*
Friday, September 20, 2024
spot_img

Latest Posts

මේක දේශපාලනය කරන කාලයක් නෙමෙයි. රට ගැන හිතල හැමෝම වැඩ කළ යුතු වෙලාවක් – අගමැති

මේක දේශපාලනය කරන වෙලාවක් නෙමෙයි. රට ගැන හිතල හැමෝම  වැඩ කළ යුතු වේලාවක් යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

“වාරි සෞභාග්‍යා” වැව් අමුණු 5000ක් ප්‍රතිසංස්කරණය කිරීමේ II වන අදියරේ සමාරම්භක උත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍යතුමා අරලියගහ මන්දිරයේදී අද (30) මේ බව සඳහන් කළේය.

කුරුණෑගල, නිකවැරටිය ආසනයේ කොබෙයිගනේ,මීගස්වැව ප්‍රදේශයේ ඇති මහ වැව ප්‍රතිසංස්කරණ කටයුතු අග්‍රාමාත්‍යතුමාගේ සුරතින් මෙහිදී මාර්ගගත ක්‍රමයට ආරම්භ කෙරිණි. එම අවස්ථාවට වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සහ රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා ද එක්වූහ.

මීට සමඟාමීව හිරියාල මැද්දෙකැටිය වැව, පොල්පිතිගම කැන්දගොල්ල වැව, බැමිණිගල්ල මසුරන්කෝට්ටේ වැව සහ ගිරිබාව නික වැව ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කළ අතර, එම වැව් ඇතුළු වැව් අමුණු 5000ක් ප්‍රතිසංස්කරණය කිරීමේ II වන අදියර යටතේ අද දින රටපුරා වැව් 100ක ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ විය.

වාරි සෞභාග්‍යා වැව් අමුණු 5000ක් ප්‍රතිසංස්කරණය කිරීමේ II වන අදියරයේ සමාරම්භක උත්සවයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කළ සම්පූර්ණ කතාව මෙසේය.

අද මාර්තු 30 වෙනිදා මට අමතක නොවන දවසක්. අද මගේ පියාගේ උපන් දිනය. මේ වැඩසටහනත් එක්ක එය සම්බන්ධ වෙන්නේ 1945 දි නාමයෝජනා පත්‍රයට මගේ පියා අත්සන් කළේ කුඹුරේ ඉඳල වක්කඩෙන් අත සෝදාගෙන ඇවිත්.

මිත්‍රවරුනි,

මිහිපිට වාසය කරන සෑම ජීවියෙකුගෙම පැවැත්ම රැඳී තිබෙන්නෙ ජලයත් එක්ක. ජලය තමයි අපේ ජීවයේ පදනම වෙන්නෙ. අපි අතීතයට ගියාම, ලෝකයේ සෑම ශිෂ්ටාචාරයක්ම ගොඩනැගෙන්නෙ, දියුණු වන්නේ ජලයත් එක්ක. අපේ රට ගත්තත් එහෙමයි. එදා අතීතයේ පටන් මේ රට දියුණු කරන්න තබපු හැම පියවරකම කෘෂිකර්මාන්තයත්, වාරි කර්මාන්තයත් එකිනෙකට බැඳී තිබුණා.

මිත්‍රවරුනි,

එදා අපේ සංස්කෘතියේ පදනම වුණෙත් ගමයි, පන්සලයි, වැවයි, දාගැබයි කියන සංකල්පය. මහා පරාක්‍රමබාහු රජතුමාගේ කාලේ මේ රට ගොඩනැගුවේ අහසින් වැටෙන එක දිය බිඳක්වත් නිකරුනේ මුහුදට ගලා යා නොදී ප්‍රයෝජනයට ගන්න ඕන කියලයි. මේ හැමදේකම අවසන් අරමුණ වුණේ දියුණු වාරිකර්මාන්තයක් ඔස්සේ රටට කෘෂිකාර්මික නවෝදයක් ඇති කිරීම.

වැව් විතරක් නෙමෙයි, ඒ හා බැඳී පවතින ඇළ වේලිත් අපේ අතීත මුතුන් මිත්තන් අතින්ම නිර්මාණය වුණා. යෝධ ඇළ වගේ ලෝකය මවිත කළ නිර්මාණ ගැන අදත් කතාබහට ලක්වෙනවා. අපේ රටේ කෘෂිකාර්මාන්තය රැකුනේ මේ විදියේ දියුණු වාරි තාක්ෂණයක් අපට උරුම වුණ නිසයි.

