සටහන – රෂිකා හෙන්නායක
මාර්තු 30, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ බහුජන සමාජි පක්ෂයේ ප්‍රබල දේශපාලනඥයකු වූ මුක්තාර් අන්සාරි හෘදයාබාධයකින් ජීවිතක්ෂයට පත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ඒ ඔහු පුද්ගල ඝාතන කිහිපයක් සම්බන්ධව වරදකරු වී ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විඳිමින් සිටි අතරතුරයි.
60 හැවිරිදි මුක්තාර් අන්සාරි ජීවිතාන්තය දක්වා සිරදඬුවමට ලක්ව සිටියේ ව්‍යාජ අවිආයුධ බලපත්‍ර නඩුවකට වරදකරු වීමෙන් වන අතර, ඊට පෙර ඔහු භාරතීය ජනතා පක්ෂයට නායකත්වය දෙමින් උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ දේශපාලන කටයුතුවල නිරතව සිටි ක්රිෂ්ණානන්ද් රායි ඇතුළු පුද්ගලයන් කිහිපදෙනකු 2005 වසරේදී වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනාවට ලක්ව වසර 10ක සිරදඬුවම් විඳිමින් සිටියේය.
90 දශකයේදී සංවිධානාත්මක අපරාධ කල්ලියකට නායකත්වය දෙමින් කප්පම් ගැනීම් සහ පැහැරගෙන යෑම් ඇතුළු විවිධ අපරාධ රැසක් සිදු කර පසුව දේශපාලනයට පිවිසි මුක්තාර් අන්සාරිට හෘදයාබාධයක් වැලඳීම සඳහා වස මිශ්‍ර ආහාර ලබා දී ඇතැයි ඔහුගේ පුත්‍රයා උමර් අන්සාරි චෝදනා කර ඇතැයි ද වාර්තා වේ.
මියයෑමට දින 10කට පෙර තමාට වස මිශ්‍ර ආහාර ලබාදීම හේතුවෙන් ස්නායු වේදනාවකින් පීඩා විඳින බව මුක්තාර් අන්සාරි අධිකරණයක පෙනී සිටි අවස්ථාවේ ප්‍රකාශ කර ඇතැයි ද වාර්තා වේ.
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ, මේ පිළිබඳ විමර්ශනය කිරීමට උත්තර් ප්‍රදේශ් ප්‍රාන්ත රජය ත්‍රිපුද්ගල විනිසුරු මණ්ඩලයක් පත් කර ඇති බවයි.