(දිවංගත මංගල සමරවීරයන්ගේ 68 වන ජන්ම දිනය අප්‍රේල් 21 ඉරුදිනට යෙදී ඇත.)
“අප කතා කරන්නේ කෙනෙකු කොහොමද ජීවත් විය යුත්තේ යන්නයි.” මේ සොක්‍රටීස්ගේ ප්‍රධාන ප්‍රශ්ණවලින් එකකි. මේ ප්‍රශ්ණයට පිළිතුරු දීම සඳහා ඔහුගේ ශිෂ්‍ය ප්ලේටෝ විසින් ජනරජය නම් ප්‍රස්තුතය ඉදිරිපත් කළේය. ප්ලේටෝගේ එම ජනරජ පුස්තකය බටහිර නූතන රාජ්‍යයේ ආකෘතිය බවට පසුකාලිනව පත්විය.
ලංකාව ද බ්‍රිතාන්‍ය යටත් විජිතයක් බවට පත්වීමෙන් පසුව ක්‍රමිකව එම රාජ්‍ය ආකෘතිය ලැබී ඇත.1815 සිට ලංකාව බ්‍රිතාන්‍ය පූර්ණ යටත් විජිතයක් බවට පත්විමේ සිට යටත් විජිතභාවයෙන් නිදහස්වන 1948 දක්වා වරින්වර ඉංග්‍රිසි පොදු නීතියේ වන වෙනස්කම් හා එංගලන්ත පාර්ලිමේන්තුව තුළ සමාජ සාධාරණය උදෙසා වන ව්‍යවස්ථා මත පදනම්ව යටත් විජිත පාලනයද මානුෂිකකරණයට ලක්විය.
උදාහරණ වශයෙන් එංගල්ස් විසින් එංගලන්තයේ වැඩ කරන පන්තියේ තත්ත්වය පිළිබද හෙලි කළ කරුණු, 19 වන සියවසේ මැද භාගයේ ලංකාවේ දිළිඳු ජනයාගේ තත්ත්වය අතර විශාල වෙනසක් දකින්නට නැත. ලෝකයේ පොදු ජනතාව පිළිබඳ මානුෂික හැගීම් වර්ධනය වුයේ 20 වන සියවස මුලය. ලංකාවේද යටත් විජිතහිමියා පොදු ජන යහපත උදෙසා යොමු වන්නේ 20 සියවස මුලදීය.
මෙසේ පැමිණෙන මනුෂ්‍යත්වය පිළිබඳ අදහස් මත ඇති වන සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙස යටත් විජිත පාලනයෙන් නිදහස් වීමට බොහෝ රටවලට අවස්ථාව ලැබී ඇත. ලංකාව බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයෙන් නිදහස් වනුයේ මෙම පසුබිම තුළය. 1948 ලංකාව බ්‍රිතාන්‍යයෙන් නිදහස ලබා ශ්‍රී ලංකාව බවට පත් වූවත් ශ්‍රී ලාංකික යන ප්‍රජා අනන්‍යතාවය ගොඩ නැගීමට නොහැකි වී ඇත. ඒ වෙනුවට ලංකාව තුළ මතු වූයේ ආගමික අනන්‍යතා භාෂා අනන්‍යතා හා ජන වාර්ගික අනන්‍යතා ප්‍රමුඛ කරගත් ජාතිවාදයකි.
ශ්‍රී ලංකාවේ දැනටමත් ඇති ප්‍රධාන අභියෝගය වනුයේ මෙම ජාති, භාෂා, ආගම්, අනන්‍යතා වෙනුවට ප්‍රජා ජාතිකවාදයක් ගොඩනගන්නේ කෙසේද යන්න හා යටත් විජිත හිමියාගෙන් ලැබුණු රාජ්‍ය පාලන ක්‍රමය අදට ගැලපෙන ලෙස නවීකරණය කරනුයේ කෙසේද යන්නය. ඉහත සංදර්භය තුළ මංගල සමරවීර චරිතයේ නූතන ශ්‍රී ලංකාව ගොඩනැගිම සඳහා වැදගත් ලක්ෂණ ගණනාවක් ඇත.
