*
Tuesday, April 23, 2024
spot_img

Latest Posts

පාරිභෝගිකයාගේ හිස මතට කඩාවැටීමට නියමිත විදුලි සැරය ….

නූතන ලංකාවේ කර්මාන්ත ක්ෂේත්‍රය සඳහාද, රෝහල් පාසල් ජලසම්පාදන වැනි සුබසාධන ක්ෂේත්‍රය සඳහාද, මිනිසුන්ගේ එදිනෙදා ජීවිතයේ ගෘහස්ථ කටයුතු සඳහාද අවශ්‍ය සෑම සියළු ලොකු කුඩා යන්ත්‍රසූත්‍ර උපකරණ වලට අවශ්‍ය බලශක්තිය සැපයෙන්නේ විදුලිබලයෙනි. සැබැවින්ම නවීන මිනිසා යනු බලශක්තිය මත අතිපිහිටවූ ජීවියෙකි. කොටින්ම විදුලි බලය බිඳ වැටුන අනාගතයක් පිළිඹඳව නූතන මිනිසාට සිතාගැනීමට පවා නොහැකිය.

නමුත් සමස්ථ ලාංකීය සමාජයම එවන් අඳුරු ඉරණමක් වෙත ක්‍රමක්‍රමයෙන් ඇදි යන ළකුණු දැන් දැන් ටිකෙන් ටික පහල වෙමින් තිබෙන බැවින් අර්බූදයේ පූර්වාපර අවධි කෙටියෙන් ආඛ්‍යාන ගතකිරීමට අදහස් කරමි.

මෙහිදී විශේෂයෙන්ම හැත්තෑ හතෙන් පසුව රට තුල සිදුවූ කාර්මීකරණය නිසාද, එත් සමග ජනජීවිතයේ සිදුවූ නවීකරණය නිසාද, ජනගහනය මහා පරිමාණයෙන් වැඩිවීම නිසාද, වේගවත් නාගරීකරණය නිසාද බල ශක්තිය සඳහා පැවති ඉල්ලුම නිරන්තරයෙන් ඉහල යන්නට විය.

මේ වැඩිවන ඉල්ලුමට අවශ්‍ය සැපයුම ලබාදීම පිනිස වූ විසදුම් ක්‍රියාවලිය නම් “නව විදුලි බලාගාර ජනනය කිරීමට අදාලව ජාතික සැලැස්මක්” විදුලි බල මණ්ඩලය විසින් නිර්මාණය කිරීමේ සාමාන්‍ය ක්‍රමවේදයයි.

එහිදී පවතින දේශපාලන අධිකාරිය විසින් එයට අවශ්‍ය ප්‍රතිපාදන වෙන්කර නිර්මාණිත සැලැස්ම ක්‍රියාවට නැංවිය යුතුය. නමුත් රටේ පවත්නා සමස්ථ අරාජිකත්වය හා ටෙන්ඩර් වංචා නිසාම ඇතිවූ කඹ ඇදිලි හේතුකොටගෙන ජාතික බලාගාර පද්දතියට එකතුවිය යුතුවූ නව බලාගාර 2014 පසු ඉදිකලේම නැත.

එපමණක් නොව පවතින බලාගාර වලට අවශ්‍ය නඩත්තු කටයුතු සිදු කලේද නැත. වැසි පිට වැසි වසිමින් ජලාශ උතුරායමින් ගංවතුර ගලද්දීත් අකන්ඩව විදුලිබලය සැපයීමට නොහැකි අර්බූදයේ මූලය ඇත්තේ මෙතැනය.

මේ අර්බූදය පැවත එන්නේ ඩොලර් අරබූදය හටගැනීමටද පෙර සිටමය. ඇත්තෙන්ම මේ තත්වය ඇතිවීමට හේතුවූයේ පොදුවේ රටේ දේශපාලන හා රාජ්‍ය පරිපාලන කටයුතු වල පවතින අරාජික හා දූෂිත ව්‍යුහය නිසාය. මේ අරාජිකත්වයට දේශපාලන බලධාරීන් පමණක් නොව විදුලි වෘතීය සමිති, වාම ජාතිකවාදීන්, ඊනියා පරිසරවාදීන් යන මේ සෑම සියළු කන්ඩායමක්ම වගකිව යුතුය.

