ඉසුරු පරාක්‍රම
පෙබරවාරි 04, කොළඹ (LNW): වසර 05 කට ආසන්න කාලයක් පුරා ශ්‍රී ලංකාවේ පැවති වාහන ආනයන සීමා ඉවත් කිරීමට රජය නිල වශයෙන් කටයුතු කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව, මෝටර් රථ, වෑන් රථ, බස් රථ, ත්‍රී රෝද රථ, පා පැදි සහ අනෙකුත් මෝටර් රහිත වාහන ආනයනය කිරීම සඳහා තාවකාලිකව පනවා තිබූ තහනම ඉවත් කොට ඒවා නැවත වෙළඳපොලට නිකුත් කිරීමට කටයුතු කර ඇති බවයි රජය පවසන්නේ.
අංක 2421/44 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රය මඟින් මෙම තීරණය ප්‍රකාශයට පත්කළ අතර, එය 2025 පෙබරවාරි 01 වන දින සිට බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක වේ.
2020 වර්ෂයේ පටන් මේ දක්වා පනවා ඇති ආනයන පාලන ලිහිල් කිරීමේ තුන්වන අදියර යටතේ මෙම ක්‍රියාමාර්ගය ගෙන තිබේ.
මෙම පියවර මඟින් රටේ ආර්ථික ක්‍රියාවලිය වැඩිදියුණුකර ඉල්ලුම ඉහළ දැමීමට පියවර ගෙන ඇති නමුත්, ආනයන නියාමනය, විදේශ විනිමය පිටතට ගලායෑම්, හා රජයේ ආදායම ආදී කරුණු ඉලක්කකරගත් දැඩි කොන්දේසි 09ක් යටතේ මෙම සීමා ඉවත් කිරීම සිදුකර ඇති බවයි වාර්තා වෙන්නේ.
මුදල් අමාත්‍යංශය විසින් නිකුත්කළ නිවේදනයක් අනුව, ආර්ථික පුනර්ජීවනය ඉලක්කකරගනිමින් මෙම කොන්දේසි පනවා ඇති අතර, එමඟින් විදේශ විනිමය සංචිත ආරක්ෂා කොට අනවශ්‍ය වාහන ආනයන වැළැක්වීමට කටයුතු යොදා ඇත.
ඒ අනුව;
ආනයනකරුවන් ලියාපදිංචිවිය යුතුයි: මෝටර් රථ හා ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සහ අනෙකුත් රජයේ අදාළ ආයතනවල ලියාපදිංචි වී සිටින ආනයනකරුවන්ට පමණක් මෙසේ වාහන ආනයනයකළ හැකි අතර ඔවුන් ආනයනය කරන වාහන සංඛ්‍යාව දැනුම් දී සිටිය යුතු ය.
තනි පුද්ගල ආනයන සීමාවන්: ලියාපදිංචි ආනයනකරුවන් හැරුණු විට තනි පුද්ගල හෝ වෙනත් ආයතනයක් මඟින් වාහන ආනයනය කරන්නේ නම්, ඔවුනට මාස 12 ක කාලයක් තුළ ගෙන්විය හැක්කේ එක් වාහනයක් පමණි.
අනිවාර්ය ලියාපදිංචිය: ආනයනය කරන සියලු වාහන ගැනුම්කරුවාගේ හෝ ආනයනය කරන තැනැත්තාගේ නම යටතේ මෝටර් රථ හා ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිකළ යුතු ය. මෙය රේගුවෙන් නිදහස් කරන (CUSDEC) දිනයේ සිට දින 90ක් ඇතුළත සිදුකළ යුතු ය.
දිව්රුම් පෙත්සමක් ලබා දිය යුතු යි: වාහන ආනයනය කරන තැනැත්තා හෝ මිලදී ගනු ලබන තැනැත්තා විසින් වාහනය ලියාපදිංචි කිරීම සඳහා තම බදු ගෙවීමේ හැඳුනුම් අංකය (TIN) සහ අනෙකුත් අදාළ ලියවිලි සමඟ දිව්රුම් පෙත්සමක් ඉදිරිපත්කළ යුතු ය.
ආනයන ප්‍රකාශය: ගත වූ මාස 12 තුළ වෙනත් වාහනයක් ගෙන්වීමට තමා කටයුතු කර නැති බවට, වාහන ආනයනය කරන තනි පුද්ගලයන් විසින් තම දිව්රුම් පෙත්සමේ සහතිකවිය යුතු ය.
ලියාපදිංචිය පමාවීමේ ගාස්තු: ආනයනයකළ වාහනය දින 90ක් තුළ ලියාපදිංචි නොකළේ නම්, ආනයනකරු විසින් මසකට පිරිවැය-රක්ෂණ-භාණ්ඩ ප්‍රවාහන (CIF) වටිනාකමෙන් සියයට 3 ක ප්‍රමාද ගාස්තුවක් ගෙවිය යුතු අතර, එම වටිනාකමෙන් උපරිම වශයෙන් සියයට 45 ක් දක්වා ගෙවිය යුතු ය. මේ සඳහා කිසිඳු විකල්පයක් ලබා නොදේ.
වාහනයේ වයස ගණනය කිරීම: වාහනය නිශ්පාදනයකර ඇති දිනය හා වාහනය ගොඩබාන විට හෝ විදෙස් රටකින් මෙරටට එවනවිට නිකුත්කරන බිලපතේ සඳහන් දිනය අතර කාලසීමාව අනුව වාහනයේ වයස ගණනය කරනු ඇත.
ආනයන බලපත්‍ර සීමාවන්: සහනදායී තීරු බදු අනුපාත යටතේ නිකුත් කරන ලද බලපත්‍ර භාවිතා කර වාහන ආනයනය කිරීමට අවසර ලබා නොදේ.
කොන්දේසි උල්ලංඝනය කිරීම මත පැනවෙන දඩ: මෙම කොන්දේසි උල්ලංඝනය කරමින් ආනයනය කරනු ලබන වාහන ආනයනකරුගේ වියදමින් දින 90ක් ඇතුළත ප්‍රති-අපනයනයකළ යුතු ය.
මේ අතර, වාහන ගෙන්වීම නියාමනය කිරීම සඳහා රජය විසින් දැඩි තීරුබදු පනවා ඇති බව ද වාර්තා වේ. 2025 ජනවාරි 27 වන දින නිකුත් කරන ලද අංක 2421/05 දරණ ගැසට් පත්‍රය යටතේ, HS කේතවල 87 වන පරිච්ඡේදය යටතේ වර්ගීකරණය කර ඇති සියලු වාහන සඳහා සියයට 20 ක රේගු ආනයන බද්දක් (CID) පනවා ඇත.
තව ද, 2025 ජනවාරි 31 වන දින නිකුත් කරන ලද අංක 2421/43 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රය ඔස්සේ පවතින රේගු ආනයන බද්දට සියයට 50 ක අධි-බද්දක් වදින අතර, 2025 පෙබරවාරි 01 වන දින සිට සමස්ත ආනයන බද්ද රේගු ආනයන බද්දෙන් සියයට 30 දක්වා ඉහළ දමා ඇත.