මිත්‍රවරුනි,

මේ විදියට අපේ රටේ  කෘෂිකර්මාන්තය පෝෂණය කරන වැව් අමුණු හා වාරි ඇළ මාර්ග විශාල ප්‍රමාණයක්  තියෙනවා. එහෙත් කාලයෙන් කාලයට මේවායේ නිසි නඩත්තුවක් සිදුවුණේ නැහැ. මේ නිසා ජලය නිසි කලට වගාවට නොලැබෙන විට ඇතමෙක් කෘෂිකර්මාන්තයෙන් ඈත් වෙන්නත් මේක හේතුවක් වුණා. අපි දන්න විදිහට  මේ ආකාරයට  කාලයක් තිස්සේ නිසි ලෙස නඩත්තුවක්  නොකෙරුණු   ග්‍රාමීය කුඩා වැව්, අමුණු හා  වාරි ඇළ මාර්ග ඇතුළත් එල්ලංගා පද්ධති පනස් දාහක් විතර අපේ රටේ තියෙනවා.

වාරිමාර්ග නිලධාරින් කියන විදියට හැම අවුරුද්දෙම මෝසම් වැස්ස අවසන් වෙනකොට ග්‍රාමීය වාරි පද්ධති දාහක් විතර කැඩිල බිඳිලා හානි වෙනවා. මේවා නිසි කලට නඩත්තු කරන්න ඕනෙ. ඒත් නිශ්චිත දැක්මක් නොමැතිකම  නිසා මේ වැව් අභාවයට ගිහිං තිබුණා.

මේ විදියට වැව් අමුණු ඇළ වේලි කැඩිල බිඳිල ගියාම වගාවන්ට අවශ්‍ය ජලය දෙන්න විදියක් නැතිව යනවා. මේ නිසා පුරන් වෙච්ච කුඹුරු එක්ලක්ෂ පනස් දාහක් විතර රට පුරා තියෙනවා කියලයි මහවැලි අමාත්‍යාංශය කියන්නෙ. ඒ විතරක් නෙමෙයි, දේශගුණික විපර්යාස නිසා කෙටිකාලීනව ලැබෙන මහ වැසි හා දිගු කාලීන නියං තත්ත්වයන්ටත් අපට මුහුණ දෙන්න සිදුවෙනවා.

මිත්‍රවරුනි,

මේ තත්ත්වයට මුහුණ දෙන්න නම් අපේ රටේ සමස්ත ජල රැඳවුම් ධාරිතාව වර්ධනය කර ගැනීම අත්‍යවශ්‍ය කටයුත්තක්.  ග්‍රාමීය වාරි පද්ධතියේ ධාරිතාව සියයට10 ත් 20ත් අතර ප්‍රමාණයකින් අපි වැඩිකර ගන්න ඕන.

එහෙම කළොත් ගංවතුර පාලනය කරගන්න වගේම නියං තත්ත්වයන්ට මුහුණ දෙන්නත් අපට යම් අස්වැසිල්ලක් ලැබෙනවා.

ජාතික ආහාර නිෂ්පාදනය ඉහළ නංවන්න ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා පත් කළ ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායත් මේ ගැන විශේෂ අවධානයක් යොමු කරල තිබුණා.

ඒ අනුව තමයි ග්‍රාමීය කුඩා වාරි හා පානීය ජල පද්ධති 5000ක් යලි සක්‍රීය කරන්න වාරි සෞභාග්‍යා වැඩසටහනට අපේ රජය මුලපුරන්නේ. අද ඔබේ ප්‍රදේශයේ වැව ඔබට ප්‍රයෝජනයට ගත හැකි පරිදි පිළිසකර දෙනවා වගේම මේ තුළින් එදා අපේ රටේ මුතුන් මිත්තෝ කෘෂිකර්මාන්තයේ උන්තතිය උදෙසා නිර්මාණය කළ වැව් අමුණු ටික, අනාගත පරපුර වෙනුවෙන් අපට ආරක්ෂා කර ගන්න හැකියාව ලැබෙන බව විශ්වාසයි.

මිත්‍රවරුනි,

වැව් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘති  මීට ඉස්සරිනුත්  විවිධ රජයන් යටතේ  ක්‍රියාත්මක වෙලා තියෙනවා.  හැබැයි  ඒ  සම්බන්ධයෙන්  විද්වතුන්ගෙන් සහ ජනතාවගෙන්  විවේචන තමයි  හැමවිටම එල්ලවුනේ.

වැව්වල ජලය රඳවා ගන්න තාක්ෂණයක් තියෙනවා.  වැව් හාරල ගැඹුරු කළා කියල  ජලය රැඳිලා තියෙන්නේ නැහැ. මේ ගැන අවබෝධයක් ඇතිවයි වාරි සෞභාග්‍යා ව්‍යාපෘතියෙන් වැව්  අමුණු ප්‍රතිසංස්කරණය කිරීමේ ජාතික වැඩසටහනට අපි මුල පුරන්නේ. අතීත තාක්ෂණය වගේම නූතන  විද්‍යාත්මක දැනුමත් අද මේ සඳහා යොදා ගන්නවා.

මිත්‍රවරුනි,

අද අපි ගෙවන්නෙ ආමාරු කාලයක්. රටක් විදියට අපි වසංගතයකට මුහුණ දීලා ඉතිහාසයේ අභියෝගාත්මකම කාලයට අපි මුහුණ දෙමින් සිටිනවා. දේශීයත්වයට මුල්තැන දෙන ආර්ථික සංවර්ධන වැඩපිළිවෙලක් තමයි අපේ දැක්ම වුණේ. මේ වැව් පද්ධතිය ප්‍රතිසංස්කරණය කළාම ග්‍රාමීය ජනතාවට කෘෂිකර්මාන්තයට තිබුණු දුෂ්කරතා රැසක් ඉවත් වෙනවා. ඒ විතරක් නෙමෙයි වැව් ටික ප්‍රතිසංස්කරණය වෙනකොට තවත් කර්මාන්ත රැසකට එමඟින් ඉඩකඩ විවර වෙනවා. මිරිදිය මත්ස්‍ය කර්මාන්තයේ වුණත් යෙදෙන්න අවශ්‍ය වටපිටාව නිවැරදිව සකස් වෙනවා.

වාරි සෞභාග්‍යා යථාර්ථයක් බවට පත් කළාම ඒ තුළින් කෘෂි ආර්ථිකය පමණක් නෙවෙයි ග්‍රාමීය ආර්ථකයත් ශක්තිමත් කරන්න අපට හැකිවෙනවා. මේ විදියට රටේ ආර්ථිකය දිනෙන් දින ශක්තිමත් කිරීමයි අපට අවශ්‍යය.

අපි දන්නවා අද දුෂ්කරතා රැසකට ජනතාව මුහුණ දෙනවා. සමහරු අහනවා අපි මේවා දන්නෙ නැද්ද ? නොදන්නවා වගේ ඉන්නවා ද ? කියලත්. ඒ නිසා තමයි අපි මේ වෙලාවේ සර්ව පාක්ෂික සමුළුවක් පවා කැඳවලා රට ගැන හිතලා හැමෝගෙම අදහස් අරගෙන මේ තත්ත්වයෙන් ගොඩ එන්න වේදිකාවක් නිර්මාණය කරනු ලැබුවේ.

කොවිඩ් වසංගතය අපි හිතලා නිර්මාණය කරපු එකක් නෙමෙයි. මම දැක්කා සමහරු ඒකත් අපි කරා කියලා ජනතාව උසිගන්වන්න හදනවා. අපි සූදානම් විරුද්ධ පක්ෂයේ වුණත් හොඳ ප්‍රායෝගික අදහස් අරගෙන ඉදිරියට යන්න. මේක දේශපාලනය කරන වෙලාවක් නෙමෙයි. රට ගැන හිතලා හැමෝම වැඩ කළ යුතු වෙලාවක්. ඒ නිසා සර්ව පාක්ෂික සමුළුවට නාපු අයටත් ඊළඟ වතාවේ ඊට එක්වන්නැයි ආරාධනා කරනවා.

මිත්‍රවරුනි,

අලුත් අවුරුදු සමය ළඟ ළඟ එනවා. ඇත්ත ප්‍රශ්නය දැක දැකත්, හෙට අනිද්දට ඉන්ධන නැතිවෙයි. ආහාර නැතිවෙයි. හැමදේම වැඩිවෙයි කියලා බොරු බිල්ලොත් මවනවා. සමහර ප්‍රශ්න ඇතැමෙක්ගෙ උවමනාවට ජනතාවත් නොදැනිම නිර්මාණය කරපුවා. ඒකයි මම කිව්වෙ, අපි අර්බුදයක් තියෙන බව පිළිගන්නවා.  රජයක් විදියට ඔබගේ ඒ දුෂ්කරතා මග හැරලා එදිනෙදා ජීවිතය ගොඩනගන්න අවශ්‍ය සහයෝගය ලබාදෙනවා යැයි අග්‍රාමාත්‍යතුමා පැවැසීය.

වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා

අපි ආරම්භ කරපු වැඩ පිළිවෙල සාර්ථකව පහුගිය අවුරුදු දෙකේ අරගෙන ගිහිල්ල මේ අවුරුද්ද අවසාන වෙනකොට  ලංකාව පුරා ග්‍රාමීය වැව්   4040 ක් සකස් කරන්න කටයුතු කරලා තියෙනවා.

මොරගහකන්ද මහා ජලාශය ගරු අග්‍රාමාත්‍යතුමාගේ මහින්ද චින්තනයේ ඇතුලත් වෙච්ච ව්‍යාපෘතියක්.  ඒ ව්‍යාපෘතිය මට මතකයි, මම වාරිමාර්ග අමාත්‍යවරයා ලෙස කටයුතු කරන කාලේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ඉංජිනේරුවරු විශාල ප්‍රමාණයක් ඒ ප්‍රදේශයට අරන් ගිහිල්ල සියල්ලම අධ්‍යනය කරමින් ඒ පිළිබඳව වැඩ කටයුතු ආරම්භ කෙරුවා.

අපි 2015 රජය භාරදෙනකොට වැව් බැම්ම සියයට 40 ක් විතර වැඩ අවසන් කරලයි තිබුනේ. දැන් ඒ වැඩ අවසන්. කළු ගඟ ව්‍යාපෘතියේ වැඩ පහුගිය රජය කාලේ වැඩ අවසන් කරල තියෙනවා. දැන් අපිට තියෙනවා ඒ සමඟ එහි ජලය උතුරට,  උතුරු මැද ප්‍රදේශවලට ගෙනියන්න. අපිට පැවරුණා 2020 ඒ කටයුත්තේ වැඩ ආරම්භ කරන්න.  2021 ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් උතුරු මැද මහා ඇළ අපි වැඩකටයුතු ආරම්භ කළා. කිලෝ මීටර් 94 ක විශාල ඇළක්. ඒ ඇළ හරහා හුරුළු ඇළට ජලය අරන් ගිහිල්ලා අනුරාධපුරයේ නුවර වැව ඇතුළු ජලාශ 2000 කට පමණ ජලය සැපයෙනවා. ඒ එක්කම උතුරටත්  ත්‍රිකුණාමලය ප්‍රදේශයටත් ජලය ගෙනයනවා.

ඊළඟට අපි ගරු අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් වයඹ මහා ඇළ ව්‍යාපෘතිය ආරම්භ කළා. ජලාශ දෙකක් ඉදිවෙනවා. ඒ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගල්ගමුව ආදී ප්‍රදේශවලට ජලය ගෙනියන්න. පළාත් සභා මැතිවරණ දෙකකදීම ගල්ගමුව ප්‍රදේශයේ මැතිවරණ කටයුතුවල යෙදුණ නිසා මම  දුෂ්කරතාවය හොදින්ම දන්නවා. ඒ ප්‍රදේශයේ වැව් 30 කට වඩා වැඩි ප්‍රමාණයකට මේ තුළින් අපිට ජලය දෙන්න පුළුවන්.

ඒ වගේම මහින්ද චින්ත‍නයේ තිබුණා දැදුරු ඔය හදන්න. අභියෝගයන්ට මුහුණ දෙමින් කෙටි කලකින් අපිට හැකිවුණා. අද ඒ ප්‍රදේශයේ ජනතාව එහි ප්‍රතිලාභ භුක්ති විදිනවා. රටපුරාම අපිට තියෙනවා ගංඟාවල් 103ක්. අපි බලාපොරොත්තු වෙනවා ‍ඒ හැම ගංඟාවකම ඒ ප්‍රදේශවලට අවශ්‍ය ජලය මුහුදට යවන්නේ නැතිව ඒ ප්‍රදේශවල ජීවත්වන අයට වැව් බැඳලා අමුණු හදලා ඒ අයගේ සශ්‍රීකභාවය ඇතිකරන්න.

