අසලංක,පන්දුවෙන් වැරදුණු වැඩේ පිත්තෙන් හරි ගස්සයි

Date:

සටහන – නිශ්මං රණසිංහ
නොවැම්බර් 10,(LNW) කොළඹ :

ශ්‍රී ලංකාව නවසීලන්තය සමඟ පවත්වන විස්සයි විස්ස තරගයේ පළමු තරගය කඩුලු 3 න් ජය ගන්නට සමත් වුණා.නිත්‍ය පන්දු යවන්නන් 5 ට අමතරව අතිරේක පන්දු යවන්නන් ද සහිතව පිටියට පිවිසෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය පන්දු යවන්නන් නවසීලන්තය කෙරෙහි පීඩනය ඇති කර තිබූ මොහොතක චරිත් අසලංක විසින් යවන ලද පන්දු ඕවර් දෙකට නවසීලන්තය ලකුණු 25 ක් ලබා ගන්නවා.එසේ නොවුණානම් නවසීලන්තයට සිය ඉණිමේ ලකුණු ප්‍රමාණය 135 ක් කර ගැනීමට නොහැකි වන්නට තිබුණා.


එහෙත් නවසීලන්තය සිය ලකුණු 135 ජයග්‍රහණය ලබා ගැනීමට තරම් සවිමත් ලකුණු ප්‍රමාණයක්ව භාවිතයට ගනිද්දී,ඊට පිත්තෙන් හරස් වන චරිත් අසලංක පන්දු 28 න් නොදැවී ලකුණු 35 ක් ලබමින් වගකීම් සහගත ඉණිමක් ක්‍රීඩා කරමින් ශ්‍රී ලංකාවට ජය ගෙන දෙන්නට මුල් වෙනවා.තරගයේ 19 වන පන්දු ඕවරයේ අවසාන පන්දුවට දුනිත් වෙල්ලාලගේ එල්ල කරන හයේ පහරත් සමඟ ශ්‍රී ලංකා ලකුණු පූවරුව කඩුලු 7 ට ලකුණු 140 ක් බවට පත් වෙනවා.තරගයේ වීරයා ලෙස චරිත් අසලංක නම් කෙරුණත් නවසිලන්ත පිතිකරුවන් තිදෙනෙකු ලකුණු 20 ට දවාලමින් දස්කම් දක්වමින් අවසාන මොහොතේදී පන්දු 7 දී ලකුණු 11 ක් ලබා ගනිමින් ජයග්‍රාහී ලකුණද වාර්තා කරන දුනිත් වෙල්ලාලගේ ද තරගයේ නිල නොලත් වීරයා බවට පත් වෙනවා.


කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දෙන නවසීලන්ත පිතිකරුවන්ට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමඟ පහසු වන්නේ නැහැ.දඟ පන්දු යවන්නන් මෙන්ම මතීෂ පතිරණ සහ නුවන් තුෂාර ද සිය වේග පන්දුවෙන් නවසීලන්ත පිතිකරුවන් හොඳින් පාලනය කර ගන්නවා.නවසීලන්ත පිතිකරුවන් අතරින් මිචෙල් බ්‍රෙස්වෙල් ලකුණු 27 ක් ලබා ගනිමින් යම් තර්ජනයක් ඇති කිරීමට උත්සාහ කළ ද,නුවන් තුෂාරගේ පන්දු යැවීම ඉදිරියේ එම උත්සාහය ව්‍යර්ථ වෙනවා.එහෙත් මේ තරගයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව දැඩිම බලපෑමක් ඇති කළ නවසිලන්ත ක්‍රීඩකයා වූ ෂකාරි ෆෝකස් පිත්තෙන් පන්දු 16 දී ලකුණු 27 ක් නොදැවී ලබා ගත් සේ ම,පන්දුවෙන්ද විශාලම තර්ජනය එල්ල කරමින් ලකුණු 20 කඩුලු 3 ක් ලබා ගන්නට සමත් වෙනවා.


