*
Thursday, November 21, 2024
spot_img

Latest Posts

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කෝටි 387ක ලාබය සහ අනාගතය …

මෙම (2024) වසරේ මාර්තු 31 දිනෙන් අවසන් වූ මූල්‍ය වර්ෂය තුළ ශ්‍රීලංකන් ගුවන් සේවය රුපියල් කෝටි 387ක, එසේත් නැත්නම් රුපියල් මිලියන 3,871ක, ශුද්ධ ලාභයක් වාර්තා කර තිබෙනවා. එම ගුවන් සේවය මේ අයුරින් ලාබ වාර්තා කරන්නේ 2008 වර්ෂයෙන් පසු ප්‍රථම වරටයි.

පසුව ශ්‍රීලංකන් ගුවන් සේවය බවට පත් වූයේ මුලින්ම එයාර් සිලෝන් ලෙසත්, ඉන් පසුව එයාර් ලංකා ලෙසත් හැඳින්වුණු රාජ්‍ය ආයතනයයි. 1998 වර්ෂයේදී මෙම ආයතනයේ සුළුතර කොටස් අයිතිය හා පරිපාලනය එමිරේට්ස් ආයතනය වෙත පවරනු ලැබූ අතර, වසර දහයකට පසුව 2008දී ශ්‍රී ලංකා රජය විසින් මෙම ආයතනයේ පරිපාලනය නැවත පවරා ගනු ලැබුවා.

ශ්‍රී ලංකා රජය විසින් ශ්‍රීලංකන් ගුවන් සේවය පවරා ගන්නා විට එම ආයතනය ලාබ ලබමින් පැවති ආයතනයක්. ඒ වන, මෙම ආයතනයේ ශුද්ධ වත්කම් ප්‍රමාණය රුපියල් මිලියන 15,536ක් වූ අතර එයින් රුපියල් මිලියන 9,288ක්ම පෙර වසර වලදී උපයාගෙන, ලාභාංශ ලෙස කොටස්හිමියන් විසින් ඉවත් කර නොගෙන, ආයතනයේ අභිවෘද්ධිය වෙනුවෙන් රඳවා ගෙන තිබුණු ලාබයි.

රජය විසින් නැවත පවරා ගනු ලැබීමෙන් පසුව ශ්‍රීලංකන් ගුවන් සේවය දිගින් දිගටම පාඩු ලැබුවේ පහත පරිදියි.

2009 – රුපියල් මිලියන (-9,306)

2010 – රුපියල් මිලියන (-2,698)

2011 – රුපියල් මිලියන (-382)

2012 – රුපියල් මිලියන (-19,778)

2013 – රුපියල් මිලියන (-26,089)

2014 – රුපියල් මිලියන (-32,408)

2015 – රුපියල් මිලියන (-16,495)

2016 – රුපියල් මිලියන (-12,622)

2017 – රුපියල් මිලියන (-28,930)

2018 – රුපියල් මිලියන (-17,214)

2019 – රුපියල් මිලියන (-44,023)

2020 – රුපියල් මිලියන (-47,197)

2021 – රුපියල් මිලියන (-45,231)

2022 – රුපියල් මිලියන (-166,370)

2023 – රුපියල් මිලියන (-73,622)

මා පෙර සඳහන් කළ පරිදි, ශ්‍රී ලංකා රජය විසින් නැවත පවරා ගන්නා විට ශ්‍රීලංකන් ගුවන් සේවයේ ශුද්ධ වටිනාකම, එනම් එහි වත්කම් හා බැරකම් අතර වෙනස, රුපියල් මිලියන 15,536ක්. එහෙත්, 2009-2011 කාලයේ ලැබූ පාඩු හේතුවෙන් මෙම ආයතනයේ ශුද්ධ වටිනාකම රුපියල් මිලියන 3,217 දක්වා පහත වැටුනා. මෙම කාලය තුළ ආයෝජනය වෙනුවෙන් කිසිදු ප්‍රතිලාභයක් නොලැබුණු බව අමුතුවෙන් කිව යුතු නැහැ.

