුකරේ තරුණයෙක් සරුංගලේ නූලක – නූලක නෙමෙයි යෝධ සරුංගලේ ගැටගැසුව කඹයක – එල්ලිලා එක්වරම අහම්බෙන් ගුවන්ගත වෙනවා. උඩ යන ඔහුට බිම සිට මිතුරන් කෑ ගහනවා. අඩි හැට හැත්තෑවක් උඩ ගිහින් අතක් පයක් කඩා නොගෙන මිනිත්තු දෙකතුනකින් ඔහු මහපොළොවට පාත් වෙනවා.

මේ පුවත ලියුම්කරුට තවත් සරුංගලයක් මතක් කරා. ඒ, ගාමිණී ෆොන්සේකාගේ කතා සංකල්පයක් මත ධර්මසිරි ගමගේ තිරයට රචනා කොට සුනිල් ආරියරත්න අධ්‍යක්ෂණය කළ ‘සරුංගලේ’.

උතුරුකරේ ඉපිද දකුණුකරේ ජීවත්වෙන නඩරාජා, අසල්වැසි දැරියකට සරුංගලයක් හදා දෙන ගමන් කියනවා; “මමත් සරුංගලයක් හැදුව පුතෝ.. ඒත් ඒක ඈතට ඈතට පාවෙලා ගියා..” කියල.

පෞද්ගලික අපේක්ෂාවන් ඉටු නොවී ඈතට ඈතට යන එක, සමාජ අපේක්ෂාවන් ඉටු නොවී ඈතට ඈතට යන එක, දේශපාලන හා සංස්කෘතික අපේක්ෂාවන් ඉටු නොවී ඈතට ඈතට යන එක… එක දෙබසකින් ලස්සනට සිත්තම් කරනවා.

ඉතින් ඔන්න ඔහොමයි. සරුංගල් හදනවා. සරුංගල් කැඩෙනවා. එතකොට ආයෙමත් හදනවා. සමහර සරුංගල් ඈතට ඈතට පාවෙලා යනවා. ඒත් එහෙමයි කියල අලුත් සරුංගල් නොහද ඉන්න බෑ. පුංචි පුංචි ආශාවන් නැවත නැවතත් මිනිස් හිත්වල දළුලනවා. කැලැන්ඩරේ කොල අතරින් සරුංගලේ සුළං සොයනවා. ආදරණීය පාඨක හිතවතිය හිතවත, දන්නවද ඔබ ? නිහඬතා දුරලමින් ජීවිතේ ගැන මේ ලියන්නේ, අන්න ඒ යළි උපදින විස්මයජනක මනුස්ස බලාපොරොත්තුවලට උපහාර පිණිස !

විමල් කැටිපෙආරච්චි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.