වසර 23කට පසු දුම්රියෙන් කොළඹ කොටුවට එළවළු ප්‍රවාහනය කිරීමේ කටයුතු ඊයේ (27) පස්වරුවේ ආරම්භ කළ බව සමස්ත ලංකා ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සහ නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පසුගිය දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතුරු අය වැයෙන් ඉදිරිපත් කරන ලද යෝජනාවක් අනුව දුම්රිය දෙපාර්තමේන්තුවේ වෙළෙඳ සහ අලෙවි අංශය විසින් දුම්රියෙන් එළවළු ප්‍රවාහනය කිරීම සඳහා විශේෂ මැදිරි පහක් සකස් කර ඇත.
නියමු ව්‍යාපෘතියක් වශයෙන් ඊයේ (27) පස්වරු 5ට නානුඔය දුම්රිය ස්ථානයේ සිට කොළඹ කොටුව දක්වා එළවළු ප්‍රවාහනය ආරම්භ කළ අතර, එම විශේෂ දුම්රිය රාත්‍රී 12ට කොළඹ කොටුව වෙත ළඟා වීමට නියමිතය.
කොළඹ පිහිටි සුපිරි වෙළෙඳ සැල්වලට සහ මැනිං වෙළෙඳපොළ වෙත අවශ්‍ය එළවළු තොග එම දුම්රියෙන් ප්‍රවාහනය කළ අතර එම දුම්රියෙන් මඟීන්ට ගමන් කිරීමට අවස්ථාව නොලැබෙන බවත්, ශීඝ්‍රගාමී දුම්රියක් ලෙස මෙය ධාවනය කරන බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ වෙළෙඳ සහ අලෙවි අංශයේ නියෝජ්‍ය සමාන්‍යාධිකාරි අසංක සමරසිහ මහතා කියා සිටියේය.
තවද රටේ පවතින ඉන්ධන අර්බුදයට මේ තුළින් විසඳුමක් ලැබෙන බවත්, මෙම ව්‍යාපෘතියේ පවතින අඩුපාඩුකම් සොයා බලා ලබන වසරේ මුල් මාසයේ සිට මෙම දුම්රිය අඛණ්ඩව පවත්වාගෙන යන බව ද නියෝජ්‍ය සමාන්‍යාධිකාරිවරයා කීවේය.
උඩරට ප්‍රදේශයේ වගා කරන එළවළු, මල් සහ පලතුරු මෙම විශේෂ දුම්රිය මඟින් ප්‍රවාහනය කිරීමට බලාපොරොත්තු වන බවත්, නුවරඑළියට අමතරව බණ්ඩාරවෙල, වැලිමඩ යන ප්‍රදේශවල වගා කරන එළවළු, පලතුරු සහ මල් ප්‍රවාහනය කිරීමටත්, නානුඔය දුම්රිය ස්ථානයේ සිට සෑම දුම්රිය ස්ථානයකටම ප්‍රවාහනය සඳහා භාර දෙන එළවළු, පලතුරු සහ මල් මෙම දුම්රිය මඟින් ප්‍රවාහනය කිරීමට පියවර ගන්නා බවත් නානුඔය දුම්රිය ස්ථානයේ දුම්රිය ස්ථානාධිපති ජානක විරසිංහ මහතා පැවසීය.
තවද කොළඹ කොටුව සිට නානුඔය දුම්රිය ස්ථානය දක්වා දුම්රිය ධාවනය කරන අවස්ථාවල ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමට අපෙක්ෂා කරන බව ද දුම්රිය ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.
ලොරි රථවලින් එළවළු ප්‍රවාහනය කරනවාට වඩා දුම්රියෙන් එළවළු ප්‍රවාහනය කිරීම පහසු බවත්, ලබන වසරේ මුල් මාසයේ සිට දුම්රිය මඟින් එළවළු ප්‍රවාහනය අඛණ්ඩව සිදු කරන බවත් සමස්ත ලංකා ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සහ නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා කියා සිටියේය.
රෂිකා හෙන්නායක