පසුගිය 2024 වර්ෂය තුළ, 2023 වසරට සාපේක්ෂව, ශ්‍රී ලංකාවේ ආර්ථිකය 5.0%කින් වර්ධනය වී තිබෙනවා. මෙය 2017 වර්ෂයෙන් පසුව වාර්තා වන ඉහළම ආර්ථික වර්ධන වේගයයි.

කෘෂිකාර්මික අංශය 1.2%කින් වර්ධනය වී ඇති අතර, කර්මාන්ත අංශය 11.0%කින්ද, සේවා අංශය 2.4%කින්ද වර්ධනය වී තිබෙනවා. මේ අනුව පෙනී යන්නේ 5.0% වර්ධනයට ප්‍රධානම හේතුව කර්මාන්ත අංශය නැවත යථා තත්ත්වයට පැමිණීම බවයි. කර්මාන්ත අංශය තුළ, 19.4%කින් වර්ධනය වී ඇති ඉදි කිරීම් අංශය කැපී පෙනෙනවා.
වසරේ පළමු කාර්තු තුන ඇතුළත පිළිවෙලින් 5.1%, 4.1% හා 5.3% ලෙස වර්ධනය වූ ආර්ථිකය සිවුවන කාර්තුවේදී 5.4%කින් වර්ධනය වී තිබෙනවා. එම වර්ධනයට හේතුවද කර්මාන්ත අංශයේ 13.7%ක වර්ධනයයි. සිවුවන කාර්තුව තුළ සේවා අංශය වර්ධනය වී තිබෙන්නේ 2.5%කින් පමණක් වන අතර කෘෂිකාර්මික අංශය 2.2%කින් හැකිලී තිබෙනවා.
මෙවැනි වර්ධනයක් අත්පත් කර ගැනීමෙන් පසුවද, රටේ ආර්ථිකය තවමත් තිබෙන්නේ 2018දී පැවති මට්ටමට වඩා 5.8%ක් පහළින්. මේ වසරේදී කෙසේ වුවත්, 2026 වසරේදී නැවත 2018 මට්ටමට පැමිණීම පිළිබඳව බලාපොරොත්තු තැබිය හැකියි. 2018 වසරට සාපේක්ෂව කෘෂිකාර්මික අංශය 0.9%ක් පහළින් සහ සේවා අංශය 4.0%ක් පහළින් ඇති අතර, 11.0%ක වර්ධනයකින් පසුවද කර්මාන්ත අංශය තවමත් පවතින්නේ 18.7%ක් පහළින්. වසර තුළ 19.4%කින් වර්ධනය වී තිබෙන ඉදිකිරීම් අංශය තිබෙන්නේ 2018 මට්ටමට වඩා 39.7%ක් පහළින්. එමෙන්ම, 2017 පැවති මට්ටමට වඩා 44.6%ක් පහළින්.
ලංකාවේ ආර්ථිකය කඩා වැටීමේදී බොහෝ දුරට සිදු වුනේ “ඉදිකිරීම් බුබුල” කඩා වැටීමක්. ඉදිකිරීම් අංශය නැවත 2017 මට්ටමට වර්ධනය වීම සඳහා වසර ගණනාවක් යනු ඇතත්, විශාල කඩාවැටීමක තිබෙන එම අංශය වඩා වැඩි වේගයකින් වර්ධනය වීමට සහ එමගින් ඉදිරි වසර වල ආර්ථික වර්ධනයට වැඩි දායකත්වයක් ලබා දීමට නියමිතයි. පුද්ගල ආදායම් බදු අඩු වීම සහ පෞද්ගලික අංශයේ ණය වර්ධනය තුළින් පිළිබිඹු වන්නේ ඉදි කිරීම් අංශය වේගයෙන් යථා තත්ත්වයට පැමිණෙමින් ඇති බවයි.
කෙසේ වුවද, කෘෂිකාර්මික සහ සේවා අංශ වල අඩු වර්ධන වේගයන්ගෙන් පෙන්නුම් කරන්නේ ආර්ථික වර්ධනයට පුළුල් පදනමක් නොමැති බවයි. ඒ නිසා, මෙම 5.0% ආර්ථික වර්ධනය තුළින් රටේ දිගුකාලීන වර්ධන විභවය පිළිබිඹු වන්නේ නැහැ.
පසුගිය වසරේ නාමික දදේනිය රුපියල් බිලියන 29,899ක්. මෙය ඩොලර් බිලියන 99.0කට සමාන වන අතර මෙතෙක් වාර්තා වී ඇති දදේනියේ වැඩිම ඩොලර් අගයයි. 2018දී ඩොලර් බිලිය 92.4ක් වූ ලංකාවේ ආර්ථිකය 2022දී ඩොලර් බිලියන 74.9 දක්වා පහත වැටුණා. මේ අනුව, 2024 වර්ෂයේදී ලංකාවේ ඒක පුද්ගල ආදායම ඩොලර් 4,516 පමණ දක්වා ඉහළ ගොස් තිබිය යුතුයි. මෙය මෙතෙක් වාර්තා වී ඇති ඉහළම අගයයි. 2017දී ඩොලර් 4,290ක් වූ ලංකාවේ ඒක පුද්ගල ආදායම 2022දී ඩොලර් 3,378 දක්වා පහත වැටුණා.
~ ඉකොනොමැට්ටා
RN
