සටහන: පුන්සරා ලියනගේ
නොවැම්බර් 19, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බුද්ධිමත් පිටසක්වල ජීවීන් අභ්‍යවකාශයේ පමණක් නොව පෘථිවියේ අපට ඉහළින් ඇති අහසේ පවා සැරිසරනවා ද? එක්සත් ජනපද ආණ්ඩුව පැහැදිලි කළ නොහැකි සංසිද්ධි වසන් කරමින්, තමන්ගේම තාක්ෂණය නංවාලීම සඳහා රහසිගත පිටසක්වල සොයාගැනීම් භාවිතා කර තිබේද?
කතා කළ යුතු සහ කතා කිරීමට අවශ්‍ය වූවත් කතා නොකරන පැති කිහිපයක් මේ වන විට ලෝකයාට පවතී. ඉන් එකක් වන පිටසක්වල ජීවීන් යැයි කියනු ලබන ජාතියක් හිටිනවා ද නැද්ද යන්න ගම්‍ය කර ගැනීමට සාක්ෂි මෙන්ම ඒවා දුටුවන් සිටිය යුතුමය.
මෙවැනි පරිසරයක මානව ඉතිහාසයේ පෙරළිකාර මොහොතක, හඳුනා නොගත් පියාසර වස්තූන් කෙරෙහි දේශපාලනික කෝණයෙන් හඳුනා නොගත් විෂම සංසිද්ධි හෙවත් Unidentified Anomalous Phenomena (UAPs) හා සම්බන්ධ “මිනිස් නොවන ජීවීන්ගේ” පැවැත්ම පිළිබඳව තොරතුරු හෙළි කරන්නෝ එක්සත් ජනපද කොන්ග්‍රස උප කමිටුවක් ඉදිරියේ සාක්ෂි දුන්හ.
පිටසක්වල රසබර කතා වටා දශක ගණනාවක් රහස්‍යභාවයක් පැවති බවට සාක්ෂි මගින් යෝජනා කළ නමුත් ඊට ලැබුණු මහජනයාගේ හයිප් එකනම් ඉතා අඩුය.
කුතුහලය හෝ විවාදය අවුලුවාලීමට මෙම මහා හෙළිදරව්ව අසමත් වූයේ මන්ද? යන පැනය නැගෙනුයේ එවිට ය.
කොංග්‍රසය විසින් මාර්තු මාසයේදී වාර්තාවක් නිකුත් කරමින් කියා සිටියේ පිටසක්වල අභ්‍යවකාශ යානා පිළිබඳ කිසිදු සාක්ෂියක් තමන් සතුව නොමැති බවයි.
මේ සියල්ල සැලකිල්ලට ගනිමින් මෙවැනි සිදුවීමක් එතරම් ඔලුවක්ට ගැනීමක් නොකළ මහජනයාට ද ඇඟිල්ල දික් කර පලක් නොමැත. ඒ මන්ද අර්ධ වශයෙන් නිශ්චිත සාක්ෂි නොමැතිකම නිසා එවැනි තත්ත්වයන් ඇති විය හැක. භෞතික කෞතුක වස්තු, සවිස්තරාත්මක දර්ශන හෝ විද්‍යාත්මක විශ්ලේෂණයකින් තොරව, ඩිජිටල් හැසිරවීම් සහ කුමන්ත්‍රණ න්‍යායන් වලින් පිරී ඇති ජනතාවක් ඒ පිළිබඳ ඒත්තු ගැන්වීමම අභියෝගයකි.
20 වැනි සියවස තරම් දියුණු සියවසක මෙම ප්‍රකාශයන්ට ස්පර්ශ කළ හැකි, දෘශ්‍ය සාක්කියක් තිබිය යුතුමය.
දශක ගණනාවක් පුරා, පිටසක්වල ජීවීන් කෙරෙහි මානව වර්ගයාගේ කුතුහලය විද්‍යාවේ සහ තාක්‍ෂණයේ දියුණුවත් සමඟ පරිණාමය වී ඇත. අපි පොඩි කාලේ පිටසක්වල ජීවීන් දැක්කත් නැතත් අදාල නැත; කට ඇරගෙන ඒ ගැන යන චිත්‍රපට, ටෙලි කතා බලාගෙන ඉන්නේ හරියට හැබෑ ජීවිතයේ කොටසක් ලෙසය.
Close Encounters of the Third Kind වැනි චිත්‍රපට සහ The X-Files වැනි රූපවාහිනී ටෙලිනාට්‍ය මාලා මෙම සාමූහික කුතුහලය මත සාර්ථක වූ නිර්මාණයන් අතර වේ.
කෙසේ වෙතත්, විද්‍යාව විශ්වයේ බලපෑම සහ පිටසක්වල ජීවීන් සමඟ මානව සම්බන්ධතා ඇතිවීමේ සම්භාවිතාව පිළිබඳ පැහැදිලි ඉදිරිදර්ශන ලබා දීමත් සමඟ, UFO ප්‍රබන්ධයේ බලය මැකී යාමට පටන් ගෙන තිබිණි.