මීට පෙර එක් අවස්තාවක ඉන්දියානු ප්‍රතිපාදන යටතේ ඉදිකිරීමට ගිය සාම්පූර් තාප විදුලි බලාගාරය ගල් අඟුරු දහනයෙන් වන පරිසර හානිය ගැන කොරහෙ කිඹුල්ලු දුටු ඊනියා පරිසර වාදීන්ගේ විරෝධය නිසාද සහ ඉන්දියන් ප්‍රතිපාදන වල තිබූ ඉන්දියානු අධිරාජ්‍යවාදය දැක බියවූ වාම ජාතිවාදීන්ගේ විරෝධය නිසාද ඒ ව්‍යාපෘතියද අසාර්තකවිය.

අපේ රටෙ ඇතැම් පරිසරවේදීන් ජීවත්වන්නේ යථාර්ථ ලෝකය තුල නොවේ. ඇතැම්විට දැවෙන ප්‍රශ්නයකට පිළියම් සොයා ආරම්බ කිරීමට යන ව්‍යාපෘතියක් මැදට කඩා වදින මොවුන් “ලෝකයේ පවත්නා අවසාන ගස” වෙනුවෙන් විකාර සටන්වල යෙදෙයි. එසේම මේ පරිසර වේදීන් තුලින් මතුවෙන ඕනෑම මජර විරෝධයක් මැද්දට පැන ඒ මැද තමන්ගේ රතු කොඩිය ගසාගන්නා බංකොලොත් වාමාංශික පිස්සන්ද මේ අර්බූදයට වගකිව යුතුය.

තවත් පැත්තකින් මේ “නව බලාගාර ඉදිකිරීමේ කාර්‍ය” වැඩේ නොකෙරෙන තැනට මාර්ගය සකස් කලේ විදුලිබල මන්ඩලය ඇතුලතම සිටින නිලධාරී මාෆියාව විසිනි. හේතුව, අළුතෙන් විදුලි බලාගාර ඉදි නොවූවිට අවශ්‍ය විදුලි ඒකක ප්‍රමාණය මදිවේ. එවිට ඔවුන්ගේ හිතවතුන් සතුව පවතින පෞත්ගලික බලාගාර වලින් විශාල මිලක් ගෙවා විදුලිය ලබාගත හැකිය. මේ හරහා රාජ්‍ය ධනය විශාල ප්‍රමාණයෙන් පෞත්ගලික බලාගාර ජාවාරම් කාරයන් අතට පත්වේ. එහිදී මහාපරිමාණ අතයට ගනුදෙනු ද සිදුවේ.

එසේම නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයට අවශ්‍ය ගල් අඟුරු තොග වසරේ සැප්තැම්බර් සිට අප්‍රේල් අතරතුර කාලයේදී ගබඩාකර අවසන් කල යුතුය. මන්ද, ඉන්පසුව වාරකං කාලය එළඹෙන බැවින් ගල් අඟුරු ගොඩ බෑම යනු කොහෙත්ම නොකල හැකි කාර්‍යයක් වන බැවින්. නමුත් මේ දක්වාම ඒ සඳහා අවශ්‍ය ටෙන්ඩර් කටයුතු අවසන් වී නොමැත. එයට හේතුවද රට වැටිය හැකි අන්තිම පතුලටම වැටී තිබියදී පවා පාලකයන් හා නිලධාරීන් එක්ව ගසන ටෙන්ඩර් මගඩි සහ කඹ ඇදිලි දැන් පවා අතහැර දමා නැති බැවින්.

මෙහිදී උත්ගතව ඇති අනෙක් ගැටලුව නම් රජය අයි.එම්.එෆ්. ආයතනය සමඟ ඇති කරගෙන ඇති එකඟතාවයට අනුව පාඩු ලබන ආයතන තවදුරටත් රජය සතුව තබාගත නොහැකිය. ඒ එකඟතාවයට අනුව විදුලිබල මණ්ඩලය මේවන විටත් හරිනම් පෞත්ගලික අංශයට විකුණා දමා තිබිය යුතුය. එසේ නොමැති නම් අතිරික්ත සෙවක කන්ඩායම් ඉවත් කිරීම සහ මණ්ඩලයට ඔරොත්තු නොදෙන සේවක වරප්‍රසාද හා වැටුප් අඩුකිරීම කල යුතුය. නමුත් විදුලිබල මණ්ඩලයට අරක්ගෙන සිටින නිලධාරී මණ්ඩලයට සහ ප්‍රබල වෘතීය සමිති මාපියාවට යටවීසිටින දේශපාලකයින්ට මණ්ඩලය විකුණා දැමීම කීයටවත් කල නොහැක්කකි. අවම වශයෙන් අතිරික්ත සෙවකයන් ඉවත් කිරීමට හෝ දීමනා කප්පාදුවක් හෝ කල නොහැකිය.

