සටහන – රුවන් නෙළුගොල්ල
පාසල් සංවර්ධන සමිති ගාස්තු රුපියල් දහසකින්, එක්දාස් පන්සීයකින්, දෙදහසකින් යනාදී වශයෙන් වැඩිකිරීමට රජය අනුමැතිය දී ඇති බවත් මෙය දෙමව්පියන්ට දරාගත නොහැකි බර පැටවීමක් බැවින් වහාම මෙය නතර කළයුතු බවත් ලංකා ගුරු සංගමය පවසයි.
“වර්තමාන රජය බලයට පත්වෙලා ඔවුන් පැහැදිලිවම සඳහන් කරපු දේ තමයි මේ රටේ අධ්‍යාපනයේ බර දෙමව්පියන්ගෙන් අඩු කරනවායි කියන කාරණාව. අද වෙනකොට දෙමව්පියන්ගෙ ආදායමෙන් 60% කට ආසන්න ප්‍රමාණයක් යන්නෙ දරුවන්ගෙ අධ්‍යාපනයට. අපි දන්නවා සමහර පාසල්වල පාසල් සංවර්ධන සමිතියට මාසික ගාස්තුව රුපියල් 11,000යි, 12,000යි. එතකොට මේක දෙමව්පියන්ට දරන්න බෑ. වර්තමාන රජය විසින් විශේෂයෙන් මේ ජාතික පාසල්වල සංවර්ධන සමිති ගාස්තුව දාහකින්, එක්දාස් පන්සීයකින්, දෙදාහකින් වැඩිකරන්න අනුමැතිය දීලා තියෙනවා. අපි ගත්තොත් කොළඹ ළමයි 6000 කට වැඩිය ඉන්න ප්‍රධාන පෙළේ පාසලක සංවර්ධන සමිති ගාස්තුව 11,160 යි. තවත් ප්‍රධාන පාසලක 7,500 යි. තවත් ප්‍රධාන පාසලක 5,507 යි. තවත් ප්‍රධාන පාසලක 5,160 යි, තවත් පාසලක 8,136 යි, තවත් පාසලක 8,250 යි, තවත් විද්‍යාලයක 6,300 යි. මේ වගේ ප්‍රධාන පාසල්වල මේ සා විශාල මුදලක් අය කරනවා ළමයින්ගෙන් සංවර්ධන සමිති ගාස්තු හැටියට. එතකොට පාසලේ ළමයි හයදාහයි, පන්දාහයි, හාරදාහයි, තුන්දාහයි. දැන් මේ සා විශාල මුදලක් එකතු කරන්න ඉඩදෙන්නේ රජය මොකුත් කරන්නෙ නැද්ද ? අපි දැක්කා ලංකාවෙ ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක ගොඩනැගිල්ල හදන්න පන්තියකින් ලක්ෂ තුන ගාණෙ එකතු කරනවා. කවුද මේවාට අනුමැතිය දීලා තියෙන්නෙ ? දැන් මේ සා විශාල මුදලක් සංවර්ධන සමිතියට එකතු කළාට පස්සේ අපි දන්නවා නැවත පාසලේ පින්තාරු කිරීම කියලා තීන්ත ගාන්න සල්ලි ගන්නවා. පාසලේ අලුත්වැඩියා කියලා නැවත සල්ලි ගන්නවා. පාසලේ ක්‍රීඩා කියලා නැවත සල්ලි ගන්නවා. පාසලේ පිහිනුම් කරන්න කියලා තවත් සල්ලි ගන්නවා. මොකටද මේ සල්ලි ගන්නෙ ? අපි දැක්කා වර්තමාන රජයේ අධ්‍යාපන ඇමතිවරිය, අගමැතිවරිය කිව්වා පාසලේ මුදල් එකතුකිරීම අපි නවත්වනවා කියලා කිව්වා. නමුත් දැන් වෙලා තියෙන්නෙ මොකක්ද ? පාසලේ මුදල් එකතු කිරීමේ ගාස්තුව වැඩි කරවලා තියෙනවා. ඉතින් මේක මහ අපරාධයක්. දෙමව්පියන්ට මේක දරන්න බෑ, සමහර දෙමව්පියෝ කතා කරන්නෙ නැහැ. අපි පැහැදිලිවම කියනවා අධ්‍යාපනයට දෙමව්පියන්ගෙ බර අඩුකරනවා නම් සංවර්ධන සමිතිවල මේ ගාස්තු වැඩිකිරීම නවත්වන්න. දෙමව්පියෝ මත පාසලේ බර දානවා නම් ඒක බරපතළ අර්බුදයක්. ඒක නිසා මේ ක්‍රියාවලිය නතර කළ යුතුයි කියලා අපි ආණ්ඩුවට බල කරලා කියනවා”
ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා මේ බව පැවසුවේ ඊයේ (මාර්තු 13) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