ඉන් පසුව, 2012 වසරේදී තවත් රුපියල් මිලියන 19,778ක අලාබයක් එකතු වීමෙන් පසුව ශ්‍රීලංකන් ගුවන් සේවයේ ශුද්ධ වටිනාකම සෘණ අගයක් දක්වා පහත වැටුණා. එයින් අදහස් වන්නේ එම ආයතනයේ සියලුම වත්කම් වල වටිනාකමට වඩා එහි බැරකම් වැඩි බවයි. එවැනි පාඩුවක් සිදු වන්නේ මෙම ගුවන් සේවය පවරා ගනිද්දී එහි වටිනාකම වූ රුපියල් මිලියන 15,536 නැත්තටම නැති වීම සහ ආයෝජනය වෙනුවෙන් වසර ගණනාවක්ම කිසිදු ප්‍රතිලාභයක් නොලැබීමේ පාඩු වලට අමතරවයි.

මේ ආයතනය පෞද්ගලික ආයතනයක් වීනම් කරන්නේ මෙවැනි තත්ත්වයක් ඇති වන්නට පෙර, “සොහොන් ලකුණු” පෙනෙද්දීම, ආයතනය වසා දැමීමයි. ශුද්ධ වටිනාකම සෘණ අගයක් වීමෙන් පසුව ආයතනයක් විකුණා දැමීමේ හෝ හැකියාවක් නැහැ. එසේ කරනවානම් කළ හැක්කේ බැරකම් කොටස රඳවාගෙන වත්කම් කොටස පමණක් විකුණන්නේනම් පමණයි.

කෙසේ වුවත්, රාජ්‍ය ආයතන වලට මෙවැනි තත්ත්වයක් යටතේ ගත හැකි විකල්ප ක්‍රියාමාර්ගයක් තිබෙනවා. ඒ පාඩු ලබන රාජ්‍ය ආයතනයක බර බදු ගෙවන්නන් මත පටවමින් ආයතනය දිගටම පවත්වාගෙන යාමයි. ශ්‍රී ලංකා රජය සැලකුවහොත්, දිගින් දිගටම වියදමේ තරමට බදු ආදායම් එකතු කර ගෙන නොමැති තත්ත්වයක් යටතේදී, කළ හැකි වන්නේ ණය ලෙස ලබා ගන්නා මුදල් මෙවැනි රාජ්‍ය ආයතනයකට පොම්ප කරමින් එහි පාඩු වල බර අනාගත බදු ගෙවන්නන් මත පැටවීමයි.

ශ්‍රීලංකන් ගුවන් සේවය දිගටම පවත්වා ගෙන යාම සඳහා ශ්‍රී ලංකා රජය විසින් 2012දී කළේ හරියටම මෙයයි. එම වසරේදී රුපියල් මිලියන 15,423ක භාණ්ඩාගාර බැඳුම්කරයක් නිකුත් කර එම මුදල ශ්‍රීලංකන් ගුවන් සේවය වෙත ලබා දුන්නා. මෙය වසර 5ක බැඳුම්කරයක්.

වෙනත් ලිපි වල විස්තර කර ඇති පරිදි රජය විසින් නිකුත් කරන භාණ්ඩාගාර බැඳුම්කර එම මිලටම විකිණෙන්නේ නැහැ. මෙම බැඳුම්කරය විකිණුනේ රුපියල් මිලියන 14,166ක මුදලටයි. ඒ නිසා, ශ්‍රීලංකන් ගුවන් සේවය වෙත පොම්ප කෙරුණේ එම මුදලයි. එහෙත් බැඳුම්කරය කල් පිරෙද්දී ශ්‍රී ලංකා රජයට රුපියල් මිලියන 15,423ක් ගෙවන්නට සිදු වුනා. මීට අමතරව වසරකට 8% බැගින් කූපන් පොලී ගෙවන්නටද සිදු වුනා.

මේ විදිහට ශ්‍රී ලංකා රජය විසින් භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කර ලබා ගන්නා ණය මුදල් හා පොලී ආපසු ගෙවන්නේ නැවත අලුතෙන් ණය ලබා ගෙන බව අමුතුවෙන් කිව යුතු නැහැ. ඒ නිසා, මේ ණය මේ වන විට කිහිප ගුණයකින් වැඩි වී ශ්‍රී ලංකා රජයේ නොගෙවූ ණය ගොඩේ තිබෙනවා. දැනටත් කරන්නේ සතිපතා අලුතෙන් රාජ්‍ය සුරැකුම්පත් නිකුත් කරමින් පරණ ණය හා පොලී ගෙවන එකයි.