ඒ අනුව ඔවුන් සතුව ඇති එකම පිළියම විදුලි බලමණ්ඩලය පාඩු නොලබන බව පෙන්වීම සඳහා පාරිභෝගික බිල් පත කීප ගුණයකින් වැඩි කිරීම පමණි. අවසානයේ සියළු කුණු බෙංගාල බොක්කට සේ මණ්ඩලේ සියළු පවු වලට කරගැසීමට සිදුව ඇත්තේ අසරණ පාරිබෝගිකයන්ටය. වෘතීය අයිතීන් වෙනුවෙන් ඕනෑවටත් වඩා ඩෙඟා නටන වෘත්තීය සමිති නහුතයක් තිබුනට පාරිභෝගිකයන් වෙනුවෙන් පෙනීසිටින එක පාරිභෝගික සමිතියක් හෝ අප රට තුල නොමැත.

මෙහිදී සාමාජික මුට්ටි කාසි හා තැපැල් චන්ද මල්ල දිහා බලාගෙන රටට අහිතකර වෘත්තීය සමිතිවලට දේශපාලන ජවය සපයන වම දකුණ පැටළුනු වාමාංශික පක්ෂද මේ අර්බූදයට වගකිව යුතුය.

ලාංකීය වම්මුන් විසින් සමාජවාදය හා වෘතීය සමිතිවාදය එකිනෙකට පටලවාගෙන ඇති බැවින් මාක්ස්ගේ තිසීස වලට අනුව මේ “වෘතීය සමිති” ගැන යම් පැහැදිලි කිරීමක් කිරීමට කැමැත්තෙමි.
ධනවාදය තුල කම්කරුවන් යනු වෙළඳපොල කොන්දේසි යටතේ ශ්‍රම ශක්තිය වෙළඳ බාන්ඩයක් ලෙස විකුනාදමන පිරිසකි. එහිදී වෘතීය සමිති යනු වෙළඳපොල කොන්දේසි යටතේ මේ ශ්‍රම වෙළඳ බාන්ඩයට ලබාගත හැකි සුපිරිම මිල කෙසේ හෝ ලබාගැනීමට සටන් කරන සංස්ථාපිතයකි. ලංකාව තුල ඇති තත්වයට අනුව බිල්ගෙවන ජනයා මත යැපෙන මේ වෘතිකයන් හා වෘතීය සමිති ශ්‍රමය සඳහා සුපිරි මිලක් නොව බිල්ගෙවන ජනයාගේ ගෙල මිරිකා ලබාගන්නා කොල්ලකාරී මිලක් සඳහා සටන් කරයි.

මේ තත්වය තුල ලාංකීය විදුලි පාරිබෝගිකයක්ට මුහුණ පෑමට සිදුවන අසාධාරණය නම් ලබන වසරේ බිල කීපගුණයකින් වැඩිවී විදුලියද පැය දහයක පමණ කප්පාදුවකටද හසුව වැඩිවූ බිලද ගෙව්මින් කරුවලේද සිටීමටද සිදුවීමට ඉඩ තිබීමය.

එසේම අනෙක් පැත්තෙන් එළඹෙන වසර තුල ඇතිවිය හැකි මේ මහාපරිමාණ විදුලි කප්පාදුව හා විදුලිබිල ඉහල දැමීම නිසා ඉතිරිව ඇති කර්මාන්ත ටිකද ඒ තුල ඉතිරිව ඇති රැකීරක්ෂා ටිකද සහ දැනටමත් පන ඇද ඇද දුවන රෝහල්, පාසල් සුබසාධන ක්ෂේත්‍රද සහ සමස්ත ආර්ථිකයමද එකතැන ඇදවැටීමට වුව ද ඉඩ ඇත.

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan