දිනෙන් දින දියුණු වන ලෝකයත් සමග ඉදිරියට යාමට නම් ලොකු කුඩා කාටත් තාක්ෂණික උපාංග භාවිතය අත්‍යාවශ්‍යම සාධකයක් වී තිබේ.
ඩිජිටල්කරණ යුගයක දිවි ගෙවන ලෝකවාසීන් ජංගම දුරකථන, පරිගණක සහ ටැබ් වැනි විවිධ ඩිජිටල් උපකරණ භාවිත කිරීමට හුරුවී සිටියි.
ඩිජිටල් උපකරණ වැඩි වෙලාවක් භාවිත කිරීම නොදැනුවත්ම විවිධ ශාරීරික මෙන්ම මානසික රෝග ඇති කරලීමට හේතුවක් වී ඇති බව බීබීසී සිංහල වෙත අදහස් දැක්වූ වැඩිදෙනෙක් පැවසූහ.
‘අම්මා කෙනෙක් විදිහට මට දැන් ඒක අභියෝගයක් වුණා’
දෙදෙරු මවක් වන 34 හැවිරිදි ශෂිකා නිර්මාණි පැවසුවේ සිය වැඩිමහල් දරුවා ජංගම දුරකථනයෙන් ඈත් කර තැබීම විශාල අභියෝගයක් බවට පත්ව ඇති බවයි.
” මගේ ලොකු පුතාගේ වයස දැන් අවුරුදු 6ක් වෙනවා. පොඩි පුතාට වයස අවුරුදු 3යි.”
“මගේ දෙවැනි බබා හම්බ වුණාට පස්සේ මම එයාගේ වැඩත් එක්ක කාර්ය බහුල වුණා. ලොකු පුතා ඒ වෙද්දී සාමාන්‍ය දරුවෙක් විදිහට සෙල්ලම් කරනවා, චිත්‍ර පාට කරන්න උත්සාහ කරන කාලේ.”
“මම දෙවැනි බබා එක්ක කාලය ගත කරන නිසා සමහර වෙලාවට ලොකු පුතා එක්ක සෙල්ලම් කරන්න වගේම එයා එක්ක කාලය ගත කරන්න ලැබුණේ නැහැ වෙනදා වගේ.”
“මම එයාට කාටුන් එහෙම ෆෝන් එකෙන් දාලා දුන්නා බලන්න. එයත් කාටුන් බලනවා මම පොඩි එක්කෙනාගේ වැඩ කරනකොට.”
“හැබැයි කාලයක් යද්දී එයාට ෆෝන් එක නැතිවම බැරි වුණා. කෑම කවන්න ගියාමත් එයා ෆෝන් එකෙන් කාටුන් බලන ගමන් කෑම කෑවේ.”
“ප්‍රශ්නේ පටන් ගත්තේ මොන්ටිසෝරි යන්න පටන් ගත්තම. මට මොන්ටිසෝරි එකේ ටීචර් දවසක් කිව්වා පුතා සමහර වෙලාවට කතා කරන්නේ නැහැ.. ඒ වගේම එයාට තරහා යනවා කියලා. ගෙදරදීත් ෆෝන් එක ඉල්ලලා කාටුන් දාලා දුන්නේ නැත්නම් එයා අඩලා එයාගේ අවශ්‍යතාවය කර ගන්නවා.”
“මේක ගැන පස්සේ අපි කල්පනා කරලා බැලුවා, ඩොක්ටර් කෙනෙක්ට චැනල් කරලා පෙන්නුවා. ඒ ඩොක්ටර් කිව්වා හෙමීට ලොකු පුතාව ෆෝන් එකෙන් ඈත් කරන්න කියලා.”
“දැන් මම එයා එක්ක පුළුවන් තරම් කාලේ ගත කරනවා. පොඩි පුතාත් දැන් ටිකක් ලොකුයි. ඒ දෙන්නට සෙල්ලම් කරන්න පුළුවන් නිසා.”
”අම්මා කෙනෙක් විදිහට මට බයක් දැනුණා විතරක් නෙමෙයි ලොකු අභියෝගයක් වුණා පහුගිය අවුරුද්දක කාලය. දැන් ලොකු පුතා සාමාන්‍ය විදිහට ඉන්නවා.” ඇය තමන් මුහුණ දුන් අත්දැකීම පිළිබඳ එලෙස විස්තර කළාය.
'මතකය ශක්තියට බලපෑම් වෙන්න පුළුවන්'
කුඩා දරුවන් සහ යෞවන වියේ පසුවන දරුවන් වැඩි කාලයක් ඩිජිටල් උපකරණ භාවිත කිරීමට පෙළඹීම හරහා ඔවුන්ගේ මානසික සංවර්ධනයට මෙන්ම මතක ශක්තියට ද බලපෑම් එල්ල කිරීමට හැකියාවක් පවතින බව ගාල්ල රෝහලේ මානසික රෝග පිලිබඳ විශේෂඥ වෛද්‍ය රුමි රූබන් බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් පැවසීය.
” ඩිජිටල් උපකරණ.. විශේෂයෙන් ඩිජිටල් තිර සමග කටයුතු කරන කොට ඒවා දීර්ඝ කාලයක් භාවිත කරන කොට මතක ශක්තියට හානියක් වෙන්න පුලුවන්.”
“විශේෂයෙන් මනස වැඩෙමින් පවතින කුඩා දරුවන්ගේ, යෞවනයන්ට තමයි මේකෙන් වැඩි හානියක් සිද්ධ වෙන්නේ.”
“මේ වයස් සීමාවේදී තමයි දරුවන්ගේ මොළය වර්ධනය වෙන්නේ. මෙවැනි වයස් කාණ්ඩවලදී දරුවන් අසීමාන්විත විදිහට ඩිජිටල් උපකරණ භාවිත කිරීමට යොමු වුවොත් ඒකෙන් ලොකු බලපෑමක් ඇති වෙන්න පුළුවන්.”
“මේකෙන් දරුවා පරිසරය සමග ගැටීමෙන් ලබා ගන්නා උත්තේජනය අවම වීම නිසා ඔවුන්ට එය බලපාන්න පුළුවන්. “
“ඩිජිටල් උපකරණ බහුලව භාවිත කිරීම නිසා දරුවන්ගේ තර්කන හැකියාව, නිර්මාණශීලිභාවය, කෙටි කාලීන මතකය අහිමිවීම වගේම දෙයක් නැවත මතක් කිරීමට ඇති හැකියාව අවම වෙන්න පුලුවන් කියන කාරණා විද්‍යාත්මක පර්යේෂණවලින් පවා තහවුරු වෙලා තියෙනවා.”
“ඒ වගේම කුඩා දරුවන් වගේම යොවුන් වියේ පසුවන තරුණ තරුණියන් දීර්ඝ කාලයක් ඩිජිටල් උපකරණ භාවිත කිරීමට පෙළඹීම හරහා ඔවුන් ඊට ඇබ්බැහි වීමට තිබෙන හැකියාවත් ඉහළයි.”
“සමහර වෙලාවට ඔවුන්ට ඩිජිටල් උපකරණය නොලැබුනොත් තරහා යන්න, දුක දැනීම, මතක ශක්තිය අඩුවිම වගේම අවධානය රඳවා තබා ගැනීමට නොහැකි වීම යන ලක්ෂණ අත්දකින්න පුළුවන්.”
“ඒ නිසයි වෛද්‍යවරුන් නිර්දේශ කරන්න වයස අවුරුදු 12 ට අඩු දරුවන්ට මොනම හේතුවක් නිසාවත් ඩිජිටල් උපකරණ යූස් කරන්න දෙන්න එපා කියලා”
“ඒ වගේම වයස අවුරුදු 12 ඉදලා 16 වෙනකම් වයස් කාණ්ඩයේ ඉන්න දරුවන්ගේ අධ්‍යාපනික කටයුතු වලට හැර සමාජ මාධ්‍ය භාවිත කරන්න ඩිජිටල් උපකරණ භාවිත කරන්න දෙන එක ලෝකයේ බොහෝ රටවල් අනුගමනය කරනවා. මේක ඕනම දෙම්ව්පියෙක්ට හොඳ අවස්ථාවක් අනුගමනය කරලා බලන්න.” විශේෂඥ වෛද්‍ය රුමි රූබන් පැවසීය.
කුඩා දරුවන් පමණක් නොව තරුණ වියේ පසුවන අයට ද වැඩි කාල වේලාවක් ඩිජිටල් උපකරණ භාවිත කිරීම නිසා මුහුණ දීමට සිදුවූ අත්දැකීම් පිළිබඳව එම වයස් සීමාවේ පසුවන කිහිපදෙනෙකු බීබීසී සිංහල සමග සිය අත්දැකීම් බෙදා ගනු ලැබුවේ මෙලෙසිනි.
‘අපි අඩු වයසින්ම ලෙඩ්ඩු වෙලා’
බීබීසී සිංහල වෙත අදහස් දැක්වූ පරිගණක මෘදුකාංග කේෂ්ත්‍රයට සම්බන්ධ 32 හැවිරිදි වියේ පසුවන නිර්මානී එදිරිසූරිය කියා සිටියේ රැකියාව හේතුවෙන් තමන් අද වන විට ශාරීරිකව මෙන්ම මානසිකවත් පීඩාවට පත්ව සිටින බවයි.
” මම දැන් ජොබ් එක කරන්න පටන් අරගෙන අවුරුදු 06ක් වෙනවා. ඒත් දැන් හිතෙනවා අපරාදේ මේ ජොබ් එක තෝර ගත්තේ කියලා.”
“දවසකට අඩුම පැය 10ක් ජොබ් එක නිසා මහන්සි වෙන්න වෙනවා.”
“කම්පියුටර් එක ගොඩක් වෙලාවක් යුස් කරද්දී මගේ දකුණු අතේ උරහිසේ ඉදලා ඇගිලි වෙනකම් හිරි වැටෙන්න පටන් ගත්තා මීට අවුරුදු 3 කට වගේ උඩදී.”
“සමහර වෙලාවට ලොකු වේදනාවක් ඇතිවෙනවා ඒ අතේ. ඩොක්ටර් කෙනෙක්ට පෙන්නුවම එයා බලලා කිව්වේ කම්පියුටර් එක ගොඩක් වෙලා යූස් කරන අයට මේ වගේ මසල් පේන් එකක් එනවා කියලා.”
“දැන් මම බෙහෙත් බොනවා.. මට දැනෙන්නේ අඩු වයසින්ම අපි ලෙඩ වෙලා කියලා. ඒක ශාරිරීක වගේම මානසිකවත් ලොකු ප්‍රශ්නයක් එක වෙලාවකට.” ඇය පැවසුවාය.
මේ අතර ග්‍රැෆික් නිර්මාණ ශිල්පියෙකු ලෙස සේවය කරනු ලබන 34 හැවිරිදි කසුන් චන්දිම කරුණාරත්න බීබීසී සිංහල වෙත අදහස් දක්වමින් පැවසුවේ තමන්ට ගතවූ වසර කිහිපය තුළ අවස්ථා කිහිපයකදී ශාරීරික අබාධ සඳහා ප්‍රතිකාර ගැනීමට සිදුවූ බවයි.
” මම ජොබ් එකක් කරන්න පටන් අරන් දැන් අවුරුදු 12 කට ආසන්න වෙනවා.”
“දවසකට පැය 10 කට වැඩි කාලයක් කම්පියුටර් එකේ වැඩ කරනවා.. ඊට පස්සේ නිදා ගන්න ගියාමත් පැයක් දෙකක් ෆෝන් එක බලන් ඉන්නවා.”
“කාලෙක ඉදලා මගේ කොන්දේ, බෙල්ලේ වගේම අතේ ලොකු වේදනාවක් ඇතිවෙනවා. මේක මුලින්ම මම එච්චර ගණන් ගත්තේ නැහැ. කාලයක් යද්දී මට වේදනාව ඉවසන්න බැරුව ගියා.”
“මුලින්ම බටහිර වෛද්‍යවරුන් ළඟට ගියා.. දැන් දේශීය වෛද්‍යවරුන් ගෙන් ප්‍රතිකාර ගන්නවා.” කසුන් චන්දිම කරුණාරත්න පැවසුවේය.
‘නිදා ගැනීමට පවා බාධා ඇතිවෙන්න පුළුවන්’
මේ අතර විශේෂඥ වෛද්‍ය රුමි රූබන් පැවසුවේ රාත්‍රී කාලයේ නින්දට පෙර වැඩි කාලයක් ඩිජිටල් තිර දෙස බලා සිටීමෙන් ඕනෑම වයස් කාණ්ඩයක පසුවන පුද්ගලයෙකුට තම නින්දට විවිධාකාරයේ බලපෑම් එල්ල වීමේ හැකියාවන් පවතින බවයි.
“ඩිජිටල් තිර දිහා ගොඩක් වෙලා බලාගෙන හිටියම එකෙන් ලැබෙන ආලෝකය නිසා පුද්ගලයෙකුගේ මොළයට ලැබෙන උත්තේජනය හරහා ඔහුගේ හෝ ඇයගේ ස්වාභාවික නින්දට හානියක් ගෙන එනවා. ඒ වගේම නින්දේ කාලයට බලපෑම් එල්ල වීම වෙනවා.”
“මේ නිසා ඒ වගේ තත්ත්වයන්ට මුහුණ දෙන පුද්ගලයින්ගේ නිදා ගැනීමේ කාලයට බලපෑම් එල්ල වීම හරහා විවිධ මානසික පීඩාවන් වලට ලක්වීමේ අවදානමක් තියෙනවා.”
“නිදා ගන්න පැය දෙකකට කලින් ඉදලා ඩිජිටල් උපකරණ වලින් ඈත්වෙලා ඉන්න එකෙන් මේ වගේ ගැටළු වලින් මිදෙන්න පුළුවන්.” ඔහු පැවසුවේය.
ආබාධ අවම කරගන්න මෙම උපදෙස් පිළිපදින්න
ඩිජිටල් උපකරණ දීර්ඝ වෙලාවක් භාවිත කිරීමේදී පුද්ගලයින්ට ශාරීරිකව සිදුවන ආබාධ මග හරවා ගැනීමට කටයුතු කළ යුතු යැයි ද විශේෂඥ වෛද්‍ය රුමි රූබන් අවධාරණය කළේය.
” ගොඩක් වෙලාවට එක දිගට මේ ඩිජිටල් උපකරණ භාවිත කිරීමට පෙළඹීම හරහා පුද්ගල ස්ථුලභාවය ඇති වෙන්න පුලුවන්. ඒකට හොඳම උදාහරණය තමයි අපේ එදිනෙදා කරණ කාර්යන් සීමා වීම.”
“අනෙක් කරුණ තමයි ඇස් වලට ඇති වෙන්න පුලුවන් හානිය. ගොඩක් වෙලාවට ඩිජිටල් තිර දිහාබලන් හිටියම මේක වෙන්න පුළුවන්.”
“ඒ වගේම මාංශ පේශි වේදනාව, කොන්ද ආශ්‍රිතව හට ගන්නා විවිධ ආබාධ මේ අතර තියෙනවා.”
“දවසකට පැය ගණනාවක් ඩිජිටල් උපකරණ එක්ක වැඩ කරන කෙනෙක්නම් ඒ අය එදිනෙදා පොඩි ව්‍යායාම්වල යෙදෙන්න අමතක නොකළ යුතුයි.”
“ඒ වගේම ඩිජිටල් තිර වලින් නිකුත් වෙන අධික ආලෝකය අවම කරන ෆිල්ටර් යුස් කරන්න කටයුතු කරන්න.”
“දීර්ඝ කාලයක් එකම ඉරියව්වෙන් වැඩ කරන්න එපා. වැඩ කරන ගමන් කෙටි විවේක කාලවල් ලබා ගන්න පුරුදු වෙන්න. තමන් ඉන්න ඉරියවු වෙනස් කරන්න වගේම රැකියාව කරන තැන පොඩි වෙනස්කම් කරන්න පුරුදු වෙන්න.” විශේෂඥ වෛද්‍ය රුමි රූබන් වැඩිදුරටත් පැවසීය.
මූලාශ්‍රය – BBC NEWS සිංහල