කෙසේ වුවත්, ඔය විදිහට ණයට ගත් මුදල් පොම්ප කළා කියා ශ්‍රීලංකන් ගුවන් සේවය ගොඩ ගියේ නැහැ. 2013දී තවත් විශාල අලාභයක් එකතු වුනා. එවරද කළේ පෙර වසරේ කළ දෙයමයි. රුපියල් මිලියන 13,124ක, 8.5% වාර්ෂික කූපන් පොලියක් සහිත, වසර පහකින් කල් පිරෙන භාණ්ඩාගාර බැඳුම්කරයක් රුපියල් මිලියන 12,600කට විකුණා එම මුදල ශ්‍රීලංකන් ගුවන් සේවය වෙත ලබා දුන්නා. අනාගත බදු ගෙවන්නට තවත් ණයක් එකතු වුනා.

ඊළඟ (2014) අවුරුද්දේදී වුනෙත් ඔය සන්තෑසියම තමයි. ඒ අවුරුද්දේදී වසර පහකින් කල් පිරෙන 10.6% වාර්ෂික කූපන් පොලියක් සහිත තවත් භාණ්ඩාගාර බැඳුම්කරයක් නිකුත් කරලා ශ්‍රීලංකන් ගුවන් සේවයට තවත් රුපියල් මිලියන 19,585ක මුදලක් ලබා දුන්නා.

ඔය විදිහට 2012, 2013 හා 2014 වසර වලදී ශ්‍රීලංකන් ගුවන් සේවයට සල්ලි පොම්ප කිරීම සඳහා නිකුත් කරපු භාණ්ඩාගාර බැඳුම්කර පිළිවෙලින් 2017, 2018 හා 2019 වසර වලදී කල් පිරුණා. ඒ කාලයේ ජාත්‍යන්තර ස්වෛරිත්ව බැඳුම්කර නිකුත් කරලා ලබා ගත්ත සල්ලි වලින් කරපු දේවල් ලැයිස්තුවේ ඔය ණය සහ පොලී ආපසු ගෙවපු එකත් ඇති. ඔන්න සල්ලි වලින් කරල තියෙන දේවල්!

රජය ව්‍යාපාර කරද්දී සිදු වෙන එකම පාඩුව ඔය විදිහට අනාගත බදු ගෙවන්නන් මත බර පැටවෙන එක පමණක් නෙමෙයි. ඔය වගේ දිගින් දිගටම පාඩු ලබන රාජ්‍ය ආයතනයක බර හෙමින් සීරුවේ වෙනත් රාජ්‍ය ආයතන මත පටවන්නත් පුළුවන්. ඔය කාලයේදී ලංකා බැංකුව, මහජන බැංකුව, ජාතික ඉතිරි කිරීමේ බැංකුව වගේ ආයතන වගේම සේවක අර්ථසාධක අරමුදලත් ශ්‍රීලංකන් ගුවන් සේවයේ කොටස් වල ආයෝජනය කරලයි තිබුණේ. ප්‍රායෝගිකව ඔය තීරණ ඔක්කොම ගන්නේ එකම තැනකින්නේ.

දැන් මේ වැඩෙන් වුනේ කුමක්ද? ඔය විදිහට ආයෝජනය කරපු සල්ලි වලට සත පහක ප්‍රතිලාභයක් නැහැ. ඒකේ බර වැටෙන්නේ කා මතද? ඕක අඩුවෙන්නේ ලංකා බැංකුවේ, මහජන බැංකුවේ, ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ තැන්පත්කරුවන්ට ලැබිය හැකිව තිබුණු පොලියෙන්. සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයින්ට ලැබෙන්න තියෙන පොලියෙන්. ඔය පාඩු සිදු වෙන්නේ බදු ගෙවන්නන් මත පැටවෙන බරට අමතරවයි.

ඔය විදිහට දිගින් දිගටම රජය ණය වෙවී ශ්‍රීලංකන් ගුවන් සේවයට සල්ලි පොම්ප කළත් ශ්‍රීලංකන් ගුවන් සේවය ලාබ ලැබුවේ නැහැ. රජය ණය වෙවී සල්ලි පොම්ප කිරීම නිසා සිදු වුනු එකම දේ ශ්‍රීලංකන් ගුවන් සේවයේ ගිණුම් වල පාඩු අඩුවෙන් පෙනුණු එක පමණයි. මොකද පාඩුවෙන් කොටසක් දැන් තියෙන්නේ වෙන තැනක නිසා. ඔය උඩින් පෙන්වා තිබෙන පාඩු වල රජය ණය වී සල්ලි පොම්ප කිරීම නිසා ඒ වෙනුවෙන් ගෙවන්න වුනු පොලී වල පිරිවැය කොටස නැහැ. ඒ කොටසත් එකතු කළොත් ඔය පාඩු පේනවට වඩා ගොඩක් වැඩියි.

