ලිපියේ අරමුණ
පසුගියදා රාජ්‍ය සේවක වැටුප් ඉහළ දැමීමට නොහැකි බවට රජයේ ආර්ථික විද්‍යාඥයන් විසින් ජනාධිපති වරයා වෙත උපදෙස් දෙන වීඩියෝවක් සමාජ මාධ්‍යය තුළ සැරිසරනු දුටුමි. එය මෙතනින් නරඹන්න.
මෙම කෙටි ලිපියේ අරමුණ එම උපදෙස් කිසිම ආර්ථික විද්‍යා හෝ රාජ්‍ය අයවැය කළමනාකරණ පදනමක් නොමැති සාවද්‍ය උපදෙස් බව කෙටියෙන් පෙන්වා දීම යි.
ජනාධිපති වරයා වෙත දුන් උපදෙස
- යෝජිත වැටුප් වැඩිවීම කිරීමට නම් බදු වැඩි කළ යුතුය. ඒ සඳහා 2%-3% කින් වත් වැට් ඉහළ දැමිය යුතුය.
- පෙර මෙන් රජය විසින් ණය ගැනීමේ සීමාව ඉහළ දමා, මහ බැංකුවෙන් මුදල් මුද්‍රණය කිරීම ද කළ නොහැකිය. මහ බැංකුවෙන් එසේ මුදල් ගැනීමට නීතිමය වශයෙන් ඉඩකඩක් නොමැත. ණය සිමාව වැඩි කළොත්, IMF වැඩසටහනේ ප්‍රාථමික ගිණුමේ ශේෂය එම මට්ටමේ පවත්වා ගැනීමට නොහැකි බැවින් IMF වැඩසටහනින් එළියට යාමට සිදු වෙයි.
- එබැවින්, මෙම වසරේ අයවැය තුළින් යෝජිත වැටුප් ඉහළ දැමීමේ කිසිම ඉඩකඩක් නොමැත.
මෙය, ආර්ථිකයේ රාජ්‍ය මූල්‍ය සහ මුදල් කළමනාකරණය කරනු ලබන ජාත්‍යන්තර කාණ්ඩයේ ආර්ථික විද්‍යාඥයන් නොව, නූතන මුදල් ගිණුම් ලිපිකරුවකු වත් නොදෙන මාදිලියේ උපදෙසක් බව කිව හැකිය. රාජ්‍ය මූල්‍ය පාලකයන් යනු හුදෙක් බදු මුදල් මේසයට ලැබුණොත් වියදම් කරන බව පවසමින් මහජන තනතුරු දරන පිරිසක් නොවේ.
සාර්ව ආර්ථික ප්‍රතිචාරය
ඉහත උපදේශය සාවද්‍ය මෙන්ම ප්‍රයෝගික නොවීමට හේතු කිහිපයකි.
1. පළමුව, රාජ්‍ය වියදම් යනු බදු වශයෙන් මුදල් ප්‍රථමයෙන් සපයා ගෙන ඊට පසුව කෙරෙන අයවැය කාර්යයක් නොවේ.
- සාමාන්‍යයෙන් සිදු වන්නේ, පළමුව වියදම් කොට, දෙවනුව ණය ගෙන, තෙවනුව ඉන් කොටසක් ලැබී ඇති බදු ආදායමින් පියවා ගැනීම යි. ඉතිරිය රාජ්‍ය ණය ලෙස පෞද්ගලික අංශයේ ඉතාමත් ගුණාත්මක මූල්‍ය වත්කමක් බවට පත් වනු ඇත. ඊට හේතුව, මෙය කාල පරාසයක් ඇති අයවැය මෙවලම් තුනක් වන බැවිනි. කිසිම ආර්ථික විද්‍යා දැනුමක් නොමැති පුද්ගලයන් පවා අනුගමනය කරන්නේ මෙය යි.
- එබැවින්, පළමුව බදු ඉහළ දමා, බදු ආදායම් රැස් වන තෙක් බලා සිටිය හොත් ඇස්තමේන්තු වියදම් බොරු වන අතර රජය පිළිබඳ මහජන විශ්වාසය ද බිඳී යනු ඇත.
- මෙම ආදායම් සහ වියදම් ක්‍රමය අනුගමනය කළ හොත් ව්‍යාපාරික සමාගම් සහ කුටුම්බයන් ද බංකොලොත් වනු ඇත.
- තව ද, බදු අනුපාතය ඉහළ දැමීමෙන් බදු ආදායම ඉහළ යන බවට ද සහතිකයක් නොමැත. වැට් වෙනස් කිරීම පිළිබඳ ව මිල ඉල්ලුම් නම්‍යතා සංකල්පය නොදන්නා ආර්ථික විද්‍යා ශිෂ්‍යයන් නොමැත. වර්තමානයේ රාජ්‍ය වැටුප් ගෙවන්නේ, හුදෙක් බදු ආදායමින් බවට තහවුරු කළ නොහැකිය. ඒ සඳහා ණය ගන්නා බව ප්‍රසිද්ධ රහසකි.
