රෂිකා හෙන්නායක ජූනි 25, කොළඹ LNW :
2025‑07‑01 දින සිට වයස අවුරුදු 16ට අඩු ළමයින් සිඟමනේ යෙදවීම, වෙළෙඳාම් කටයුතුවල යෙදවීම සහ වයස අවුරුදු 16 – 18 අතර ළමුන් ගෘහ සේවය ඇතුළු අනතුරුදායක රැකියාවල යෙදවීම සපුරා තහනම් කිරීමට හැකි වන පරිදි දැනට පවතින නීතිමය විධිවිධාන දැඩි කිරීමට අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (25) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.
ඇතැම් ළමුන් විවිධ හේතූන් මත කුමන හෝ රැකියාවක් කිරීමට පෙළඹී ඇති බව, තමාගේ මව හෝ පියා සමඟ, එසේ නොමැති නම් මිනිස් වෙළෙඳාමේ ගොදුරක් ලෙස “වීදි දරුවෙකු” බවට පත් වී දෙමාපියන් නොවන අයෙකු සමඟ පොදු ස්ථාන ආශ්‍රිතව සිඟමනේ යෙදෙන බව සහ නොයෙක් දේ අළෙවි කරන බව හඳුනාගනු ලැබ ඇතැයිද පැවසුවේය.
ඉහත සදහන් කළ ආකාරයේ අනතුරුදායක රැකියාව වල ළමුන් යෙදවීමට එරෙහිව අදාළ බලධාරින් මඟින් නීති දැඩි ලෙස ක්‍රියාත්මක කිරීමටත්, ඒ පිළිබඳව පුළුල් ප්‍රචාරණ වැඩපිළිවෙලක් මඟින් මහජනතාව දැනුම්වත් කිරීමටත් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යවරිය අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය හිමිවූ බවද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