යහපාලන කාලයේදී ඔය විදිහට සල්ලි පොම්ප කරන එක තාවකාලිකව නැවතුණා. පාඩු ලබන එකනම් නැවතුණේ නැහැ. ඒ නිසා, සිදු වුනේ ශ්‍රීලංකන් ගුවන් සේවයේ ශුද්ධ වටිනාකම එන්න එන්නම අඩු වීම. ඒ කියන්නේ සෘණ අගය වැඩි වීම.

ආණ්ඩුව වෙනස් වුනාට පස්සේ 2021 හා 2022 වසර වලදී ඔය කලින් කරපු සල්ලි පොම්ප කරන වැඩේ නැවතත් පටන් ගත්තා. 2021දී භාණ්ඩාගාර බැඳුම්කරයක් නිකුත් කරලා රුපියල් මිලියන 27,734ක් දුන්නා. 2022දී ඔය විදිහටම තවත් රුපියල් මිලියන 17,318ක් දුන්නා. ඔය බැඳුම්කර දෙකනම් තවමත් කල් පිරිලා නැතුව ඇති. ඔය කාලයේනම් ජාත්‍යන්තර ස්වෛරිත්ව බැඳුම්කර නිකුත් කළේ නැහැනේ. ඒ වෙනුවට කළේ සල්ලි අච්චු ගහපු එකනේ.

අවුරුද්දෙන් අවුරුද්ද ඔය තරම් සල්ලි කන්දරාවක් පොම්ප කරලත්, 2023 මාර්තු 31 වෙද්දී ශ්‍රීලංකන් ගුවන් සේවයේ සමුච්ඡිත අලාබය රුපියල් මිලියන 610,488ක්. මේ අවුරුද්දේ රුපියල් මිලියන 3,871ක ලාබයක් ලබපු නිසා දැන් ඔය සමුච්ඡිත අලාබය රුපියල් මිලියන 607,614 දක්වා අඩු වෙලා තියෙනවා. හැබැයි ඒ විදිහට ලාබයක් ලැබුවේ කොහොමද කියල දන්නවද?

ඔන්න රහස! කාටවත් කියන්න එහෙම එපා. ලැජ්ජයිනේ. මොකද ශ්‍රීලංකන් ගුවන් සේවය කියන්නේ ලංකාවේ ජාතික අභිමානය. පහුගිය අවුරුද්දේ ශ්‍රී ලංකා රජය විසින් ශ්‍රීලංකන් ගුවන් සේවය වෙත තවත් රුපියල් මිලියන 106,000ක දැවැන්ත මුදලක් පොම්ප කරලා තියෙනවා. ඊට පස්සේ තමයි ඔය ලාබය වාර්තා කරලා තියෙන්නේ.

එතකොට ඔහොම සුදු අලියෙක්වද දිගටම නඩත්තු කරන්න යන්නේ?

ප්‍රශ්නය විකල්පය මොකක්ද කියන එකයි. අපි හිතමු ශ්‍රීලංකන් ගුවන් සේවය විකුණලා දමලා මේ බරෙන් නිදහස් වෙනවා කියලා. මේ ආයතනය කීයකට විකුණන්න පුළුවන් වෙයිද?

ඔය ලිපියේ විස්තර කරපු විශාල සල්ලි කන්දරාව පොම්ප කරලා, ඒ වෙනුවෙන් ගත්ත ණය වල පොලී දිගින් දිගටම ගෙවමින් හිටියත් ශ්‍රීලංකන් ගුවන් සේවයේ දැන් වටිනාකම රුපියල් මිලියන සෘණ 400,535ක්. 2023දී ඔය ගණන රුපියල් මිලියන සෘණ 509,175ක්. දැන් ඔය ගණනට අඩු වෙලා තියෙන්නේ පහුගිය අවුරුද්දේ 106,000ක දැවැන්ත මුදලක් පොම්ප කරලා ණය ගෙවපු නිසා. හැබැයි තවමත් වටිනාකම රුපියල් මිලියන සෘණ 400,535ක්. ඒ කියන්නේ ශ්‍රීලංකන් ගුවන් සේවයයේ මුළු වත්කම් ප්‍රමාණයට වඩා බැරකම් ප්‍රමාණය එපමණකින් වැඩියි.