2. දෙවනුව, බදු යනු රජය විසින් වියදම කිරීම සඳහා මුද්‍රණය කළ මුදල්වලින් කොටසක් නැවත ආර්ථිකයෙන් ඉවත් කර ගැනීමේ මෙවලම යි. එය මුදල් මුද්‍රණය තුළින් සිදු විය හැකි අනවශ්‍ය උද්ධමනය වැලැක්වීමේ අරමුණින් කෙරෙන්නෙකි.
- එය ස්වෛරීත්ව මුදල් ආරම්භ වූ රජ සමයේ සිට සිදු වූවකි. රජු විසින් කාසි හෝ කහවනු නිෂ්පාදනය කොට ගෙවීම හරහා රාජ්‍ය සේවාවන් පළමුව සැපයෙයි. රජුගේ හිතවතුන්ට තෑගි දීම ඇතුළු පෞද්ගලික වියදම් කෙරෙන්නේ ද එසේ මුදල් නිෂ්පාදනයෙනි.
- දෙවනුව, රජු විසින් බදු අය කොට, නැවත එම මුදල් කොටසක් භාණ්ඩාගාරයට උකහා ගනී. එය ප්‍රවාහයක් වශයෙන් සිදු වෙයි. එබැවින්, රජුගේ අයවැය ක්‍රියාවලිය වූයේ, මුදල් මුද්‍රණය, වියදම් කිරීම සහ ආදායම් ලැබීම යි.
- එය රටේ සංවර්ධනයට අවශ්‍ය පරිදි මුදල් සංසරණය කිරීමේ පදනම මත මුදල් මුද්‍රණය, රාජ්‍ය වියදම් සහ ආදායම් කළමනාකරණය කිරීමේ අරමුණින් සිදු විය. එය අත්‍යාවශ්‍ය වූයේ, මුදල් මුද්‍රණය යනු රජුට පමණක් සීමා වූ කාර්යයක් බැවිනි. එබැවින්, ආර්ථිකයෙහි මුදල් සහ සංවර්ධන ක්‍රියාවලියෙහි පදනම වූයේ රාජ්‍ය අයවැය යි.
- වත්මන් රජයන් පවා අනුගමනය කරන්නේ මෙම ක්‍රමවේදය යි. රාජ්‍ය අයවැයට මෙතරම් ඉහළ ඉල්ලුමක් පවතින්නේ එබැවිනි. රාජ්‍ය සේවක වැටුප්, ප්‍රේෂණ, පාරවල් ඉඳි කිරීම වැනි වියදම් ශීර්ෂයන් යනු හුදෙක් රජයේ ප්‍රමුඛතාවන් මිස අයවැය නොවේ.
3. තෙවනුව, බදු අය කොට රාජ්‍ය වියදම් කිරීමෙන් සිදු වන්නේ, ආර්ථිකය පහළ බැසීම යි.
- ඊට හේතුව, ආර්ථිකයේ නිෂ්පාදන ක්‍රියාකාරකම්වල පවතින මුදල් රජයට යාම තුළින් එම ක්‍රියාකාරකම් අඩපණ වීම යි. එම මුදල් තුළින් නැවත නිෂ්පාදනයට දායකත්වයක් ලැබේ ද? යන්න නිශ්චිත නැත.
- ආර්ථික විද්‍යාවේ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති ගුණකය ලෙස දැක්වෙන්නේ, මෙසේ රාජ්‍ය අයවැය හිඟය හරහා ආර්ථිකය උත්තේජනය කිරීමේ සාර්ව ආර්ථික මූලධර්මය යි.
- ඒ අනුව, ආර්ථික පරිහානි කාලවල දී, බදු පහළ දැමීමත්, ආර්ථික උත්පාත කාලවල දී බදු ඉහළ දැමීමත් හරහා ආර්ථික ස්ථායිතාවය පවත්වා ගැනීමට සමහර රජයන් විසින් උත්සාහ කෙරේ.
4. සිවුවනුව, ලෝකයේ අනෙක් රටවල මහ බැංකුවල මෙන් නොව, රජයට ණය දීම සඳහා ශ්‍රී ලංකාවේ මුදල් මුද්‍රණය කිරීම නීතියෙන් තහනම් කරනු ලැබුවේ, වත්මන් රජයේ මෙම ආර්ථික විද්‍යාඥයන්ම විසිනි.
- එබැවින්, එය ඔවුන්ගේම වරදක් මිස රාජ්‍ය සේවකයන්ගේ වරදක් නොවේ.
