සටහන – නිශ්මං රණසිංහ
ජූලි 24, (LNW) කොළඹ :
මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ අවසාන තරගයට පෙර අප තැබූ සටහන පහතින් දැක්වෙනවා.
https://sinhala.lankanewsweb.net/07/23/122035/
මේ සටහනෙන් අප පැවසුවේ ශ්‍රී ලංකාව මූලික වටයේදී තියුණු තරගයකින් පසුව කිර්ගිස්තානය පරාජය කළ ද,කිර්ගිස්තානය පහසු කණ්ඩායමක් නොවන බවය.විශේෂයෙන් එහි පුහුණුකරු තරගයේ අතර මැද ස්වභාවය වෙනස් කිරිමේ සමතෙක් බව ඔවුන් පරාජය වූ තරගයේදී ද අවස්ථා කිහිපයකදී පෙන්වා දුන්නේය.සැළසුම් කිහිපයක් සහිතව තරගයට එන කණ්ඩායමක් ලෙස ශ්‍රී ලංකාවට පොදුවේ සිය ශක්තිය සහ උපායශීලීභාවය භාවිතයට ගැනීමේදී සැළකිල්ලට ගත යුතු බවට හඳුනාගත් කාරණා කිහිපයක්ද අපි පෙන්වා දුන්නෙමු.
සමහර විට තරග මානසිකත්වය සහ තරගයේ අවස්ථාවන් කළමණාකරනය කරන්නට එතැන සිට ගන්නා පුහුණුකරුවාගේ මෙන්ම ක්‍රීඩිකාවන්ගේ ද මනස වැඩ කරන ආකාරය දුර සිට දකින ආකාරයට වඩා වෙනස් විය හැකිය.තරගයට මුහුණ දෙන්නේ ඔවුන්ය.ඒ නිසා අනු සූරතාවය වුව ඓතිහාසික ජයකි.අපි එයට සුබ පතන්නෙමු.
අවසාන තරගයක් යනු මේ කෝඩුකාර ක්‍රීඩිකාවන්ට ඇති කරන පීඩනයද පහසු නොවන බව අප පිළිගත යුතු ඇත්තකි.අමිල විජේපාල ද එවැනි අවස්ථාවකට කුළුදුලේ මුහුණ දෙන පුහුණුකරුවෙකි.ඉතාම සැහැල්ලුවෙන් මිත්‍රශීලීව හැසිරුණු කණ්ඩායම අවසාන මහා තරගයේදී ඒ සැහැල්ලුව පෙන් වූයේ වෙනදා තරම්ම අවංකව නොවේය.විශාල පීඩනයක් ඔවුන් තුළ ගොඩ නැඟී තිබිණි.
වෙනස් නොවන සැළසුම් සමඟ ජයග්‍රහණය ලැබු ආකරයෙන්ම සිය උපරිමය ලබා දෙන්නට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සෑම උත්සාහයක්ම ගත්හ.පුහුණුකරු ඒ වෙනුවෙන් සිය පුහුණු කාර්ය මණ්ඩලය සමඟ ගත හැකි සෑම වෙහෙසක්ම දැරුවේය.ඒත් කිර්ගිස්තානය අවසාන තරගයට පිවිස තිබුණේ වෙනස් හැදෑරීමකින් බව පැහැදිළි විය.ඔවුන් වැරද්දෙන පහරවල් අඩු කළේය.උපායශීලී විය.එසේම තැන්පත් වූ බවක් මිස කළබලයක් නොපෙන්වීය.
ශ්‍රී ලංකාවේ ප්‍රහාරවලට එරෙහිව දැල අසළ නිතර එලා තිබුණු ආවරණ තරගයට පෙරදීම දැක අපි එය පූර්ව විස්තරයේද සඳහන් කළෙමු.ඒ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ බවක් දකින්නට නොලැබිණි.කෙසේ නමුත් මේ අනු සූරතාවය තුළ රැදී ඇත්තේ ලංකාවේ අනාගත වොලිබෝල් ජයග්‍රහණවල පදනම බව කිසි විටෙක බැහැර නොකරන්නෙමු.මේ ජයග්‍රහණයට විශේෂ ඇගයීමක් පිළිගැනීමක් තිබිය යුතුය.කාන්තා වොලිබෝලයට කුඩම්මාගේ සැළකිලා මෙන් තවමත් 91 දකුණු ආසියානු කුසලානය දිනූ කණ්ඩායමට කිසිවක් කර නැත.ඒ තත්ත්වය දැන්වත් වෙනස් කර පිරිමි ඔළුවලින් කාන්තාවන්ගේ ජයග්‍රහණවලට දිය හැකි වටිනාකම දෙන්න කටයුතු කළ යුතුව ඇත.ඉතිහාසය වර්ථමානය වෙනුවෙන් ගොඬ නඟන විශ්වාසය වෙනුවෙන් ඒ දේ කළ යුතුව ඇත.91 දකුණු ආසියාතික ක්‍රීඩා උළෙලෙන් ඉනික්බිති බොහෝ රන් පදක්කම්වලට ගරු සැළකීම් පිළිගැනීම් ලැබිණ.එහෙත් ශ්‍රී ලංකා වොලිබෝලය අද වන තෙක් ලබා තිබෙන කාන්තා වොලිබෝලයේ ඒ ජයට තවමත් දෙයක් කෙරී නැත.
මේ ජය ද එවැනිම ජයකි.තවත් විශාල ජයග්‍රහණවලට යාමට මේ පොඩි කෙල්ලො ටිකට ලොකු පිළිගැනීමක් සහ ඇගයීමක් දිය යුතුව ඇත.අනු සූර්තාව ලබා ගත් ශ්‍රී ලංකා කණ්ඩායමට මෙන්ම තරගාවලියේ විශේෂ ඇගයීම් ලැබූ නායිකා චතුරි පූර්ණිමා,සෙසාන්දි රුවන්යා සහ විමන්සා ප්‍රභානි ට විශේෂයෙන් සුබ පතන අතර සමස්ත කණ්ඩායමම කණ්ඩායමක් හැටියට පුහුණු කාර්ය මණ්ඩලයත් ඇතුළත්ව මේ තරගාවලිය තුළ පෙන් වූ වීශ්වාසවන්ත හැසිරීම (අවසාන තරගයේදි හැර) ලංකාවේ ජ්‍යෙෂ්ඨ කණ්ඩායම්වලටත් ආදර්ශයක් බව පැවසිය යුතුමය.
අවසාන තරගයේ දී ලකුණු තත්ත්වය 28 – 26,25-17 සහ 25-19 ක් ලෙස පවත්වා ගනිමින් තරගය ජයගත් කිර්ගිස්තාන කණ්ඩායමේ වෘත්තිමය ස්වභාවයටත්,ශ්‍රී ලංකා කණ්ඩායම කෙරෙහි දැක් වූ ගෞරව සම්ප්‍රයුක්ත මිත්‍රශීලී හැසිරීමටත් අපි සුබ පතන්නෙමු.

