දිලිත් ජයවීර දේශපාලන පක්ෂයක නායකයෙක් හැටියට ඊයේ (05) තමන්ගේ පළවෙනි මහපාරේ විරෝධතාවයට සහභාගී වුණා. ඒ, පාර්ලිමේන්තු වටරවුම ආසන්නයේදී.
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙන අලුත් විදුලිබල පනතට එරෙහිව “සර්වජන බලය” සන්ධානය විසින් සංවිධානය කරලා තිබුණු විරෝධතාවට තමයි දිලිත් ඇවිත් හිටියේ.
පාර්ලිමේන්තුව වටරවුම ළඟ පසුගිය කාලයේ උද්ඝෝෂණය කරන්න ආපු ශිෂ්‍ය සංගම්වලට, වෘත්තීය සමිතිවලට එහෙම පොලීසිය හොඳටෝම ගුටිත් දීලා, වතුරත් ගහලා තමයි එළෙව්වේ. මේක මතක් වෙච්චි නිසා කෝකටත් හොඳයිනේ කියලා දිලිත් වැඩේට එන්න කලින් ආණ්ඩු පක්ෂයේ ලොකු තැනකට කෝල් එකකුත් ගත්තා ලු. අරන් තමුන් මෙහෙම විරෝධතාවයකට එනවා, ගහන්න නම් එපා කියලා ඉල්ලීමකුත් කළා ලු.
කෝල් එකේ අනිත් පැත්තේ හිටපු ලොකු තැන කිව්වාලු “එහෙනම් විනාඩි 15ක් දෙන්නම්. වැඩේ කරගෙන යන්න. ඊට වඩා වෙලා ඇදිලා වැඩේ දුරදිග ගියොත් නම් වගකියන්න බෑ” කියලා.
අන්න එහෙම ආණ්ඩුව පැත්තෙන් ඉන්ෂුවරන්ස් එක්කුත් දාගෙන තමයි ලු දිලිත් ලොක්කා චණ්ඩියා වගේ ඇවිත් පාර්ලිමේන්තු වටරවුමට බැස්සේ. පොඩ්ඩක් එහෙ මෙහෙ ඇවිදලා, ෆොටෝ කැටියකුත් ගහලා, මීඩියාවලට වොයිස්කට් එක්කුත් දීලා නයිගම් සම්මානයට සුදුසු මට්ටමේ රංගනයක් දාලා දිලිත් මාරු වුණා. ආණ්ඩු පෙරළෙන්න ටෝක්ස් ඉෂූ කරන්න කලින් තමුන්ගෙ ආරස්සාව තහවුරු කරගන්න ශිල්පය දිලිත් හොඳටෝම දන්නවා.
ඔය අතරේ තව සීන් එකක් වුණා. ඒ තමයි පාර්ලිමේන්තු වටරවුමේම පාර එහා පැත්තේ ඔය පනතට එරෙහිවම විරෝධතාවක් කරපු සිවිල් සංවිධාන සෙට් එකක් එතෙන්ට ආපු උදය ගම්මන්පිලට විරුද්ධව කචල් එකක් දාපු එක. ගම්මන්පිල ඇවිල්ලා සිවිල් සංවිධාන ඩයල් එකක් අල්ලන් එහෙන් මෙහෙන් කතාවක් දාද්දීම තවත් සිවිල් සංවිධාන ඩයල් කීපයක් එතෙන්ට ඇවිත් ගම්මන්පිලගෙයි ගම්මන්පිලත් එක්ක කතා කරපු අයගෙයි පතුරු අරින හැටි සමාජ මාධ්‍ය ඔස්සේ රටටම දැකගන්න ලැබුණා.
වැඩේ කියන්නේ මෙයාලාගෙ වැඩේට ඔය සිවිල් සංවිධාන කස්ටියගෙන් විරෝධයක් එන්න නියමිතයි කියලාත් දිලිත් කලින්ම දැනගෙන හිටියා ලු. ඒක නිසාම පාර පනින්නේ නැතිව පාර එහා පැත්තේ ඉඳන් ජාම බේරාගන්න දිලිත් පරෙස්සම් වුණා ලු. ඕක නොදන්න ගම්මන්පිල අනේ පාර පැනලා අම්බානෙක නෝන්ඩි වුණා ලු.
ඔව්වා ඉතින් අපටත් එහෙන් මෙහෙන් ආරංචි වෙච්චි ඒවා … තාම නයා පෙට්ටියෙන් එළියට බැස්සා විතරයි. බලාන ඉන්නයි තියෙන්නේ ….