අලුතින් ලියන්න… පැන වීසි කරන්න ඉස්සෙල්ලා තීන්ත තියෙනවද බලන්න

Date:

සටහන – නිශ්මං රණසිංහ

මැයි 22, කොළඹ (LNW):

ලංකාවේ බොක්සිං ක්‍රීඩාවේ ජාත්‍යන්තර මුහුණුවර වෙනස් කරමින් එහි සන්නාමය බවට පත් වූ ඩයන් ගෝමස්ගේ පරිපාලන ගමන අද නිමා වන බව අපි මිට පෙර ද ලීවෙමු.ඒ පරිච්ඡේදය නිමා කර අලුත් පරිච්ඡේදය ලිවීම භාර ගන්නේ කවුද යන්න මේ මොහොත වන විට ලියැවී අවසන්ය.හේ නමින් අනුරුද්ධ ශානක බණ්ඩාර ය.
අලුත් පරිච්ඡේදය ලිවීම අලුත් කොළවල ලිවිය යුතුය.එහෙත් පරණ කොළවල සුවඳ විඳ ඒවා හදාරන්නේ නැතුව මේ ගමන යාම දුෂ්කර වනු ඇත.වසර විස්සක බොක්සිං ඉතිහාසයේ බොක්සිං නිසා වරප්‍රසාදිත ගමණක් සකසා ගන්නට බොහෝ දෙනෙකුට අත දුන් නිසාම ඩයන් ගෝමස් එහි අනන්‍යතාවය විය.ඒ නිසාම ගෝඩ් ෆාදර් යන නමද ආරූඨ විණි.එසේම තවත් සමහරෙකු පෞද්ගලිකව සිය ජීවිත හෝ වෘත්තිය පටලවා ගැනීමේදී ඒවා බොක්සි වෙනුවෙන් නිරවුල් කර දීමට මැදිහත් වූ කතා ද බොක්සිං සමඟ ගෙවුණු දශක දෙකක කාල පරිච්ඡේදය තුළ අපි දැක විඳ ඇත්තෙමු.ඒවාට විවිධ ආකාරයෙන් ගෙවුණු වන්දිවල වගකීම පවරා ගත්තේ ද ඩයන්ය.
විටෙක බොක්සිං වෙනුවෙන් කරන මැදිහත්වීම්වල ප්‍රමාණයේ වර්ගපලයෙන් අනිත් ක්‍රීඩාවල යථා රූපය වැසී යන වෙලාවක අපේ අකුරු ඩයන්ට එරෙහිව මෙහෙයවීමු.ඔහු ඒවාට මුහුණ දුන් නිහඬ,නිහතමානී පිළිවෙත හරහාම බොක්සිං ගැන ඇති ලැබෑඳි පෙම අපිට පෙන්නුවෙමු.හැල්මේ එහෙත් ආක්‍රමණික ලෙස සහ උපායශීලී ලෙස ගෙවුණු වසර විස්සකට මදක් වැඩි කාලය තුළ,ලංකාවේ බොක්සිං පිළිබඳ සාක්ෂරතාවයේ වැඩිවීම ගැන නිවැරදි ගණනය කරන්නෙකුට,මේ නිලවරණවනවල රැලි ගසා එන කැමත්ත,සහ සංවිධානයවීම්වල පිටුපස කොයි අතට බෙදුණ ද,ඒ බෙදීමේ සහ දිනීමේ බලය නිර්මාණය කළ හැකි මාවත කපා,සකසා දීමේ මුල් පස් පිඩැල්ල කැපුණේ ඩයන් අතින් බව ඉතිහාසය පැහැදිළි කරනු ඇත.
සමහර විට ඒ මුල අමතක කරන්නෙක්ට තවත් ගමණක ආරම්භයේ දී ද ලැබෙන අත දීම් අමතක වෙන්න ඉඩ ඇති කාලයක් ඉදිරියට හමු විය හැකිය.

