අපි පසුකළේ ඉතා කණගාටුදායක කාලයක් – ජනපති නීතීවේදීන් අමතයි.

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 06 , කොළඹ (LNW): පක්ෂවල වුවමනාවන්ට අනුව රටේ ආර්ථිකය සකස් කිරීමට ගොස් විශාල අර්බුදයකට රටට මුහුණ දීමට සිදුවූ බවත්, යළි එසේ නොවීමට නම් සාම්ප්‍රදායික දේශපාලනයෙන් මිදිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ අනුරාධපුර දිස්ත්‍රික් නීතීවේදීන් සමඟ අද (06) පැවති හමුවේදීය.

පසුගිය කාලය තුළ සිදු වූ සිදුවීම් හේතුවෙන් රටේ ප්‍රජාතන්ත්‍රවාදය සෙළවීමකට ලක් වූ බව මෙහිදී සිහිපත් කළ ජනාධිපතිවරයා රට තුළ නීතිය හා සාමය ආරක්ෂා කරමින් රට ඉදිරියට ගෙන යාමට එක්වන ලෙස ද මෙහිදී නීතිඥවරුන්ගෙන් ඉල්ලා සිටියේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය,

” මෙතන විවිධ පක්ෂවල අය ඉන්නවා. මම මෙතනට ආවේ එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස නොවෙයි. මම ජනාධිපතිවරයා ලෙසයි ඔබ සියලුදෙනා වෙනුවෙන් කටයුතු කරන්නේ.

දැන් අපි සම්ප්‍රදායිකව සිතු කාලය අවසන් වෙලා තිබෙනවා. සම්ප්‍රදායික දේශපාලන නිසා අපිට මේ අසීරු තත්ත්වයට මුහුණ දීමට සිදු වුණා. අපි එයින් ඉවත්විය යුතුයි.

පක්ෂ ක්‍රමය සකස් විය යුත්තේ රටේ අවශ්‍යතාවය අනුවයි. පක්ෂ ක්‍රමයේ වුවමනාවට රට හදන්න බැහැ. එය සිදු කිරීමට යාම නිසා තමයි පසුගිය කාලයේ අභියෝග රැසකට මුහුණ දීමට සිදුවුණේ. එහිදී කිසිවෙකු වගකීම භාරගත්තේ නැහැ. අවසානයේ ආණ්ඩුව හදන්නවත් කිසිවෙක් ඉදිරිපත් වුණේ නැහැ.

ප්‍රධාන පක්ෂ එකට එක් වී මේ පිළිබඳ සාකච්ඡා කිරීම වඩා සුදුසු බව මගේ විශ්වාසයයි. පැරණි පක්ෂ වන එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මත තමයි එදා ගම ගොඩනැගුණේ.

නමුත් දැන් නව පක්ෂ ගණනාවක් බිහි වී තිබෙනවා. ඉදිරි මැතිවරණයේදී මේ සියල්ල වෙනස් විය හැකියි. පක්ෂ පිළිබඳ නොසිතා රට ගැන සිතා කටයුතු කළයුතුව තිබෙනවා. නැත්නම් සිදු වන්නේ බෙදීමක් පමණයි.

අපි පසුකළේ ඉතා කණගාටුදායක කාලයක්. අපේ මන්ත්‍රීවරයෙක් මහමගදී පහරදී ඝාතනය කළා. අපි නැවත එම තත්ත්වයට යා යුතුද කියලා මම සියලුදෙනාගෙන් අහන්න කැමතියි. ඇතැම් දේශපාලනඥයන් මෙය අනුමත කළා. මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ සංගමයවත් මෙය හෙළා දැකීමට පියවර ගත්තේ නැහැ.

එදා ඝාතනය කෙරුණේ ප්‍රජාතන්ත්‍රවාදයෙන් තේරි පත් වූ මන්ත්‍රීවරයෙක්. එදා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය තිබූ තැන අද අප අමතක කර තිබෙනවා. පාර්ලිමේන්තුවේ බහුතරයක් තිබෙන පුද්ගලයා තමයි අගමැතිවරයා විය යුත්තේ. එය නොමැතිනම් වෙනත් අයෙකුට අගමැති ධූරයට පත්විය හැකියි.

අගමැතිවරයාගේ නිවසට ගිනි තබා අයින් වෙන්න කියනව නම්, අගමැතිවරයාට ඉල්ලා අස්වන ලෙස විපක්ෂය කියනවා නම් රටේ ප්‍රජාත්න්ත්‍රවාදයක් තිබෙනවාද කියා අහන්න කැමතියි. එංගලන්තය වැනි රටක මෙය සිදුවුවහොත් කුමක් වෙයිද, ඒ නිසා දැන් අපට තිබෙන්නේ රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමයි.

එම මූලධර්ම අනුව පක්ෂයෙක් කිසිවෙකුට කරදරයක් සිදු වුවහොත් එය හෙළා දැකිය යුතුයි. විපක්ෂයේ සිටි කුමාර වෙල්ගම මහතාත් මෝටර් රථය තුළට දමා ගිනි තැබීමට උත්සාහ කළ අවස්ථාවේ එහි සිටි පිරිසක් එතුමා බේරගනු ලැබුවා. ඔහු හොරෙක්වත්, මිනීමරුවෙක්වත් නොවෙයි.

ඒ නිසා අප රට තුළ නීතිය හා සාමය තහවුරු කළයුතුයි. එහිදි අප සියලුදෙනා එකට වැඩකළයුතුයි. ඇතැම් පක්ෂ කියනවා සොරුන්ට දඩුවම් කරනවා කියලා. සොරකමට අපි විරුද්ධයි. නමුත් පක්ෂවලට ඔවුන්ට දඩුවම් කරන්න බැහැ. සොරුන්ව හොයාගෙන අධිකරණයට ඉදිරිපත් කරනවා කියලා ප්‍රකාශ කරනවා නම් එය නිවැරදියි.

ඒ වගේම ඔන්ලයින් ගෙන ආ විට ප්‍රජාතන්ත්‍රවාදය නැති වෙනවා කියලා කියනවා. ඒ නිසා මේ පැරණි දේශපාලනයෙන් අප ඉවත්විය යුතුයි.

අප සියලුදෙනා අලුතින් සිතිය යුතුයි. පසුගිය සමයේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය සෙළවිමකට ලක් වුණා. ඒ නිසා රට තුළ පිළිපැන්න ප්‍රජාතන්ත්‍රවාදය නිසි මගට ගෙන රට ඉදිරියට ගෙන යාමට එක්වෙමු කියලා ඔබ සියලු දෙනාට මම ආරාධනා කරනවා

නීතිඥවරුන් අසන ලද ප්‍රශ්න කිහිපයක් සහ ඒවාට ජනාධිපතිවරයා ලබාදුන් පිළිතුරු


ප්‍රශ්නය,
අනුරාධපුර නගරය සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමට විධිමත් වැඩපිළිවෙළක් සකස් කළහොත් අනුරාධපුර නගරය පුළුල් කිරීමට එය හොද අවස්ථාවක් වනු ඇතැයි යෝජනා කරන්න කැමැතියි.

පිළිතුර,
ඉඩම් සම්බන්ධව ගැටළු රැසක් මතුව තිබෙනවා. ඒ නිසා රජයේ ඉඩම් පිළිබඳ අයිතිය එක් ආයතනයක් යටතට ගෙන ඒමට අප කටයුතු කරනවා. ඒ අනුව විධිමත් සැලැස්මක් යටතේ මෙම පළාත දියුණු කිරිමට අපේක්ෂා කරනවා. ප්‍රධාන පෙළේ සංචාරක හෝටල් කිහිපයක්ම මෙහි ආයෝජන සඳහා කැමැත්ත පළ කර තිබෙනවා. අප ඔවුන්ට ද අවස්ථාව ලබාදිය යුතුයි. ඒ අනුව මෙම අනුරාධපුර නගරය සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමට නිසි සැලැස්මක් අනුව කටයුතු කරනවා.

ප්‍රශ්නය,
රට ආර්ථික අර්බුදයක පවතින අවස්ථාවක ආදායම් මාර්ග උත්පාදනය කරගන්නා අතරම රාජ්‍ය ආයතනවල සිදුවන නාස්තිය අවම කර ගැනීම ද අත්‍යාවශ්‍යයි. මිලියන ගණනක් අහිමි කර ගනිමින් රජයේ දෙපාර්තමේන්තු සහ සංස්ථා විසින් සිදුකරන මිලදීගැනීම් සහ ක්‍රමසම්පාදනයන් පිළිබඳ නව නිති ගෙන ඒමට කටයුතු කරනවාද කියා දැන ගැනිමට කැමතියි.

පිළිතුර,
රාජ්‍ය ආයතන තුළ සිදුවන නාස්තිය නැති කිරීමේ වැඩපිළිවෙළ දැනටමත් අප ආරම්භ කර තිබෙනවා. මේ පිළිබඳ සොයා බලා වාර්තා කිරීම සඳහා පාර්ලිමේන්තු කමිටු ගණනාවක් පත් කර තිබෙනවා. ඒ වගේම විශේෂඥ දැනුම ලබාගෙන රජයේ දෙපාර්තමේන්තු සහ සංස්ථා ගණන අඩු කිරීමට සැලසුම් කර තිබෙනවා.

ඇතැම් විෂයයන්ට දෙපාර්තමේන්තු, සංස්ථා ගණනාවක් තිබෙනවා. ඒ නිසා සම්පුර්ණ රාජ්‍ය ව්‍යුහයම වෙනස් කළ යුතුව තිබෙනවා. ඒ වගේම පුළුල් වැඩකොටසක් පළාත් සභාවලට භාරදීමට අප ඉදිරියේදී කටයුතු කරනවා.

අප දැනට ප්‍රමුඛත්වය දිය යුත්තේ රටේ ආර්ථිකය ගොඩනැඟීම සඳහායි. ඒ නිසා මෙම වැඩපිළිවෙළ ඉදිරි වසර කිහිපය තුළ ක්‍රියාත්මක කිරීමට අපි සැලසුම් කර තිබෙනවා. මෙම ක්‍රියාකාරී වැඩසටහන් පිළිබඳ අප ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව සමග කටයුතු කරගෙන යනවා. මෙම තත්ත්වයට එංගලන්තයටත් මුහුණදීමට සිදු වුණා. 1979 පසු එහි විශාල ලෙස ප්‍රතිසංවිධානයක් සිදු වුණා.

අමාත්‍ය මනූෂ නානායක්කාර, රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක හිටපු අමාත්‍ය පී. හැරිසන්, එක්සත් ජාතික පක්ෂ මහලේකම් හිටපු අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර, ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල් (ප්‍රජා කටයුතු පිළිබඳ) රජිත කීර්ති තෙන්නකෝන්, ජනාධිපති වෘත්තිය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය, උතුරු මැද පළාත් හිටපු විපක්ෂ නායයක නීතිඥ කස්තුරි අනුරාධනායක යන මහත්වරු සහ අනුරාධපුර නීතිඥ සංගමයේ සාමාජිකයන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂයේ බිල්ලන්ට සොරිම තමයි. කන්ටේනර් සිද්ධිය ගැන ජනාධිපතිතුමා තීරණයක් ගනී – බිමල්

කොළඹ LNW:ආන්දෝලනයට තුඩු දුන් බහාලුම් නිදහස් කිරීමේ සිද්ධියට අදාළව...

“Squid Game- season 3” ත්‍රාසජනක ගේමෙහි අවසානය!

සටහන – පුලී ජූලි 01, කොළඹ (LNW): ජුනි 27 වන...

හිටපු ආගමන විගමන පාලක වරද පිළිගනී. දඬුවම් නියම කිරීමට දින දෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය විදේශීය...

ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක්

මාසික ගෑස් මිල සංශෝධනය සම්බන්ධයෙන් ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනයක්...