ලෝකය පෙරළෙයි කාලෙ ගෙවීයයි මරුවා ළඟාවෙනවා. මම කාටවත් වෛර කරන්නේ, පළිගන්නේ නෑ – මර්වින් සිල්වා

0
236

තමන් බුද්ධ වංශයේ කෙනෙකු වශයෙන් කිසිවෙකුට වෛර කිරීමට හෝ කිසිවෙකුගෙන් පළිගැනීමට හෝ නොයන බව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා පවසයි.

ප්‍රශ්නය – ඔබතුමාට යන්න හිතුණෙ නැද්ද වසන්ත සමරසිංහට විරුද්ධව අල්ලස් කොමිසමට ?

“මගේ වංශය බුද්ධ වංශය. වෙන කුල නෑ මට. බුද්ධ වංශයේ කෙනෙක් හැටියට මම කාටවත් වෛර කරන්නේ, පළිගන්නෙ මොනවත් නෑ. අර පරණ සිංදුවක් තියෙනවානෙ ‘ලෝකය පෙරළෙයි කාලෙ ගෙවීයයි මරුවා ළඟාවෙනවා’. අපි මේ පස් ගොඩක්. අපි පස් ගොඩක්. ඉතින් පස් ගොඩක් වෙච්ච අපි ඇයි එකිනෙකාට විරුද්ධව වෛර කරලා, ක්‍රෝධ කරලා, පළිගැනීම් කරලා, මේ ඉන්න සුළු කාලය තුළ, තත්පර ගාණක කාලය තුළ ඇයි අපි ව්‍යවසනයට පත්වෙන්නෙ ? ව්‍යසන ඇතිකරන්නෙ ? මගේ එහෙම බලාපොරොත්තුවක් නැහැ”

ප්‍රශ්නය – ඒ කාලෙ ඔබතුමාට ඔහොම හිතුණෙ නැද්ද ?

“මට හැමදාම හිතුණ නිසා තමයි යුක්තිය සාධාරණත්වය වෙනුවෙන් මම සටන් කළේ. අයුක්තිය අසාධාරණයට විරුද්ධව ඒකයි මම වැඩකරලා තියෙන්නෙ”

මර්වින් සිල්වා හිටපු අමාත්‍යවරයා මේ බව පැවසුවේ අයථා වත්කම් ඉපයීම සම්බන්ධයෙන් ගොනුකර ඇති නඩුවට පෙනී සිටීම සඳහා ඊයේ (24) කොළඹ මහාධිකරණය වෙත පැමිණීමෙන් අනතුරුව පිටව යන අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

2010 වසරේ සිට 2012 වසර දක්වා කාලසීමාව තුළ අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින් සිය නීත්‍යානුකූල ආදායම අභිබවා රුපියල් මිලියන 150කට ආසන්න වටිනාකමකින් යුත් වත්කම් සහ දේපොළ අයථා ලෙස අත්පත් කර ගැනීම තුළින් දූෂණ විරෝධී පනත යටතේ වරදක් සිදුකළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් මර්වින් සිල්වාට එරෙහිව ගොනුකර ඇති මෙම නඩුව 2025 නොවැම්බර් 17 වනදා සිට විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය ඊයේ දින නියම කළේය.