ඒ ගැන කිසිවෙක් පුදුම විය යුතු නැත.ලංකාවේ සාමාන්‍ය තත්ත්වය ද එයමය.හැමදාම එකම තැන කැරකෙමින් සෙක්කුවේ තෙල් හිඳින වස්සෙකු විය යුතු නැත.දවසක වෙන ගොනෙක් ගෙන සෙක්කුවේ අයිතිය ලබා ගැනීමට හැකිනම් එය දක්ෂතාවයක් බව අපේ විශ්වාසය වන්නේය.එහෙත් දිනෙක තමන් බඳවා ගන්නා වස්සා අනවශ්‍යය ලෙස පෙළීමට කටයුතු නොකළ යුතුය.ඊට තමන්ගේ ඉතිහාසය මතක තිබිය යුතුය.
මේ කිසිවක් අලුත් සභාපතිවරයා කේන්ද්‍ර කරගෙන කී දේ නොවන්නේය.නිරවුල්ව පය තබා සීරුවට මේ ගමණ පෙරට යන්නට ඔහු හඳුනාගෙන සිටිය යුතු තැන් පිළිබද දැන සිටියහොත්,වැටෙන්නට පෙර දුර තියා වැටිය හැකි තැන් දැක මඟ හැර යා හැකි බව සිහිපත් කිරීමට තැබූ පණිවිඩයක්ය.ඩයන්ගෙන් පසුව ද නොවැටී බොක්සිං තබා ගැනීමේ උවමනාවෙන් තැබුණු සටහනක්ය.


මේ වන විට ලංකාවේ බොක්සිං පහළට බැස ඉහළට නැඟෙන්නට අවශ්‍යය හිනි පෙළ යම් මට්ටමකට සවිමත්ව සකසා තිබෙන බව පැහැදිළිය.ඒ අතර වැදගත්ම හෙට ගැන සිතා සකසා තිබෙන යොවුන් සංචිතය.එසේම අලුතින් පාසල් පද්ධතියට හඳුන්වා දී තිබෙන එල්.වී.ජයවීර තරගාවලිය වැනි තරගවල අලුත් හැඩය ය.
ඒ වෙනස්කම් පොහොසත් කරනු විනා උස්සා පොළවේ ගසා අලුත් සැකසීම්වලට යාම නොවිය යුතුය.වෙනස් කළ යුතුය මෙන්ම ඉවත් කළ යුතුය යනුවෙන් හිතෙන,දැනෙන මෙන්ම පෙළඹවීම් සිඳුවන සියලු දේවල් ගැන එක වරක් දෙවරක් නොව සිය වරක්වත් සිතන්නේනම් වැදගත් වනු ඇත.එසේම අලුතින් පටන් ගැනිම යනු තිබෙන සියල්ල වෙනස් කිරීම ද නොවන බව මෙනෙහි කළ යුතුය.සමහර විට තිබෙන දේවල්වලටම අලුත් පෙණුමක් දීම,ප්‍රතිසංස්කරණයන් ඇති කිරීම වඩා යහපත් විය හැකිය.


මේ ළඟදී ගෝටාභය රාජපක්ෂට යන්න සිඳු වූ හැටි ගැන පොහොට්ටුවේම කෙනෙක් අපූරු කතාවක් කීවේය.


“ඡන්දෙ දිනන්න එක එක දේවල්, එක එක අය කියන එක ඇත්ත.ඒවා වැදගත් වෙන්න පුළුවන්.ඒත් ඡන්දෙන් පස්සෙ පවතින්න මේ දේශපාලනයෙ ප්‍රායෝගිකව වැඩ කරපු මිනිස්සු කියන දේවල් තෝරගන්න තිබුණා.”


