ශ්‍රී ලංකාවට එරෙහි හැමිල්ටන් බැංකුවේ නඩුව : නිවුයෝර්ක් අධිකරණයෙන් තවත් දින දහයක් !

Date:

ශ්‍රී ලංකාවට එරෙහිව හැමිල්ටන් රිසර්ව් බැංකුව විසින් නිවුයෝර්ක්හි අධිකරණයක ගොනු කොට ඇති නඩුව විභාගයට ගැනීම තෙවන වරටද තාවකලිකව අත් හිටවා තිබෙනවා. ඒ ශ්‍රී ලංකා රජය විසින් එම අධිකරණයෙන් කර ඇති ඉල්ලීමකට අනුවයි. කෙසේ වුවද, මෙවර අදාළ නඩුව විභාගයට ගැනීම අත් හිටුවා තිබෙන්නේ ඉතා කෙටි කාලයකටයි. එනම්, මෙම නොවැම්බර් මාසය අවසන් වන තුරු පමණයි.

හැමිල්ටන් රිසර්ව් බැංකුව සහ එම බැංකුව වෙත බලය පවරා ඇති අනෙකුත් පාර්ශ්ව වෙත ශ්‍රී ලංකා රජය විසින් ස්වෛරිත්ව බැඳුම්කර වල මුහුණත අගය ලෙස ඩොලර් 242,990,000ක් සහ කූපන් පොලිය ලෙස ඩොලර් 7,137,831.25ක් වශයෙන් ඩොලර් මිලියන 250ක් පමණ මුදලක් ආපසු ගෙවිය යුතුයි. එම බැංකුව විසින් අදාළ මුදල ලබා ගැනීම සඳහා අධිකරණ සහාය අපේක්ෂා කරනවා.

මෙම නඩුව විභාගයට ගැනීමට පෙර ශ්‍රී ලංකාව විසින් ඉදිරිපත් කළ මූලික විරෝධතා අදාළ අධිකරණය විසින් ප්‍රතික්ෂේප කළා. එහෙත්, ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු අවසන් කිරීම සඳහා බාධාවක් වන බැවින් නඩුවේ තීන්දුව ලබා දීම ප්‍රමාද කරන මෙන් 2023 ඔක්තෝබර් මාසයේදී ශ්‍රී ලංකාව විසින් කළ ඉල්ලීම එම අධිකරණය විසින් පිළිගත්තා. මෙම තීන්දුව ශ්‍රී ලංකාවේ වාසියට ලැබුණේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ඇමරිකාවේ රජය විසින් (නීතිපති) මෙන්ම එක්සත් රාජධානිය හා ප්‍රංශයද අධිකරණයට කරුණු ඉදිරිපත් කළ නිසයි. මේ අනුව 2024 පෙබරවාරි මාසය තෙක් මාස හතරක පමණ කාලයකට නඩු තීන්දුවක් ලබා දීම ප්‍රමාද කළ නමුත් ඒ වන තුරුද ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු අවසන් වුනේ නැහැ.

පසුගිය මාර්තු මාසයේදී ශ්‍රී ලංකාව විසින් මෙම වාරණ නියෝගයේ කාලය තවත් මාස පහකින් දීර්ඝ කරන මෙන් ඉල්ලා සිටි අතර ඒ අනුව දෙවන වරටද නඩුව විභාගයට ගැනීම කල් තබනු ලැබුවා. දැන් නැවත වරක් නඩුව විභාගයට ගැනීම කල් දමා තිබෙනවා. එහෙත්, එසේ කල් දී තිබෙන්නේ මෙම නොවැම්බර් මාසය අවසන් වන තුරු පමණයි.

හැමිල්ටන් රිසර්ව් බැංකුව විසින් පසුගිය ඔක්තෝබර් 1 දින අධිකරණයට ලිපියක් ඉදිරිපත් කරමින් දැනුම් දී තිබුනේ අනුර කුමාර දිසානායක ශ්‍රී ලංකාවේ ජනාධිපති සේ තේරී පත්වීම හේතුවෙන් ණය ප්‍රතිව්‍යුහකරණ ක්‍රියාවලිය ප්‍රමාද වනු ඇති බවයි. එහෙත්, මෙයට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා රජය විසින් ඔක්තෝබර් 4 වන දින එම අධිකරණයට දැනුම් දුන්නේ නව රජය විසින්ද හැකි ඉක්මණින් ණය ප්‍රතිව්‍යුහකරණ ක්‍රියාවලිය අවසන් කිරීමට කටයුතු කරනු ඇති බවයි. එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කර ගෙන තිබෙන එකඟතා අනුව දිගටම කටයුතු කෙරෙනු ඇති බවයි. නිවුයෝර්ක් අධිකරණය විසින් මේ සියලු කරුණු සැලකිල්ලට ගෙන තිබෙනවා. එමෙන්ම මෙතෙක් නඩුව විභාගයට ගැනීම කල් දැමීම ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහකරණ ක්‍රියාවලිය සාර්ථක ලෙස ඉදිරියට යාමට උදවු වී ඇති බවද එම අධිකරණය විසින් නිගමනය කර තිබෙනවා.

හැමිල්ටන් රිසර්ව් බැංකුව විසින් කර ඇති එක් ඉල්ලීමක් වන්නේ ණය ප්‍රතිව්‍යුහකරණ ක්‍රියාවලිය අවසන් කළ ද ඔවුන්ට ලැබිය යුතු මුදල් කිසිදු අඩුවක් නොමැතිව ආපසු ගෙවන බවට ශ්‍රී ලංකා රජය විසින් සහතිකයක් ලබා දිය යුතු බවයි. එහෙත්, අධිකරණය විසින් ශ්‍රී ලංකාවට එවැනි කොන්දේසියක් පනවා නැහැ.

ණය ප්‍රතිව්‍යුහකරණ ක්‍රියාවලිය හා අදාළ එකඟතා සියල්ල මේ වන විට අවසන්ව ඇති අතර දැන් ශ්‍රී ලංකා පාර්ශ්වයට අවශ්‍යව තිබෙන්නේද මේ කටයුත්ත ඉක්මණින් අවසන් කර ගැනීමටයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විමර්ශනය අවසන් වූ පසුව මෙම කටයුත්ත මීළඟ අදියරට යනු ඇතැයි සිතිය හැකියි. කෙසේ වුවත්, හැමිල්ටන් රිසර්ව් බැංකුවේ නඩුව විභාගයට නොගැනීම සඳහා දැනට ඉතිරිව තිබෙන්නේ දින දහයක කාලයක් පමණක් බැවින්, ණය ප්‍රතිව්‍යුහකරණ ක්‍රියාවලියේ ඊළඟ අදියර ඉතා ඉක්මණින් ආරම්භ නොවුවහොත් ශ්‍රී ලංකාවට තවත් වරක් ප්‍රස්තුත අධිකරණය වෙත යන්නට සිදු විය හැකියි.

~ ඉකොනොමැට්ටා

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...