1. නූතනත්වය පිළිගැනීම
2. සංස්කෘතික විවිධත්වය පිළිගැනීම
3. ජාතිවාදී දේශපාලනය බැහැර කිරීම
4. දෙබිඩ්ඩෙක් ලෙස ජිවත් නොවිම
5. ආගමික වර්ගවාදය බැහැර කිරිම
6. ආන්තික සමාජ කොටස්වල අයිතිය පිළිගැනිම
ලංකාවේ රාජ්‍ය ආයතන ගතහොත් දැකිය හැකි මුලික දුර්වලතාවය වන්නේ වෙනස් වීමට ඇති අකමැත්තය. දැනට ලංකාවේ පවතින නිලබල ක්‍රමය ලෝකයේ පවතින තාක්ෂණික හා මානුෂික අවශ්‍යතාවය මත වෙනස් වී නැත. පසුගිය දශක 3 තුළ වරින් වර රාජ්‍ය නිලබල ක්‍රමය වෙනස් කිරීමට උත්සහ දැරුවද එයින් නැග එන විරෝධතා මත එම උත්සහයන් ව්‍යර්ත වි ඇත. එසේ වුවද මංගල සමරවීර භාරගත් සෑම අමාත්‍යංශයක්ම නවීකරණය හා යාවත්කාලීන කිරීමට ඔහු උපරිම අයුරින් කටයුතු කර ඇත.
විදුලි සංදේශ සේවාවල ඇති වූ වෙනසට මුල පුරන ලද්දේ මංගල විසිනි. අද ඕනැම කෙනෙකුට නොමිලේ දුරකථන සබඳතාවයක් ලබා ගැනිමේ අවස්ථාව ලැබි ඇත්තේ ඔහුගේ මැදිහත් වීම නිසාය. නාගරික සංවර්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කල කාලය තුළ එම කාර්යාල පරිශ්‍රය නවීකරණය කිරීම හා අනවසර ගොඩනැගිලි ඉවත් කිරිම වැනි කටයුතු වලදි ඔහු පෞද්ගලිකව මැදිහත් වන අවස්ථා තිබුණි.
වෙනත් කිසිදු දේශපලාඥයෙකු මෙවැනි පෞද්ගලික අවාසි ගෙන දෙන තීන්දු වෙනුවෙන් මෑතක පෙනී සිටිනවා දක්නට ලැබී නැත. ජන මාධ්‍ය හා මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අවස්ථාවල පැරණි ක්‍රම වෙනුවට නව ඩිජිටල් ක්‍රම භාවිතයන් වෙනුවෙන් කටයුතු කර ඇත. රාජ්‍ය බදු පරිපාලනය වෙනුවෙන් ඉතා ජනප්‍රිය නොවන එහෙත් කල යුතු වෙනස්කම් ගණනාවක් කර ඇත. 2019 ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වීමෙන් පසු කරන ලද විනාශකාරී බදු ප්‍රතිව්‍යුගත කිරීමට ප්‍රසිද්ධියේ විරෝධය පැවේ මංගල පමණි.
මංගලගේ දක්නට ලැබුණු තවත් ලක්ෂණයක් වනුයේ සංස්කෘතික විවිධත්වය පිළිගැනිමයි. ලෝකයේ දියුණු සැම රටකම අන්‍ය සංස්කෘතික විවිධත්වය පිළිගෙන ඇත. එංගලන්තයේ මුස්ලිම් ප්‍රජාවට සරියා නීතියට පවා ඉඩ දී ඇත්තේ මේ සංස්කෘතික විවිධත්වය පිළි ගැනිම වෙනුවෙනි. ලෝකයේ රටවල්වල මානව සංවර්ධන දර්ශක තීරණය වනුයේ මෙම සංස්කෘතික විවිධත්වය තුළ ඇති ප්‍රබලතාවයන් අවශෝෂණය කර ගැනීමේ හැකියාව මතය. මෙම සංස්කෘතික විවිධත්වය පිළිගැනිමට ලංකාවේ අධ්‍යාපන ක්‍රමය තුළ ඇති ඉඩකඩ සිමා සහිතය. මංගල තම ජිවිත භාවිතයෙන් පෙන්වා දුන්නේ තමා තුළ සංස්කෘතියට ඇති පිලිගැනිමයි.
මංගලගේ තවත් විශේෂ ලක්ෂණයක් වනුයේ ජාතිවාදය බැහැර කිරිමයි. 1948 සිට 2020 දක්වා පැවැති සියළුම ජාතික මැතිවරණවල දී මැතිවරණ සදහා ජාතිවාදය යොදා ගෙන ඇත. උදාහරණ ලෙස 2019 ගෝඨාභයගේ මැතිවරණ ජයග්‍රහණයේ පදනම වනුයේ සිංහල බෞද්ධ ඡන්ද එකගොඩකට දැමීමේ මතවාදයක් සකස් කිරීමය.
මංගල තමන්ගේ දේශපාලනය ආරම්භ කර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිංහල බෞද්ධ ඡන්ද මත පදනම් වුවත් ඔහු කිසිම දිනක එම දේශපාලනය ප්‍රවර්ධනය නොකළේය. දකුණේ දරුවන් අහිමි මව්වරුන් වෙනුවෙන් මව්වරුන්ගේ පෙරමුණ හැදීමට කටයුතු කරා මෙන්ම උතුරේ මව්වරුන්ටද ඔවුන්ගේ දරුවන් වෙනුවෙන් සාධාරණය ඉටු විය යුතු යන්න විශ්වාස කළේය. මේවා ජනප්‍රිය නොවන තීන්දුය. උතුරේ මව්වරුන් වෙනුවෙන් පෙනී සිටි නිසා ඔහු සිංහල ජාතිවාදීන්ගේ හතුරකු බවට පත් විය.
මංගල චරිතයේ සුවිශේෂි ලක්ෂණයක් වනුයේ දෙබිඩ්ඩෙක් ලෙස ජිවත් නොවීමයි. ඔහුගේ කතා කරන හා භාවිත ජිවිතය අතර වෙනසක් නොතිබිණ. ඔහු ලෝකයේ ඉතා වටිනාකමින් යුත් ඇදුම් පැළදුම් පාවිච්චි කළේය. ඒ පිළිබඳ සමාජයට බොරු නොකිව්වේය. තමන්ගේ ලිංගික කැමැත්ත පිළිබඳ අපහාස විඳගෙන සත්‍ය ප්‍රකාශ කළේය.
ලංකාවේ දේශපාලඥයන්ගෙන් 90% තමන්ගේ ඇත්ත ජිවිතය ගැන කියන්නේ බොරු කතාය. ජනතාව අන්දන කතා මංගල කිසිම දිනක කියනවා යනුවෙන් කවුරුත් චෝදනා කර නැත. බොහෝ දේශපාලඥයන් බොරුවට පලතුරු කූඩ හා අටපිරිකර රැගෙන මහානායක හිමිවරු හමුවට ගියත් මංගල කිසිම දිනක මහානායක හිමිවරුන්ගෙන් දේශපාලන වාසි රැගෙන නැත. තවද ඡන්ද දායකයින්ගේ පසුගාමී අදහස් උත්කර්ෂයට නංවා එමගින් දේශපාලන වාසි ලබා ගෙන ද නැත.
මංගලගේ තවත් ලක්ෂණයක් වන්නේ ආගමික වර්ගවාදය බැහැර කිරීමයි. ලාංකේය දේශපාලනයේ ආගම යන්න මැතිවරණයකදී තීරණාත්මක සාධකයකි. 1952 මැතිවරණයේ සිට අද දක්වාම ආගම යනු මැතිවරණ වලදී තීරණාත්මක සාධකයකි. මංගල කිසිදු අවස්ථාවක දේශපාලන වාසි සඳහා ආගමික හා පූජ්‍ය පක්ෂය සහභාගීත්වය ධෛර්යමත් නොකළේය. සමහර භික්ෂුන් වහන්සේලා සම්බන්ධව ඔහු කළ ප්‍රකාශ නිසා ඔහු අයත් ආගමික ප්‍රජාව තුළද අපවාදයට ලක්විය.
එම අපවාද ඉදිරියේ පවා ඔහු තමන්‌ගේ ස්ථාවරය රැකගෙන කටයුතු කළේය. ලෝකයේ දියුණු රටවල ආගම යනු මිනිසුන්ගේ පෞද්ගලික අයිතියකි. එය දේශපාලන උදෙසා යොදා ගන්නේ නැත. මංගලගේ භාවිතය එම දියුණු දේශපාලන සංකල්පයට අනුගතවිය.
මංගලගේ තවත් අගය කළ යුතු ලක්ෂණයක් වන්නේ සමාජයේ ආන්තික කොටස්වල අයිතිය වෙනුවෙන් පෙනී සිටීමයි. එයින් ප්‍රධාන තැනක් ගන්නේ සමරිසි අයිතියයි. ලෝකයේ පළමු පෙලේ රටවල් මෙම අයිතීන් ශිෂ්ටාචාරයට හා මනුෂ්‍යත්වයට අයිති ලක්ෂණ ලෙස පිළිගෙන ඇත. මෙම අයිතීන් බැහැර කෙරෙන ජනප්‍රියවාදි රැලි ගොඩනැගුණත් අපවාද අපහාස මැද ඊට එරෙහිව තමන්ගේ මතය වෙනුවෙන් මංගල පෙනී සිටියේය.
නූතන ශ්‍රී ලංකාව ගොඩ නැගීම යන කාරණය වෙනුවෙන් මංගලගේ භාවිතය පිළිබඳ අලුතින් සිතිය යුතුව ඇත. ජනප්‍රියවාදි, ජාති, භාෂා හා ආගම් අනන්‍යතා දේශපාලනය වෙනුවට ප්‍රජා මානුෂීයවාදි දේශපාලනයක් වෙනුවෙන් පෙනී සිටි මංගලගේ දැක්ම මංගල ජිවත්ව සිටි කාලයට වඩා අදට අවශ්‍ය වී ඇත.
අවශ්‍ය වී ඇත.
(විපුල කරුණාතිලක)
දේශපාලන හා සමාජ විශ්ලේෂක