මේ කතාව වෙනස්ය.ගෝටාබයගේ ඡන්ද ව්‍යාපාරයේ ආකර්ශණය තිබුණේ වියත් මඟෙහි ය.”ඒක මරු” කියා සිතූ බොහෝ දෙනෙක් ගෝටභයට ඡන්දෙ දුන්නේය.ගෝටාභය ඡන්දෙන් පස්සෙත් ඔවුන්ගේ න්‍යායත්මක කාරණා මත පදනම්ව රට හසුරුවන්න ගියේය.අන්තිමට ලොකුම ප්‍රශංසාව දිනුව වියත්මඟ බොහෝ අයට කොඩිවිනයක් බඳු විය.ඉතිහාසයේ වැඩිම ඡන්ද ගණනත් ගෙන බලයට පැමිණි නායකයා වැඩිම විරෝධයක ගොඳුරක්ව රටින් ද පැන ගොස් ජනාධිපතිකමෙන් ඉවත් විය.
ඒ නිසා කිසිවෙක් අමතක නොකර වැඩ කිරීම වැදගත් වනු ඇත.වෙනමම මෙහෙයුමකින් සැළසුම් සහ මිනිස් ශ්‍රමය යොදාගෙන ඩයන් ඇඳගෙන ගිය බොක්සිං කළමණාකාරීත්වයේ ප්‍රායෝගිකත්වය සහ බොක්සිං ක්‍රීඩාවේ තාක්ෂණීක ක්‍රියා කළාප ඇත්තේ දෙපළකය.මේවා බැඳෙන වෙලුම සමහර තැනකදී ඇහැට නොපෙනෙන තරම් සූක්ෂමය.ඒ සූක්ෂමතාවය කියවා ගැනීම මෙන්ම ඒ සූක්ෂමත්වයේ සියුම් වෙනස්කම් හරියටම හඳුනා ගැනීම බොක්සිං ජයග්‍රහණවල පන්ච් එකක ශක්තියේ ධාරිතාවය සිය ගුණයකින් වැඩ කරන්නට හේතුවක් වනු ඇත.
තවත් අතකින් අනුරුද්ධට තමන්ගේ ප්‍රවේශය සිද්ධවෙන පොළොන්නරුව ගැන වෙනම සිතන්නට කාරණා ද ඇති බව හැඟෙනු ඇත.මෛත්‍රීපාල සිරිසේනගේ අසාර්ථකභාවය මෙන්ම රොෂාන් රණසිංහ මේ රටේ සිටි ක්‍රීඩා ඇමතිවරු යටතේ වැඩිම ක්‍රීඩා ගණනකට ජාත්‍යන්තර වශයෙන් දොරවල් වසන්නට සිඳුවන සේ පාර සැකසූවේය.ඊට ඔහුට ක්‍රීඩාවට උපදෙස් දෙන්න යොදා ගත් පිරිසගේ ආකල්ප සහ දැණුම ද,ඔවුන්ට තමන් සම්බන්ධ ක්‍රීඩාවන් සම්බන්ධයෙන් තිබුණු පෞද්ගලික හිතවතුන් කළ කී දේ ද බලපෑවේය.ඒ නිසා නායකයෙක් ලෙස පොළොන්නරුව ගැන හොඳයි කියා දැනෙන පන්ච් එකක් බොක්සිං ලෝකය තුළ තැබිය යුතු වෙනු ඇත.දැනට ඇත්තේ ඊට හාත්පසින් වෙනස් සමාජ මතයක්ය.


අනුරුද්ධගේ පන්ච් එකේ ශක්තිය වැඩි වෙන්නටනම් මිස් කර නොගත යුත්තේ ඊට ශක්තිය වැඩි වැඩියෙන් එකතු වෙන ලෙස වැඩි මාර්ග ගණනාවක් ජයග්‍රහණය වෙනුවෙන් ඇති කර ගැනීමය.ඊට අවශ්‍යය දැණුම,පරිකල්පනය මෙන්ම කළ හැකි බවට වන ආත්ම විශ්වාසය ද ඉහළින්ම දැනේවා යන්න අනුරුද්ධගේ නව තනතුරට සුබ පතමින් අපි ලියා තබන්නෙමු.


පන්ච් එක මිස් නොකර හරියටම කනෙක්ට් කරගන්න”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගැසූ ගල් අත්තිවාරමට ගෙන බවුමා හැඳූ විජයග්‍රහණයේ මාළිගය

නිශ්මං රණසිංහ ජුනි 15, කොළඹ LNW: දකුණු අප්‍රිකාව කාලයක ඉදලා...

Sarkozy ට අහිමි වුණු “Legion of Honour”සම්මානය!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : ප්‍රංශයේ සාකෝසිට ජාතියේ...

කෘත්‍රීම බුද්ධිය භාවිතය පිළිබඳව විශේෂ වැඩමුළුවක්

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : අද (15)දින අරලියගහ...

ඉරාන ඊශ්‍රායල් නොනිවෙන ගිනිදැල්!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : ඊශ්‍රායලය විසින් තෙල්...