කොළඹ LNW: අපරාධවලට ගොදුරු වූ දරුවන් අධිකරණ පද්ධතිය තුළදී අපරාධකරු හමුවේ යළි යළිත් නිරාවරණය වීම වැළැක්වීමට කටයුතු යොදා ඇතැයි කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ් මහත්මිය පැවසීය.
වින්දිතභාවයට ලක්වන දරුවෙකු අධිකරණයේදී ලබා දෙන සාක්ෂිය මත දරුවාට යුක්තිය ඉටු වෙනවාද? නැත්නම් අපරාධකරු නිදහස් වෙනවාද? යන්න තීරණය වන බැවින් දරුවා ලබා දෙන සාක්ෂි පීඩයකින් තොරව වඩාත් සාර්ථකව ලබා ගැනීම සඳහා රජය මෙම තිරණයට එළැඹ ඇතැයි අමාත්‍යවරිය සඳහන් කළාය.
ප්‍රචණ්ඩත්වයට ගොදුරුවූ දරුවන්ගේ සාක්ෂි සටහන් කර ගැනීම සඳහා අධිකරණ පද්ධති තුළ වීඩියෝ තාක්ෂණයෙන් සමන්විත ඒකක ස්ථාපිත කිරීමේ දීප ව්‍යාප්ත වැඩසටහනට සමගාමීව මහනුවර අධිකරණ සංකීර්ණයේ නව ඒකකය විවාත කිරීම නිමිත්තෙන් ඊයේ (17) පැවැති සමාරම්භක උත්සවයට සහභාගීවෙමින් අමාත්‍යවරිය මෙම අදහස් පළ කළාය.
මහනුවර අධිකරණ සංකීර්ණයේ අධිකරණ ශාලාවට ආසන්නයෙන් ළමා හිතකාමීව සකස් කරන ලද ආරක්ෂිත ඒකකයක් තුළ දී දරුවන්ගෙන් සාක්ෂි විමසීම දුරස්ථ කැමරා ආධාරයෙන් සිදුවේ. දරුවන්ගේ මුහුණු නිරාවරණය නොවී සාක්ෂි විමසීම සිදුවන අතර දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන්ට අමතරව පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තු නිලධාරීන් ද එහි රාජකාරී සඳහා යෙදවීම මෙහිදී සිදුවේ.
මහනුවර අධිකරණ සංකීර්ණයෙන් ආරම්භ කරන ලද ළමා සාක්ෂි ලබා ගැනීමේ කාමර ස්ථාපිත කිරීම දීප ව්‍යාප්තව සිදු කරන බවත් එහි පළමු අදියර යටතේ අධිකරණ 15ක් තුළ ළමා සාක්ෂි පටිගත කිරීමේ ඒකක ස්ථාපිත කරන බව ද අමාත්‍යවරිය සඳහන් කළාය.
දරුවන්ට යුක්තිය ඉටු කිරීමේදී අදාල සියලු නිලධාරීන් ඒකාබද්ධ වීම සහ ඒ සඳහා වන යාන්ත්‍රණය කඩිනම් කොට නඩු ප්‍රමාදවීම වළක්වා ගැනීමට කටයුතු කරන බව ද අමාත්‍යවරිය සඳහන් කළාය. කුඩා කාලයේදී යම් අපරාධයකට ගොදුරුවන දරුවා, අවස්ථා ගණනාවකදී සාක්ෂි විමසීම හේතුවෙන් දැඩි පීඩාවට ලක් වන බවත් පැවති ක්‍රමය අනුව සාක්ෂි විමසීම වැඩි කාලයක් ගත වන දීර්ඝ ක්‍රියාවලියක් බවට පත්ව ඇතැයි ද ඇය කීවාය.
නිදහස් සුවපහසු පරිසරයක් තුළ සිට සාක්ෂි ලබාදීමට හැකිවීම තුළින් සාධාරණයක් ඉටු වන බවත් ඉදිරියේදී එළැඹෙන ලෝක ළමා දිනයේදී දරුවන් වෙනුවෙන් ලබාදුන් යහපත්ම තීරණය වන්නේ අපරාධකරුවන් හමුවේ දරුවන් ආරක්ෂා කර ගැනීම යැයි ද අමාත්‍යවරිය සඳහන් කළාය.
මත්ද්‍රව්‍යවලට දරුවන් ඇබ්බැහිවීම වළක්වා ගත යුතු බව පෙන්වා දුන් අමාත්‍යවරිය අඩු ආදායම්ලාභී අනාරක්ෂිත පවුල්වල දරුවන් වැඩි වශයෙන් මතට ගොදුරු වන බවත් ඔවුන් මුදා ගැනීම රජයේ ප්‍රධාන අපේක්ෂාවක් වන බව ද කීවාය. අඩු ආදායම්ලාභී දරුවන්ට පාසල් උපකරණ මිලදී ගැනීම සඳහා රුපියල් 6000ක දීමනාවක් ලබා දෙන බව ද අමාත්‍යවරිය ප්‍රකාශ කළාය.
ශාරීරික දණ්ඩනය අහෝසි කිරීම සඳහා වන පනත නුදුරේදීම සංශෝධනය කරන බව ද ඇය තවදුරටත් සඳහන් කළාය.
මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී.එස්.අභයකෝන්, මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාරී ජයසිංහ, ඇටර්නි ජනරාල් පාලිත ද රණසිංහ, පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, යුනිසෙෆ් සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත එමා බ්‍රිගම් යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.
නදීක දයා බණ්ඩාර – මහනුවර