පිලිප් ගුණවර්ධන මැතිතුමාගේ ගුණසමරු උත්සවයකට මම ඊයේ සහභාගි වුණා. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ හිටපු ඉංජිනේරු මහත්මයෙක් වන ඇන්ටන් නානායක්කාර මැතිතුමා කැලණි ගඟ පිළිබඳව එහි දේශනයක් කළා. කැලණි ගඟ, මහවැලි ගඟ, වලවේ ගඟ මේ ප්‍රධාන ගංඟා තුන සංවර්ධනය කරන්නත් අධ්‍යනය කරන්නත් 56 ආණ්ඩුව 1958දී රටවල් තුනකට භාරදුන්නා. කැලණි ගඟේ ජලය වයඹ පළාතට , කුරුණෑගල දිස්ත්‍රික්කයට ගෙනියන්න රුසියාවට භාරදුන්නා. සැළැස්ම හැදුවා. නමුත් අද වෙනකම් අපිට ක්‍රියාත්මක කරන්න බැරිවුණා.  අපි බලාපොරොත්තු වෙනවා මහවැලි වගේ ඊළඟ ව්‍යාපෘතිය හැටියට කැලණි ගඟ වයඹට ගෙනියන්න. වයඹට අවශ්‍ය සම්පූර්ණ ජලය කැලණි ග‍‍‍ඟෙන් දෙන්න.

අගමැතිතුමා ඉරාන් රටට ගිය වෙලාවේ එහි ජනාධිපතිතුමාගෙන් කරපු ඉල්ලීමක් හැටියට අපිට උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය ලැබුණා. එහි වැඩ 2015 නොවැම්බර් මාසයේ  අවසන් කරන්නයි බලාපොරොත්තු වුණේ. පහළ ඌව ප්‍රදේශයට එහි ජලය ගෙනයමින් මෙගා‍ වොට් 120ක ජල විදුලිය උත්පාදනය කරන්න සැලසුම් කළා. නමුත් අවාසනාවකට අද වෙනකම් එය කරන්න බැරිවුණා. එහි වැඩ සියයට 98 ක් විතර අවසන් කරල තියෙනවා. ලබන මැයි මාසය වෙනකොට අඩු ගානේ මෙගාවොට් 120ක් උමා ඔය ව්‍යාපෘතියෙන් විදුලිය නිපදවන්න අපිට පුළුවන් වෙනවා.

අපි සැළසුම් කරන දේවල් නොකඩවා  ගෙනියන්න පුළුවන්නම් අද මතුවෙච්ච ප්‍රශ්න අපිට ඇති වෙන්නේ නැහැ.  ආණ්ඩු මාරු වෙනවා. දීර්ඝ කාලීන වැඩ සටහනක් ආරම්භ කළොත් ඊළග ආණ්ඩුව ඒක නතර කරනවා.  එහි ප්‍රතිවිපාක විඳින්නෙත් එහි පාඩුව විඳින්නෙත් රට සහ රටේ ජනතාවයි. අදත් සිදුවෙලා තියෙන්නේ එවැනි අර්බුදයක්. නමුත්  මේ අර්බුද සියල්ල ජය ගැනීමේ අධිෂ්ඨානය අපිට තියෙනවා. ජනතාව මේ ප්‍රශ්න අවබෝධ කරගෙන  එකට අත්වැල් බැදගෙන මේ තියෙන ප්‍රශ්නවලින් ගොඩ එන්න මේ ප්‍රශ්න විසඳලා ජය ගන්න අපි හා අත්වැල් බැදගන්නා ලෙස ඉල්ලා සිටිනවා.

මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා

අපට හම්බ උනේ අමාරුවේ වැටිච්ච රටක්  ඉතාම අසරණ වෙච්ච රටක්.  ආර්ථිකය අතින් ආරක්ෂාව අතින් හැම අතින්ම අමාරුවේ වැටිච්ච රටක් තමයි අපට හම්බ උනේ . අදටත් අපේ ජනතාව දුක් විදින්නේ පහුගිය රජය නිසි වෙලාවේ ප්‍රතිපත්ති තීරණ ගත්තේ නැති නිසා. එක වැවක්වත් හදපු නැති අය  එක වාරිමාර්ග යෝජනා ක්‍රමයක්වත් ක්‍රියාත්මක නොකරපු අය තමයි ගොවි ජනතාව වෙනුවෙන් අද පෙනී ඉන්නෙ.

අගමැතිතුමනි, ඔබතුමා ජනාධිපති වුණ කාලේ තමයි වී කිලෝ එක රුපියල් 40ට ගෙනාවේ. ගොවි ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කරන්න ඔබතුමා එදා කටයුතු කෙරුවා. පහුගිය අවුරුදු පහේ ආණ්ඩුව ආපු ගමන් කිව්වේ කුඹුරු අස්වද්දන්න එපා කියලා. අද අපි වැවක් ප්‍රතිසංස්කරණය කරන්න පටන් ගත්තමත් ඔවුන් මොනාද කියන්නේ. නිධානයක් හාරන්න ගියා, එක්කෝ පස් අදිනවා, එහෙම නැත්නම් වැලි අදිනවා කියනවා. ගෞරවයක් දෙන්නෙම නෑ. ගොවි ජනතාව වෙනුවෙන් පෙනී හිටිනවා කියල පෙන්වමින් ගොවි ජනතාවගේ සංවර්ධනය යටි අරමුණකින් නවත්තන්නයි මේ අයට උවමනා.

කොවිඩ් වසංගතයෙන් රට බේර ගන්න ජනාධිපතිතුමා අගමැතිතුමා කටයුතු කරද්දී ඔවුන් ජනතාව පාරට ගෙනාවා. ජනාධිපතිතුමාට අගමැතිතුමාට නින්දා කරනවා. රජයට නින්දා කරනවා. වැඩ කරන නිලධාරීන්ට නින්දා කරනවා.

වැඩ කරන නිලධාරීන් බය කරන්න හදනවා. අද ඔබගේ පීඩනය දන්නෙ නැති ජනාධිපති කෙනෙක් අගමැති කෙනෙක් නෙමෙයි මේ ආණ්ඩුවේ ඉන්නෙ. අභියෝග එනවා. අපි ඒවාට මුහුණ දෙන්න උවමනායි.

ග්‍රාමීය කුඹුරු හා ආශ්‍රිත වැව්,ජලාශ හා වාරිමාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය  අනුරාධ ජයරත්න මහතා

අපි අද රටක් හැටියට විවිධ අභියෝග ගණනාවකට මුහුණ දෙනාවා. මේ අභියෝගවලට අපි මුහුණ දෙනකොට සිහිපත් කරන්න ඕනේ එක කාලයක පාස්කු ප්‍රහාරයත් එක්ක රටේ සංචාරක කර්මාන්තය එහෙම් පිටින්ම කඩාගෙන වැටුණ බව.

තවත් අවුරුදු දෙකක කාලයක් කොවිඩ් ව්‍යවසනයත් එක්ක මේ රට එහෙම් පිටින්ම අකර්මන්‍ය වුණා. අද ගත්තොත් වැඩිම  සංචාරකයින් ප්‍රමාණයක්  ආකර්ශනය කරපු, ඒ වගේම අපේ සුවිශේෂී අපනයනය මධ්‍යස්ථානයක් බවට පත්වෙච්ච රුසියාවේ අද ඇතිවෙලා තියෙන අර්බුදය. ඒ වගේම  ඉන්ධන  සම්බන්ධයෙන් ලෝකයේ ඇතිවෙලා තියෙන මිල.  අනිත් පැත්තෙන් අපි මහවැලිය හැටියට දන්නවා මේ  නියඟය. මේ සියලු  අභියෝගවලට  මුහුණ දෙමින් තමයි අපිට මේ සියලු කාරණා ජයග්‍රාහණය කරන්න වෙලා තියෙන්නේ.

සමහර  උදවිය වේදිකාවට ආපුවාම උගන්වන්න හදන්නේ  නිල්පාට ,කොළපාට, රතුපාට , වෙනස් වෙනකොට මේ ප්‍රශ්නය විසඳන්න පුළුවන් වෙයි කියල.  හැබැයි ගරු අගමැතිතුමනි, ඔබතුමා මේ රටේ අභියෝග ජයග්‍රහණය කරපු නායකයෙක්. ඒ නිසා බැහැයි කියපු අභියෝග ජයග්‍රහණය කරපු ඔබතුමාත්, ජනාධිපතිතුමා පිළිබඳවත් මේ රටේ ජනතාව තුළ විශ්වාසයක් තියෙනවා.

අමාත්‍යවරුන් වන  චමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, වයඹ පළාත් ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ, රාජ්‍ය අමාත්‍යවරුන් වන  අනුරාධ ජයරත්න,  සිරිපාල ගම්ලත් මහත්වරු ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතා හා වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් අයිවන් ද සිල්වා මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan