සටහන – රුවන් නෙළුගොල්ල
තමන්ට දැනට ලැබී ඇති තොරතුරු අනුව ඩඩ්ලි සිරිසේන මහතාට අයත් සුදු අරලිය හෝටලය පිහිටා ඇත්තේ පොලොන්නරුවේ පරාක්‍රම සමුද්‍රයට අයත් ඉඩමක නොවන බවත් ඒ අනුව ඇතැමුන් විවිධ අපහාස උපහාස කළත් එම හෝටලය ඉවත් කිරීමට රජයට වුවමනාවක් නොමැති බවත් කෘෂිකර්ම, පශූ සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා පවසයි.
“ඔන්න අපි ගිහිල්ලා වැව් ප්‍රතිසංස්කරණ වැඩේ පටන් ගත්ත ගමන්, වැවෙන් ඔක්කොම අයින් කරන්න කියපු ගමන් – අනුරාධපුරෙන් අපි පටන් ගත්තා වැඩේ – ඔන්න පටන් ගන්නවා ‘හා, පුළුවන් නම් ගිහිල්ලා ඩඩ්ලිගෙ එක අයින් කරපල්ලා පොලොන්නරුවෙ’ කියලා. ඩඩ්ලිගෙ එක අපි හරියට බලන්නම් පොලොන්නරුවෙ වැවේ ඒ වැඩේ කරන වෙලාවට. අපිට ඩඩ්ලි නෙවෙයි මොකාහරි කමක් නෑ, ඒක වෙනම කතාවක්. ඒක හැබැයි අපි එතකොට අරගන්නම්. එතකොට එතුමාම අපි හිතනවා අනවසර ප්‍රමාණයක් අල්ලාගෙන ඉන්නවා නම් රටේ නීතිය හරියට ක්‍රියාත්මක වෙනකොට යයි, යන්න වෙනවා. එයා වගේ කෙනෙකුට නොගිහින් ඉන්නත් බෑ. මම කියන්නෙ ප්‍රෙස් එකක් තියලා හරිනම් ඩඩ්ලි මහත්තයා කියන්න ඕනෙ ‘මගේ හෝටලේ වාරිමාර්ගයට අයිති ප්‍රමාණයක් තියෙනවා නම් මම දීලා අයින් වෙනවා. යනකල් ඉන්නෙ නෑ, කිය කිය ඉන්න ඕනෙ නෑ, මම අයින් වෙනවා’ කියලා. දැන් අපිට කියනවා හදන්න ලු රට. හැබැයි වැඩේට බැස්සාම කියනවා ‘මේ අපිට අත තියන්න එපා ඈ …’ කියලා.
ඩඩ්ලි මහත්තාගෙ නම කියපු නිසා කියන්න ඕනෙ, එතුමාගෙ හෝටලය දැනට මට තියෙන තොරතුරු අනුව එතුමා යම් කාලෙක සංචාරක මණ්ඩලයෙන් තමයි අරගෙන තියෙන්නෙ බදු පදනමට. හැබැයි වැවට අයිති භූමියෙනුත් වැටක් ගහලා කොටසක් තියාගෙන ඉන්නවා දැන් මේ මොනවා මොනවාහරි කරගන්න. අඩියක් ගහන්න කියන්නකො. දැනට වාර්තා වෙන විදියට අයින් කරනවා නම් අපිට අයින් කරන්න තියෙද්දී හෝටලේ තියෙද්දී වැඩිපුර වැවෙන් අල්ලාගත්ත කෑල්ලෙ වැට ගලවන්න විතරයි. මට මැප් එක එවලා තියෙනවා. ඒ එවපු මැප් එකට අනුව හෝටලය තියෙන කෑල්ල වාරිමාර්ගයට අයිති එකක් නෙවෙයි. වැරදි නම් නිවැරදි කරන්න පුළුවන්. ඩඩ්ලි මහත්තයාටත් පුළුවන් – පහුගිය දවස්වල ඕස්ට්‍රේලියාවෙද කොහෙද හිටියෙ, ආවාද මම දන්නෙ නෑ – හරි නම් ප්‍රෙස් එකක් තියලා කියන්න ඕනෙ”
කේ. ඩී. ලාල්කාන්ත මහතා මේ බව පැවසුවේ ඊයේ (26) සියඹලාණ්ඩුව ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමිනි.
