මාදුරුඔය හෙක්ටයාර් 71 000ක වගා කිරීමට ඉදිරියේදී සැලසුම්

Date:

සටහන – නදීක දයා බණ්ඩාර

අප්‍රේල් 03,  මහනුවර (LNW): මාදුරුඔය දකුණු ඉවුර සංවර්ධන ව්‍යාපෘතිය නිම කිරීමෙන් අනතුරුව ගොවිබිම් හෙක්ටයාර් 71 000ක් අස්වද්දන බව වැවිලි කර්මාන්ත හා මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්ත මහතා පවසයි.

ආහාර සුරක්ෂීතතාව මගින් ජාතික ආරක්ෂාව සුරක්ෂිත වන බැවින් ඉදිරියේදී ගොවිබිම් ශක්තිමත් කිරීම රජයේ අපේක්ෂාවක් යැයි ද ඒ මහතා ප්‍රකාශ කළේය.

තැඹිලි ගම්මාන පිහිටුවීමේ ජාතික වැඩසටහනට සමගාමීව මහනුවර දිස්ත්‍රික් ගම්මානයේ සමාරම්භය (02) ජම්බුගහපිටිය, අනුරාගල රජමහ විහාරයේදී පැවැති අතර ගම්මානයේ පැල රෝපණය කිරීමෙන් අනතුරුව විහාරස්ථානයේදි පැවැති උත්සවයේදී අමාත්‍යවරයා මේ බව කීවේය.

පොල්වගා කිරීමේ මණ්ඩලය සිය 52වන වර්ෂපූර්ණ සංවත්සරයට සමගාමීව තෝරා ගත් දිස්ත්‍රික්ක කිහිපයක තැඹිලි ගම්මාන ස්ථාපිත කිරිම දියත් කොට තිබේ.

විදේශීය ඉල්ලුමට සාපේක්ෂව තැඹීලි සැපයුම ප්‍රමාණවත් නොවන බැවින් තැඹිලි ගම්මාන ස්ථාපිත කිරීමට සැලසුම් කළ බවත් ඉදිරි පස් වසරක කාලයෙන් පසු දේශීය තැඹිලි නිෂ්පාදන ජාත්‍යන්තර වෙළඳ පොලට යොමු කිරීම මෙහි අපේක්ෂාවක් යැයි ඒ මහතා කීවේය.

පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් තැඹිලි පැළ, උපදෙස් හා සෙසු සේවාවන් නොමිලේ ලබා දෙන බව කී අමාත්‍යවරයා, ප්‍රතිලාභීන් සඳහා මෙම ව්‍යාපෘතිය යටතේ නොමිලේ ලබා දෙන පැළ සම්බන්ධ පසුවිපරම් කරන බව ද සඳහන් කළේය.

කෘෂිකාර්මික වශයෙන් රට ශක්තිමත් කිරීම සඳහා වැඩසටහන් රැසක් දියත් කරන බව කී අමාත්‍යවරයා, කෘෂිකර්මයට අදාල අංශ රැසක් එක් අංශයක් යටතට පත් කිරීම මගින් ඉහළ ඵලදායිතාවයක් කරා යොමු විය හැකි යැයි ද පැවසුවේය. සිය වැවිලි කර්මාන්ත අමාත්‍යංශය හා මහවැලි අමාත්‍යංශය ඒ අයුරින් සම්බන්ධ කිරීම මගින් ගොවිජනතාවගේ අවශ්‍යතා කඩිනමින් ඉටු කිරීමේ හැකියාව ලැබුණු බව ද රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්ත මහතා තව දුරටත් සඳහන් කළේය.

ජම්බුගහපිටිය තැඹීලි ගම්මානය පිහිටුවිම නිමිත්තෙන් පැවැති වැඩසටහනේදී ප්‍රතිලාභී පවුල් සියයක් සඳහා සංකේතාත්මකව පැළ ප්‍රදානය කිරීම එහිදී සිදුවූ අතර සෙසු ප්‍රතිලාභීන් සඳහා ඉදිරියේදි තැඹීලි පැළ ලබාදීමට නියමිතය.

මෙම අවස්ථාව සඳහා අනුරාගල රජමහ විහාරයේ විහාරාධිපති පූජ්‍ය තුන්හිටියාවේ රේවත හිමි, වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ අතිරේක ලේකම් කේ.එස්.විජේසිරි මහතා, පොල්වගා කිරීමේ මණ්ඩලයේ සභාපති මාධවී හේරත් මහත්මිය, පාතදුම්බර ප්‍රාදේශීය ලේකම් තක්ෂිලා වීරකෝන් මහත්මිය, මහනුවර සහකාර දිස්ත්‍රික් ලේකම් ඉදුමිණී මැණික්දිවෙල මහත්මිය ඇතුලු පිරිසක් ද ප්‍රතිලාභී පවුල් රැසක් ද මෙම අවස්ථාවට එක්වූහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Wanderlust Wednesday: නරඹන්න! සුන්දර ඇල්ල ප්‍රදේශයේ අලංකාරය! Exploring the Enchanting Beauty of Ella, Sri Lanka

සෑම බඳාදා දිනකම “Wanderlust Wednesday” තුළින් ඔබට ලස්සන තැන්,...

අනුරටත් නෑ ප්‍රධාන විපක්ෂෙටත් නෑ.ඊළඟ පාර නාමල්ට තමයි!

කොළඹ LNW:මීට පෙර නොදුට්‍රු අන්දමට ඊළඟ ජනාධිපති සම්බන්ධයෙන් විශාල...

රුසියාව සෙලවෙයි! හවායි හි ඉවත් කිරීමේ නියෝගත් ඉවතට!

සටහන – පුලී ජූලි 30, කොළඹ (LNW):  ඉතිහාසයේ දරුණුතම භූමිකම්පාවක්...

යුද හමුදාපති ලසන්ත රොද්‍රිගෝට ජනපතිගෙන් සේවා දිගුවක්

සටහන - රුවන් නෙළුගොල්ල යුද හමුදාපති ලුතිනන් ජනරාල් ලසන්ත රොද්‍රිගෝ...