නිශ්මං රණසිංහ ජූලි 13, කොළඹ LNW:
මම කොළඹ ඉදලා රත්නපුරට සේන්දු වෙලා තිරිවානකැටිය,පනගම,දෙමටකැටිය,දෙමනගම්මන සිට දුරෙක්කන්ද ට ආපු ගමනෙ වැඩි මතක රැඳිලා තියෙන්නෙ දුරෙක්කන්දෙ.ඒ ගෙදර ඉද්දි කුඩා කාලයෙ විතරක් නෙමෙයි අවුරුදු 15 – 16 දිත් මම ආස කරපු දෙයක් තමයි මොර සූරන වැසිවලදි ගෙයි ඉඩම මායිමේ තියෙන කාණුව උතුරලා ගලා හැලෙන හැටි බලාගෙන ඉන්න එක.ඒවා කොයි තැනකවත් රැඳිලා උතුරන්නෙ නැහැ.සමහර විට බෑවුම නිසා වෙන්න ඇති.හැබැයි ඒ වගෙම ඒ කාණු එක එක දේවල්වලින් පුරවන්නෙ නැති හොඳ පුරුද්දත් ඒකට බලපාන්න ඇති.
ඒවා විශාල ඉඩ නිසා ඉබේ වෙච්චි දේවල්.ඒත් කොළඹට ආවම මේවා වෙනස්.ඒ ඉඩම වගෙ තැනක ගෙවල් 200 – 300 ක් තියෙන්න පුළුවන්.දැන් ඉන්නෙ ඒ ජාතියෙම නිවසක.ඒක ළඟම තියෙන්නෙ කාණුවක් විතර ඇලක්.රත්නපුරේ කාණුවට වෙන් වෙලා තිබුණ ඉඩ වගෙ ප්‍රමාණයක තමයි මේකෙ වතුර තියෙන්නෙ.ඇලේ පළලට හරියන්න වතුර පිරෙන්න වහින්න ඕනි.වහිනකං ඇල ළඟම ඉන්න අපි ඉන්නෙ බයෙන්.මොකද කන යෝගට් කෝප්පෙ,කඩන සැමන් ටින් එකේ ඉදලා දේවල් කොච්චර එපා කිව්වත් මිනිස්සු විශාල ප්‍රමාණයක් මේ ඇලට විසි කරලා යන එක සාමාන්‍ය දෙයක්.
සුමානයකට සැරයක් කුණු එකතු කරන්න එන වාහනයට දෙන්න පුළුවන්කම තියෙද්දි ඒ ගෙවල් පිරිසිදුව තියා ගන්න මේ දේවල් ඇලට දාන එක හුඟ දෙනෙක්ගෙ ක්‍රමය.මේ විදිහෙ අවිචාර හැසිරීම් නිසා තමයි කොළඹ පාරවල් හැම වෙලේම වැස්සට උතුරන්නෙ.ගලන ගංවතුරක් නෙමෙයි උතුරන්නෙ කාණු.
මේ ගැන මේ ලියන මං වගේම කම්පාවෙන හූල්ලන මිනිස්සු ලක්ෂ ගණනක් අතරින් එහෙම කුණ හිර වෙලා වතුර නවතින්නෙ නැතුව ගලන ක්‍රමයක් සහිත කාණුවක් ගැන හිතන්නෙ කවුද?ඊයෙ ලෝකය ඉදිරියේ ලංකාව අභිමානයට පත් කරමින් එහෙම හිතපු සිතුවිල්ලක්,සිතුවිල්ලක් පමණක් නොවී වැඩ පිළිවෙලක් වි සම්මානයට පාත්‍ර වෙනවා.ඒ ස්විට්ස්ර්ලන්තයේ දි.ස්මාර්ට් කාණු පද්ධතිය ගැන ඒ අදහස එන්නෙ සහ එය තවත් කණ්ඩායමක් සමඟ පොළවෙ යථාර්තයක් කරන වැඩේ කරන්නෙ ආචාර්ය නදීශා චන්ද්‍රසේන.