- ඉතාමත් ස්වාධීන මහ බැංකුවක් පවතින ඇමෙරිකාවේ පවා මුදල් මුද්‍රණයෙන් 98% ක් රාජ්‍ය ණය සැපයීම හරහා සිදු කෙරේ. එබැවින්, ලෝකයේ රජයට ණය දිය නොහැකි එකම මහ බැංකුව ශ්‍රී ලංකා මහ බැංකුව යි.
5. පස්වනුව, බදු අයකිරීම සඳහා ද අතිරේක මුදල් මුද්‍රණයක් සිදු විය යුතුය.
- ඊට හේතුව, රජයට බදු ගෙවිය යුත්තේ කාසි සහ නෝට්ටු සහ මහ බැංකු සංචිත හරහා වීම යි. උදාහරණ ලෙස බැංකු තැන්පතු හරහා බදු ගෙවිය හැකි වුව ද, එය පියවීමේ දී සහ වියදම් කිරීමේ දී රජය වෙත කාසි සහ නෝට්ටු සහ මහ බැංකු සංචිත ලැබිය යුතුය.
- එබැවින්, බදු ඉහළ දැමීමේ දී, ඊට සාපේක්ෂව මහ බැංකුව විසින් මුදල් මුද්‍රණය කළ යුතුය. එය රජය විසින් කරන්නක් නොව, ගෙවුම් පියවුම් පද්ධතිය පවත්වා ගැනීම සඳහා මහ බැංකුව විසින් කරනු ලබන්නකි.
- ණය ගැනීමේ දී ද එය සිදු වෙයි. දැනට රජය විසින් සතියකට රුපියල් බිලියන 100-200 අතර ප්‍රමාණයක් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි හරහා ණය ගැනීම සිදු කෙරේ. එය පියවීම සහ ඵලදා අනුපාතයන් මෙහෙයවීමට අවශ්‍ය සංචිත බැංකු පද්ධතිය වෙත සැපයීම සඳහා මහ බැංකුව විසින් යම් මුදල් ප්‍රමාණයක් මුද්‍රණය කරනු ඇත.
සයවනුව, IMF වැඩසටහනෙහි ප්‍රාථමික ගිණුමේ ශේෂය යනු අයවැය තුළ ඇති උප ගිණුම් සංකල්පයක් මිස, එහි කිසිම ප්‍රයෝගික සාර්ව ආර්ථික වැදගත්කමක් නොමැත.
- ඊට හේතුව, මෙම ගිණුම් ශේෂය මගින් සමස්ත වියදම සහ අයවැය තුළින් ආර්ථිකයට සහ පොදුජන සංවර්ධනයට සැපයෙන දායකත්වය පිළිබඳ ව කිසිම දත්තයක් ඉදිරිපත් නොකෙරේ.
- ප්‍රාථමික ගිණුමේ ශේෂය යනු රාජ්‍ය ආදායම සහ ණය පොලී වියදම් රහිත රාජ්‍ය වර්තන වියදම (සෑම වර්ෂයකම කෙරෙන) අතර පරතර යි. එය සෘණ යනු පොලී ගෙවීම සඳහාවත් ආදායම් අතිරිකත්යක් රජයට නොමැති බව යි.
- එබැවින්, එය හුදෙක් ධන ශේෂයක් කිරීම සඳහා බදු ඉහළ දැමීම සහ රාජ්‍ය වර්තන වියදම පහළ දැමීමේ තේරුමක් නොමැත. ධන ශේෂයකින් රාජ්‍ය අයවැය විනය හොඳ එකක් බව කිව නොහැකිය.
- මෙහි දී, වර්තන වියදම් යනු ආර්ථිකයට ඵලදායිතාවයක් නොමැති වියදම් ලෙස සැලකේ. එහෙත්, එම වියදම් සියල්ල ආර්ථිකයෙහි නිෂ්පාදන ධාරිතාවය සඳහා කෙරෙන රාජ්‍ය ආයෝජනයන් ය. උදාහරණ ලෙස සෞඛ්‍ය වැටුප් සහ ගුරු වැටුප් යනු ශ්‍රමයේ ගුණාත්මක භාවය සංවර්ධනය කෙරෙන වියදම් ය. එබැවින්, ප්‍රාථමික ගිණුමේ ශේෂය යනු හුදු ගිණුම් සංකල්පයක් මිස නූතන ආර්ථික විද්‍යා සංකල්පයක් නොවේ.
- ප්‍රාථමික ගිණුම් ශේෂය පදනම් කර ගෙන අයවැය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන කිසිම රජයක් ලෝකයේ දැකිය නොහැක. ඊට හේතුව, අයවැය යනු හුදෙක් දේශපාලනික රජයේ අයවැය නොව, රටේ සමස්ත ආර්ථිකය මෙහෙයවන ප්‍රතිපත්තියක් වන බැවිනි. එය පෞද්ගලික අංශයේ අයවැයවලට කළ හැකි කාර්යයක් නොවේ. එබැවින්, IMF ආර්ථික විද්‍යාඥයන්ට කැමති ලෙස ප්‍රාථමික ගිණුම් ශේෂය යම් යම් සතුටු ඉලක්කම් කිරීම සඳහා ගන්නා ක්‍රියා මාර්ගයන්හි ආදීනව විඳීමට එම නායකයන් සූදානම් විය යුතුය. ඊට හේතුව, එය සංවර්ධනය වන රටවල ආර්ථිකයන්ට යෝග්‍ය ඉලක්කමක් නොවන බැවිනි.
සමාප්ත සටහන
- රාජ්‍ය අයවැය, බදු සහ මුදල් ක්‍රමය පිළිබඳ ව ඉහත දැක්වූ සැබෑ සහ ප්‍රයෝගික ආර්ථික දත්ත පිළිබඳ ව දැනුමක් වත්මන් රාජ්‍ය ආර්ථික විද්‍යාඥයන් සතුව නොමැතිවීම ගැටළුවකි. එය ශ්‍රී ලංකාවේ ඉදිරි ආර්ථිකයේ මග පිළිබඳ ව දුක්මුසු සංඥාවකි.
- ජාතික වැදගත් කමක් ඇති ආර්ථික කළමනාකරණ තීරණයන් ගැනීමට පෙර, මෙවැනි ප්‍රධාන ආර්ථික කරුණු පිළිබඳ ව නිසි අවේක්ෂණ ක්‍රියාදාමයක් රාජ්‍ය නායකයන් නොමැති වීම ද වගවීම පිළිබඳ ව ගැටළුවකි. සෑම දේශපාලනික නායකයෙකුම විසින් ආර්ථිකයේ නව සංවර්ධන මාවත ලෙස 17 වැනි වත්මන් IMF ණය වැඩසටහන හුවා දක්වන්නේ එබැවිනි.
- මහජන වේදිකාවල එකිනෙකාට චෝදනා කර ගැනීම් හැර, 2022 දී ආර්ථිකය කඩා වැටීමට හේතු වූ ව්‍යුහාත්මක අවදානම් සහ ඒවායේ වත්මන් තත්ත්වය පිළිබඳ ව කිසිම රාජ්‍ය විද්වත් විමර්ශන වාර්තාවක් මෙතෙක් නිකුත් කොට නොමැත. මෙහි දී, ආර්ථික අර්බුදයට මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්තිය සහ කාර්යයන් දායක වූ ආකාරය විශේෂයෙන් විමර්ශනය කළ යුතුය. ඊට හේතුව, මෙම අර්බුදය හුදෙක් මහ බැංකුවේ ව්‍යවස්ථාපිත කාර්යයන්ගේ විෂය පථයට අයත් රාජ්‍ය ණය සහ විදේශ මුදල් අර්බුදයක් වීම යි.
- එබැවින්, රාජ්‍ය අයවැය සීමා කිරීම හරහා ආර්ථිකය ස්ථායිකරණය කොට සංවර්ධනය කිරීම සඳහා රජය විසින් ඉදිරිපත් කෙරෙන IMF මතවාදයේ වලංගු භාවය හෝ තිරසාර භාවය සනාථ කළ නොහැකිය.
- නොහැකිය.
(වත්මන් ශ්‍රී ලංකා ඓතිහාසික ආර්ථික අර්බුදය නිරාකරණයට අවශ්‍ය නව්‍ය ප්‍රතිපත්ති කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිළිබඳ ව සිදුවන කාලීන විද්වත් කතිකාවතට හුදෙක් වෘත්තීය අභිලාෂයෙන් දායකවීමේ අරමුණින් මෙම ලිපිය සකසන ලදි. මෙම ලිපියෙහි ඇතුළත් අදහස් සියල්ල ආර්ථික විද්‍යාව විෂය පිළිබඳ ව මා විසින් අධ්‍යයනය කරන ලද තොරතුරු සහ දැනුම මත පදනම් වූ පෞද්ගලික අදහස් ය. එහි කිසිවෙකු පෞද්ගලිකව ද්වේශ සහගත ලෙස විවේචනය හෝ අපහසු තාවයකට පත් කිරීමේ අරමුණක් නොමැත.)
පි සමරසිරි
[ආර්ථික විද්‍යාව බී.ඒ. ගෞරව (කොළඹ විශ්ව විද්‍යාලය) සහ එම්.ඒ. (කැන්සස් විශ්ව විද්‍යාලය)]
හිටපු නියෝජ්‍ය අධිපති, ශ්‍රී ලංකා මහ බැංකුව
Economy Discovery