පසුගිය වසරේ මෙවැනිම නඩු විභාගයකදී අසාමාන්‍ය අවස්ථාවන් දිග හැරුණු අතර, විශේෂයෙන් එක්සත් ජනපදයෙහි මෙවන් යානා කඩාවැටීම් සිදුවුණුයේ යැයි පැවසෙන ස්ථානවලින් මානව නොවන ජීවී ද්‍රව්‍ය වල සාක්ෂි ලබාගෙන ඇති බවට ද චෝදනා එල්ල වී තිබිණි. එකළ විශ්‍රාමික මේජර් ඩේවිඩ් ග්‍රුෂ්, කලින් පෙන්ටගනයේ යූඒපී කාර්ය සාධක බලකායේ කොටසක් වූ කළ ඔහු ද මේ පිළිබඳ තොරතුරු හෙළිදරව් කර තිබිණි.
මෙවර සාක්ෂි දීමේදී Ocean STL Consulting, LLC හි ප්‍රධාන විධායක නිලධාරී, එක්සත් ජනපද නාවික හමුදා විශ්‍රාමික රියර් අද්මිරාල් Tim Gallaudet මෙන්ම, කතුවරයෙක් සහ හිටපු ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු වන Luis Elizondo ද, අභ්‍යවකාශ ප්‍රතිපත්ති සහ හවුල්කාරිත්වයේ හිටපු NASA සහකාර පරිපාලක; NASA UAP ස්වාධීන අධ්‍යයන කණ්ඩායමේ සාමාජිකයෙකු වන Michael Gold සහ Public හි නිර්මාතෘ Michael Shellenberger යන අයවලුන් විය.
පිටසක්වල ජීවීන්ගේ හැකියාව සමඟ මානවයා අර්ථවත් ලෙස සම්බන්ධ වීමට නම්, වඩා හොඳ සන්නිවේදන උපාය මාර්ග අත්‍යවශ්‍ය වේ. ප්‍රතිපත්ති සම්පාදකයන් සහ විද්‍යාඥයන් මෙම මාතෘකා මහජනයාගේ ඔලුවට යන ආකාරයෙන් ඉදිරිපත් කළ යුතු අතර, ප්‍රවේශ විය හැකි සාක්ෂි ද ඉදිරිපත් කිරීම ද අත්‍යවශ්‍ය ය.
සඳ බැසීමේ සිට බාහිර ග්‍රහලෝක සොයාගැනීම දක්වා වූ ඓතිහාසික සන්ධිස්ථාන මානවයා සහ විද්‍යාව යන බැඳීම ඔප්පු කළ සංධිස්ථානයකි.
සාක්ෂි ප්‍රබලනම් අද වැඩි වශයෙන් භාවිත වන සමාජ මාධ්‍ය තුළ මෙලහකටත් ඕවා උඩුදුවා තිබෙනු ඇත. Tiktok, Facebook, Instagram, Youtube එකී මෙකී නොකී හැම අස්සක් මුල්ලක්ම එහෙනම් අද කතා කරන්නේ පිටසක්වලයෝ ගැනය.
ඉතිං, පිටසක්වල ජීවීන් සැබවින්ම සිටින බවට ඇමරිකානු රජය නිල වශයෙන් පිළිගනී ද? නාසා ආයතනය මීට සහතිකයක් ලබා දෙයි ද? අපවත් දන්නේ නැතිව ඔවුන් අප අතරම ගැවසුනා ද? අපවත් නොදැන ගොඩබිමේ, සාගරයේ, අහසේ තරණයකළ අපට ඔවුන් යන එන ගමන් මුණගැසුනා ද? ඔවුන්ගෙන් උකහාගත් තාක්ෂණය ප්‍රති-ඉංජිනේරුකරණයකොට අපගේ තාක්ෂණය ගොඩනැඟීමට රහසිගත ව්‍යාපෘති දියත් වූවා ද? ඒ සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සපයා ගැනීමට ජනතාවත් නොමඟ හැර ඔවුන් ගෙවන බදු මුදල් අවභාවිතා කළා ද? දශක ගණනාවක් මුළුල්ලේ සත්‍යය වසන්කළාට රජය සමාව අයදී ද? මේ තොරතුරුත් ඉදිරියේ දී කොංග්‍රස අනු කමිටු රැස්වීමේ දී හෙළිවේවි, නමුත් වත්මන් ගෝලීය ප්‍රවණතා සමඟ සසඳා බලනකළ, ඊලෝන් මස්ක්ගේ ඔප්ටිමස් රොබෝවරු, ඇපල් සමාගමේ විෂන් ප්‍රෝ, රේබෑන්-මෙටා සමාගම්වල ස්මාර්ට් අව්කණ්ණාඩි, කෘතිම බුද්ධිය භුක්ති විඳින අසීමිත නිදහස සමඟ ඉදිරියට යන මිනිසුන් මතු දිනෙක පිටසක්වල ජීවින් වී, සැබෑ පිටසක්වල ජීවීන් ලෝ තලයේ සැබෑ උරුමකරුවන් බවට පත්ව ඇති බවට වාර්තා වූවහොත් අප පුදුම නොවිය යුතුය. මන්ද, වරක ලොවක් බලා සිටි ඒ නොවිසඳුනු අභිරහස ඒ තරමට ම දැන් ජීවත්වන උදවියට අදාළ නැත.