ලංකාවෙ සමහර පෞද්ගලික අංශ මේ වන විට මේ වැඩේ ක්‍රියාත්මක කරලා තියෙනවා.ලෝකය පුරා ඉල්ලුමක් ඇති වෙමින් තියෙනවා.ලංකාවෙ නව උත්පාදනවලදිනම් මේ වැඩේ සළකා බැලුවෙවත් නැහැ.ඒත් නදීශා මාරයි වෙන්නෙ මේ සළකා බලන්නෙ නැති රට තමන්ගෙ කියන එක ඇයගේ පපුවෙ,ඔළුවෙ හැම තැනම කෙටිලා රැඳිලා තියෙන නිසයි.
මිනිසුන්ගේ නරක චර්යාව රැක ගැනීම නෙමෙයි නදීශාගෙ අරමුණ.මිනිසුන්ට යහපතක් සහ සමාජයට යහපතක් වන විදිහට පරිසර පද්ධතිය කළමණාකරණයට සිය විෂය දැණුමෙන් සම්බන්ධ වීම.නදීහාගේ වැදගත්ම දේ මේ පොළව ගැන ආදරයෙන් සිතීම.එහි ජීවත්වන මිනිස්සුන්ට උපකාර කිරීමට හැකි මාර්ග සෙවීමට වෙහෙසවීම.ඒ සඳහා ඇය වටා රොඳ බැඳ ගත් ආදරණීය මිනිසුන් කණ්ඩායමක ආශිර්වාදය ලබා ගන්නට සමත් වීම.

ඇයගේ නව නිර්මාණය ශ්‍රී ලංකාව එතරම් ගණන් නොගැනීම ගැන ඇයට කිසිඳු අහිතක් රට සම්බන්ධයෙන් නැහැ.සමහර විට ඒ තීරණ ගන්න තැන්වල ජාතික වටිනාකම් නොසළකා හරින විට නදීශා අඩිය පස්සට ගන්නෙත් නැහැ.නදීශා දැනට ඔස්ට්‍රේලියාවේ විශිව විද්‍යාලයක ආචාර්යවරියක ලෙස කටයුතු කරන අතර සමාජජාලා හරහා හදාගත්තු අත්තටු හැම රටකටම විහිදුවා ඇය හොයන්නේ මේ රටේ කාට හෝ ලෝකයේ ඉහළ නඟින්නට හැකි මඟක් සැකසී ඇද්ද යන්නයි.
‘අයියෙ අර නව නිර්මාණය දිනපු ළමයා ගැන තොරතුරු හොයලා දෙනවද?‘
නදීශාගෙන් මේ වගේ දුරකතන ඇමතුම් ඇයව හදුනන බොහෝ දෙනෙකුට ලැබෙනවා.ඒ මේ රටට තවත් වැදගත් පුරවැසියෙක් සකස් කරන්න.ඒ විදිහට විදේශ විශ්ව විද්‍යාලවල අධ්‍යාපනික පහසුකම් ශිෂ්‍යත්ව සකසා දීම වගේම දැණුමට හරියන වෘත්තිමය පසුබිමක් සකස් කර දෙන්නද නදීශාගේ ජාලගත මිත්‍රත්වය හරහා කරන සේවය අති විශිෂ්ඨයි සහ විශාලයි.
ඉහළ ආර්ථිකයක් නොතිබුණු පවුලක,දාහක් අපහසුතා මැද,ප්‍රතිපත්තිමය දේශපාලනය සම්බන්ධයෙන් සිය තාත්තාගෙන් ලැබුණු ආදර්ශයන් සමඟ වැඩෙන නදීශා මේ තරම් දුරක් ආවෙ මේ රටේ නිදහස් අධ්‍යාපනය ඇයට අත්වැලක් වූ නිසා.මේ ආචාර්ය උපාධිය දක්වා ඇය පෞද්ගලිකව උගත්තේනම් එය ඇයගේ පවුලට ඔරොත්තු නොදී අතරමඟ නැවතී යන්නටත් තිබුණා.ඒ වගෙම තමන් හොඳ සෞඛ්‍ය සම්පන්න චරිතයක් කරන්නට දායක වුණ ලංකාවේ නිදහස් සෞඛය සේවයත් කිසි විටෙක අත හැර දමන්නට බැහැ.
මේ වන විට මේ පොළව මත නොව ලෝකය මතම සිය මුද්‍රාව තබා අවසන් නදීශාගේ ස්මාර්ට් කාණුව ගැන ලෝකය කෙතරම් ඉහළින් සිතනවාද යන්න කදිම උදාහරණය මේ දිනවල සමාජ මාධය පුරවමින් වන ඇය සම්බන්ධ වාර්තාකරණයයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂිත ආයතනයක්. World Intellectual Property Organization නැතිනම් සිංහලෙන් ලෝක බුද්ධිමය දේපල පිලිබඳව ජාත්‍යන්තර සංවිධානය WIPO ජාත්‍යන්තර සම්මාන උලෙළේදි the Environment Start ups කැටගරි එකෙන් පලමු ස්ථානය දිනාගැනීම ඒ කතාවලට මෙන්ම නදීශා ගැන ලියැවෙන මේ සටහනටත් අදාළයි. මේ සම්මානය බුද්ධිමය දේපල පිලිබඳව නොබෙල් ත්‍යාගය විදිහට හදුන්වන තරමට ඒ සම්බන්ධයෙන් පිරිනමන ඉහළම සම්මානය වෙනවා.
මේ වැඩේ රටක් විදිහට සමරන්න ඕනි ජයග්‍රහණයක්.හරිනම් ඇයව පිළිගන්න කටුනායක ඉදලා තොරන් වඳින්න ඕනි වුණත් ඇය තොරණක කොටුවක් වෙනවට වඩා කැමති අනුන්ව විදුලි බල්බ මැද තබා දිදුලවන්නයි.අනුන්ව දීප්තිමත් කරන තොරණවල් හදන්නයි.
ඇය මහ පොළවෙ ජීවත්වන මිනිසුන්ගෙ බර අඩු කරන්න වෙහෙසෙන මහා පොළවට බරක් නැති අන්තිම සරල කෙල්ලක්.එහෙම කිව්වට ඇය ආදරණිය මවක්.ජීවිතයේ නිසි කාලයට කිසි දෙයක් අත හැර නොගන්න වැඩ කිහිපයක එක වර එක විදිහට සාර්ථක වෙන්න අවශ්‍යය කැපවීම සහ ශක්තිය තියෙන කාන්තාවක්.වරෙක ඇය ලක්බිම විශේෂාංග ලේඛිකාවක්.තවත් අවස්ථාවක උසස් හමුදා නිලධාරීනියක්.කලා අංශයෙන් උසස් පෙළ කරලා මොරටුව විශ්ව විද්‍යාලයෙන් ඉංජිනේරු විෂය පදනම් කර ගත් උපාධියක හිමිකාරියක් වෙමින් ඇය මේ ගමන යන්නෙ හිතේ බර වගේම ඇගෙත් දරු පැටව් පටලවගෙන.