පිළිතුරු ඉණිමට පිවිසි ශ්‍රී ලංකා ආරම්භක පිිතිකරුවන්ට වැඩි සාර්ථක ආරම්භයක් ලබා දෙන්නට අවස්ථාව හිමිවන්නේ නැහැ.කුසල් මෙණ්ඩිස් ලකුණු නොලබාම පිටියෙන් ඉවත්ව යන්නේ මිචෙල් සැන්ටර් ගේ පන්දු යැවීම ඉදිරියේ.ඉනික්බිති පැතුම් නිශ්ශංක (19) සහ කුසල් ජනිත් පෙරේරා (23) අතර දෙවන කඩුල්ලට ලකුණු 40 ක සබඳතාවයක් ගොඩ නැඟෙනවා.එම සබඳතාවය ශ්‍රී ලංකා කණ්ඩායමේ හොඳම කඩුලු සබඳතාවය වන අතර කමිදු මෙණ්ඩිස් (23) සහ වනිදු හසරංග (22) ද සමඟ එක් පිතිකරු අන්තයක නොදැවී ක්‍රීඩා කරමින් චරිත් අසලංක කඩුල්ල රැක ගනිමින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා ඉවසිල්ලෙන් මෙන්ම අවශ්‍යය ලකුණු වේගය රඳවා ගනිමින් රැඟෙන යන්නට දායකත්වය දෙනවා.


ඉන්දියාවට එරෙහිව සිය දඟ පන්දුවෙන් දස්කම් දැක් වූ නවසීලන්තය උප මහද්වීපික පරිසරය තුළ දඟ පන්දුව අවියක් කර ගැනීමේ පූර්ව සූදානම පෙන්වමින්,ලෝක පූජිත ලාංකේය දඟ පන්දු යවන්නා වන රංගන හේරත්ගේ උපදෙස් ද පෙරටු කර ගනිමින් මේ තරගයේ දී ද දඟ පන්දු යවන්නන් සිව් දෙනෙකුගේම සේවය ලබා ගැනීමට කටයුතු කරනවා.එහෙත් ලකුණු 135 ක් වැනි ලකුණු ප්‍රමාණයක් රැක ගැනීම ශ්‍රී ලංකාව සතුව සිටින පිතිකරුවන් සමඟ පහසු නොවන බව පැහැදිළි කරමින් නවසීලන්ත දඟ පන්දු යවන්නන්ට පීඩනයක් ගොඩ නඟන්නට ඔවුන් ඉඩ ලබා දුන්නේ නැහැ.මිචෙල් සැන්ටර් කුසල් මෙණ්ඩිස්ව ලකුණු නොලබා සිටියදී පිටියෙන් ඉවත් කරමින් ඉන්දීය ආක්‍රමණයේ හැඩය සිහිපත් කළ ද,ශ්‍රී ලංකා පිතිකරුවන්ව මෙල්ල කළ හැකි සමස්ත ලකුණු එකතුවක් නවසීලන්ත ඉණිමේ දකින්නට තිබුණේ නැහැ.


ශ්‍රී ලංකා කණ්ඩායම අභ්‍යන්තරයේ ද දස්කම් ඇගයීමක් නිර්මාණය වී ඇති අතර එම ඇගයම්වලදී ශ්‍රී ලංකා කණ්ඩායමේ තරගයේ හොඳම පිතිකරු ලෙස චරිත් අසලංක ඇගයීමට ලක් වුණා.පන්දු යැවිම වෙනුවෙන් ඇගයීම් ලැබුවේ නුවන් තුෂාරයි.පන්දු රැකීම සඳහා කමිඳු මෙණ්ඩිස් ඇගයීමට පාත්‍ර වුණා.
තරගයේ ලකුණු විස්තරයට පහතින් පිවිසිය හැකියි.
https://es.pn/4ejVYeV

http://www.sportwaynews.com

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන මිල ඉහළට !

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (ජුනි 30) මධ්‍යම රාත්‍රියේ සිට...

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...