කාට හරි විකුණන්න පුළුවන් වත්කමක්නම්. නමුත් මේක තනිකරම ණය ගොඩක්. කවුද සල්ලි දීලා ණය ගොඩක් බාර ගන්නේ?

එක්කෝ ඔය ඉතුරු ණය ටික එක පාරම බදු ගෙවන්නන් මත පටවලා ශ්‍රීලංකන් ගුවන් සේවය කීයකට හරි දීලා දාන්න වෙනවා. එහෙම නැත්නම් ශ්‍රීලංකන් ගුවන් සේවය ඔය විදිහටම තියාගෙන ඔය ණය බර හෙමිහිට ටිකෙන් ටික බදු ගෙවන්නන් මත පටවන්න වෙනවා. ඔය දෙකෙන් කොයි වැඩේ කළත්, අන්තිමට ඔය ණයට බදු ගෙවන ජනතාවට කර ගහන්නම වෙනවා. වෙන කිසිම විකල්පයක් නැහැ. පාඩුව වෙලා ඉවරයි.

එහෙම ආයතනයක් දිගටම තියාගෙන ඉන්න එකේ තේරුමක් තියෙනවද?

මම හිතන්නේ ඒක මේ මොහොතේ ලංකාවේ ජනතාවගේ කැමැත්ත. ශ්‍රීලංකන් ගුවන් සේවය දිගටම පවත්වා ගෙන යනවා කියලා මේ ජනාධිපතිවරයා සහ ඔහුගේ පක්ෂය පැහැදිලිවම කිවුවා. ජනතාව ඒක අනුමත කරලා තියෙනවා. ඒ වගේම, ඔය පරණ පවු වලට මේ ආණ්ඩුව වගකියන්න අවශ්‍යත් නැහැ.

ශ්‍රීලංකන් ගුවන් සේවය මේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති පිළිබඳ හොඳ පරීක්ෂාවක්. රජය ව්‍යාපාර කරන එකේ ප්‍රශ්න ගණනාවක් තිබුණත් ශ්‍රීලංකන් ගුවන් සේවය හා අදාළව ඒ හැම එකක්ම අදාළ වෙන්නේ නැහැ. ශ්‍රීලංකන් ගුවන් සේවය තිබුණා කියලා වෙන පෞද්ගලික ආයෝජකයෙකුට අවශ්‍යනම් ගුවන් සේවයක් ආරම්භ කරන්න බාධාවක් නැහැ. ඒ වගේම, ශ්‍රීලංකන් ගුවන් සේවයට තරඟයකට මුහුණ නොදී ලාබ ගන්න බැහැ. ඒ නිසා, ලංවිම, තෙල් සංස්ථාව වගේ ආයතන වලට තිබෙන ඒකාධිකාරයේ වාසිය රජයට නැහැ. තිබෙනවානම් ඉතා අඩුවෙන්. (ඔව්, තෙල් සංස්ථාව තවමත් ඒකාධිකාරයක් තමයි!)

ශ්‍රීලංකන් ගුවන් සේවය පසුගිය කාලයේදී රජයේ පාලනය යටතේ තිබුනාට වඩා කාර්යක්ෂම කරන්න බැරිකමක් නැහැ. තිබුණු කාර්යක්ෂමතාවය ගැන විස්තර කරන්න අවශ්‍ය නැහැනේ. ඒ නිසා රාජ්‍ය අංශයේ ව්‍යවසායයක් විදිහට ශ්‍රීලංකන් ගුවන් සේවයෙන් ප්‍රමාණවත් ලාබ පෙන්නන්න පුළුවන්නම් ඒක මේ ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති සාධාරනීකරණය කිරීම සඳහා යොදා ගන්න පුළුවන්. හැබැයි නිකම්ම ගිණුම්කරණ ලාබ නෙමෙයි. දැනට යට කරලා තිබෙන මහජන මුදල් වල පොලී ගෙවන්න පුළුවන් තරමේ ප්‍රතිලාභයක් ලාබ වලින් පෙනෙන්න ඕනෑ. තිබුණු හැටියට හොඳ එකක් වුනත්, පසුගිය අවුරුද්දේ උපයපු රුපියල් මිලියන 3,871ක ශුද්ධ ලාභය එහෙම එකක් නෙමෙයි.

~ ඉකොනොමැට්ටා

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan