රෂිකා හෙන්නායක සැප්තැම්බර් 28 කොළඹ LNW :
ලංකාවේ විදුලි ජනනය සඳහා අවශ්‍ය ගල් අඟුරු ආනයනය කිරීමේ ටෙන්ඩරය සුදුසුකම් නැති සමාගමකට ලබාදීමෙන් බරපතළ දූෂණයකට පාර කැපි ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි. “උත්තරය අපි” නමින් පොළොන්නරුව, බැඳිවැව, සුජා හෝටල් ශාලාවේ පැවති සැප්තැම්බර් 28 දින පැවති සම්මන්ත්‍රණයකදී පෙ.ස.ප. අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මෙලෙස අදහස් ප්‍රකාශ කළේය.
“පසුගියදා සැප්තැම්බර් 15 වැනිදා විදුලි ජනනයට අදාල ගල් අඟුරු සැපයිමේ ටෙන්ඩරය විවෘත කලා ටෙන්ඩරය අවම ලංසුව ඉදිරිපත් කළ Trident Chemphar නම් සමාගමට හිමිවුණා. මෙහි ප්‍රශ්න ගණනාවක් උද්ගත වෙනවා. ඒ ටෙන්ඩරය මේ සමාගමටම දීමේ අරමුණෙන් ප්‍රසම්පාදන මාර්ගෝපදේශ උල්ලංඝනය කලාද කියන සැකය මතුවන නිසා.
මේ මගේ අතේ තිබෙන 2021 දී ලංකා ගල් අඟුරු ලියාපදිංචි කිරීමේ ලේඛනයට අනුව ගල් අඟුරු සඳහා අවම සුදුසුකම් නිර්ණායක ලෙස GCV 5900 kCal/kg ප්‍රමිතිය සහිත ගල් අඟුරු අවම වශයෙන් මෙට්‍රික් ටොන් 1,000,000 (මිලියනයක) වත් ගල් අඟුරු සංචිතයක් තිබෙන සමාගම් පමණයි ලියාපදිංචි කරන්නේ. නමුත් මේ තිබෙන 2025 ලියාපදිංචි ලේඛනයට අනුව අවම සුදුසුකම් නිර්ණායකය මෙට්‍රික් ටොන් 100,000 ක සංචිත තිබිය යුතුයි ලෙස වෙනස් කරලා. ඒ කියන්නේ මේ සමාගමට ලියාපදිංචිය දීලා තියෙන්නේ සුදුසුකම් නිර්ණායකය මෙට්‍රික් ටොන් මිලියන 1 සිට මෙට්‍රික් ටොන් 100,000 දක්වා 90%කින් අඩු කරලා. මේක පැහැදිලිව සැක සහිතයි.
අනෙක මේ Trident Chemphar සමාගමේ නම සමග දූෂණ චෝදනා බැඳී තිබෙනවා. මෙම සමාගම 2014 දී සතොසට සහල් මෙට්‍රික් ටොන් 30,000ක් සැපයීමේදී රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ උල්ලංඝනය කර ඇති බව 2016/09/20 දින රාජ්‍ය ව්‍යවසාය කාරක සභාවට ඉදිරිපත් කරන ලද විගණකාධිපති වාර්තාවේ 168 පිටුවේ සඳහන් වෙනවා.
ඒ විතරක් නෙවෙයි, Trident Chemphar සමාගමේ හිමිකරුවෙකු වන සරත් චන්ද්‍ර රෙඩ්ඩිව 2022 දී නවදිල්ලියේ සුරා බදු වංචාවක් හරහා මුදල් විශුද්ධකරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්තා. මේ තියෙන්නේ ඒ ගැන ප්‍රවෘත්ති.
හිමිකරුවාට අමතරව Trident Chemphar හි දේශීය නියෝජිතයා වන සරත් බණ්ඩාර ජයසුන්දරටත් දූෂණ චෝදනා තිබෙනවා. ක්‍රිකට් කුසලතා විශ්ලේෂකයෙකු ලෙස වෘත්තියේ නිරතවූ ඔහුට තරඟ පාවදීමේ චෝදනා මත.2019 සිට වසර 7ක තරඟ තහනමක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් පනවා ඇති බවට ප්‍රවෘත්ති තිබෙනවා.
පෙනෙන ආකාරයට ප්‍රසම්පාදන මාර්ගෝපදේශ පවා වෙනස් කරමින් මේ ආණ්ඩුව යටතේ ගල් අඟුරු ටෙන්ඩරය ලබාදුන් සමාගමට, එහි හිමිකරුවන්ට සහ දේශිය නියෝජිතයාට පවා දූෂණ චෝදනා තිබෙනවා. ලංකාවේ වංචා හා දූෂණ සිදු කරන්නේ දේශපාලඥයන් – ඉහළ පෙළ රාජ්‍ය නිලධාරීන් – ජාවාරම්කාර ව්‍යාපාරික වළල්ලක් යන තුන් කට්ටුව එකතු වුණු ජාලයකින්. දූෂණ විරෝධයේ නමින් අවධානය යොමු කලේ දේශපාලඥයන්ට පමණයි. දැන් දේශපාලඥයන් නැතිව ජාලය ක්‍රියාත්මක වෙනවා. ලංකා විදුලි බල මණ්ඩලය මස් කර – විකුණන පනතට එරෙහිව සේවකයන් අරගල කරන විට විදුලි බල සැපයුම අත්‍යවශ්‍ය සේවාවක් ලෙස නම් කර ජනාධිපතිවරයා ගැසට් නිවේදනයක් නිකුත් කළා.
නමුත් වෙනදා මාර්තු මාසයේදී කැඳවන ගල් අඟුරු ආනයන ටෙන්ඩරය ජුලි මාසය දක්වා ප්‍රමාද වෙනකොට විදුලිය අත්‍යවශ්‍ය සේවාවක් කියලා මතක් වුණේ නෑ. ප්‍රසම්පාදන මාර්ගෝපදේශ වල සමාගමක් සතු අවම ගල් අඟුරු ආරක්ෂණ සංචිත ප්‍රමාණය 90%කින් පහත දමනවිට විදුලිය අත්‍යවශ්‍ය සේවාවක් බව මතක් වුණේ නෑ. සාමාන්‍ය ජනතාව සහ සුළු නිෂ්පාදකයන් ජාතික විදුලි බල සැපයුමට දායකවූ වහල මත සූර්‍ය පැනල අධෛර්යමත් කරන තීරණ ගන්නා විටත් ඒ අත්‍යවශ්‍ය බව මතක් වුණේ නෑ. ජනතාවට දරා ගන්න බැරි ලෙස දිගින් දිගටම විදුලි ගාස්තු අසීමාන්තිකව ඉහළ නංවන විටත් එය ජන ජීවිත පවත්වාගෙන යාමේදී අත්‍යවශ්‍ය සේවාවක් බව අමතක වෙනවා. මේ ආණ්ඩුව පෙනී සිටින්නේ කවුරු වෙනුවෙන්ද කියලා සිතා ගන්න මේ ටෙන්ඩර් හුටපටය පමණක් වුණත් ප්‍රමාණවත්.