ඒ අස්සෙ අන්තිම සරල විදිහට තමන්ගෙ ජීවිතයෙ ප්‍රේම කතා ඇතුළු සියලු සුඛ දුක්ඛ අපූරුවට සිය ෆේස්බුක් පිටුවල අතුරන නිහතමානී ලියන්නියක් ද වෙනවා.ඇයට ෆෙස්බුක්වල ලියන සැමට ලියන්නියන් යැයි වෘත්තිමය ආකාරයට හඳුන්වන්න අපහසු වුවත්,නදීශා චන්ද්‍රෙස්න කියන්නෙ රහට ලියන්නියක්.ජීවිතය පෙනෙන පැත්තේ සිට එපිටට නොපෙනෙන පැති දක්වා බලන්නට පුළුවන් පරිකල්පනයක් වගේම බුද්ධියක් දැක්මක් තියෙන සරලම සරල,ඒ තරමටම බර ගැහැණියක්.ඒ ලිවීමේ රටාවේ පොහොසත්කම රැදුණු පරෙයි රජා’ දොරට වැඩුම ජූලි 20වැනිදා සවස 4.00ට මහවැලි කේන්ද්‍රයේදී සිඳුවීමට නියමිතව තිබෙනවා.මේ රටට ආඩම්බරය ගෙනෙන නිහතමානී ගැහැණිය එදාට ඔබට හමුවන්න වගේම විශේෂ වට්ටම් මිලකට ඇයගේ පරෙයි රජා ව රැඟෙන යන්නටත් පුළුවන්.වැඩිහිටියෙක්නම් එදාට ඒ පොතත් රැඟෙන දරුවන්ට පොතේ කතා කියවන අතරම ඔබ අසාගෙන යන ඇඟේ කතාවත් දරුවන්ට කිව යුතුමයි.ඒ ජීවිතයට ඒ තරම් ප්‍රායෝගිකව ජයග්‍රහණයේ පාඩම් කියවා ගන්න ලැබෙන අවස්ථාවන් අඩු නිසයි.
මේ සියල්ල අස්සෙ මේ ජයග්‍රහණ පිටුපස සිටින කාවඹය ආත්මය ද සිහිපත් කළ යුකුමයි.ජීවිතය බෙදා ගැනීම පිණිස ඇය වැඩ කිරීමේ සැහැල්ලුව ඇති කිරීම සඳහා වෙහෙසෙන සොඳුරු මිනිසෙක් සිටිනවා.දරු තිදෙනෙකුගේ පියෙක් සහ මවක් හැටියට නදීශා සහ ඔහු ගත කරන ජීවිතයත් ස්මාර්ට් ජීවිතයක්.ඒකත් ආදරේ පිරුණු ආදර්ශයක්.බර්ටි ලොකුලියනනම් වූ ඔහුටත් මේ මහා කාන්තාව දරා සිටින පුරුෂයා වීම ගැන ගෞරවය පුද කළ යුතුමයි.

නදීශා ඔබ රටෙන් ඇයට ලැබුණු දේ පැළදි වස්ත්‍රයට මුසු කර ලෝකය ඉදිරියේ කියා පෑම රටක දේශපාලන නායකයන්ටවත් මේ රටේ අධ්‍යාපනය ගැන සෞඛ්‍යය ගැන කියා ගන්න බැරි තරම් සුවිශාල පාඩමක්.තානාපති සේවයක්.ලංකාවට මේ රතම් ගෞරවණීය චරිත නිරෝගී සම්පන්නව සමාජයට ඉදිරිපත් කළ හැකි ගෞරවණීය නිදහස් අධ්‍යාපනයක් සහ නිදහස් සෞඛ්‍ය සේවයක් වසර 70 ට එහා ඉතිහාසය තුළ පවතින බව මේ රටෙන් ලෝකයට ගිය කිසිවෙකුට කිව නොහැකි වූ පරිදි ලෝකය ඉදිරියේ නිර්මාණශීලීව,එයින් ආලෝකය ලද බුද්ධිමත් උගත් කාන්තාවක ලෙස නදීශා කියා අවසන්ය.ඇය රටක් වටින සහ ලෝකයට ලංකාව ලෙස ඉදිරිපත් කරන්නට කිසි විටෙක පැකිලෙන්නට අවශ්‍යය ජාතික සම්පතකි.
