සාමය සංහිඳියාව වර්ධනය වී සෞභාග්‍ය සම්පන්න රටක් උදා වේවා ! – නව රාත්‍රී උත්සවය සමරමින් විපක්ෂ නායක සජිත් කියයි

0
109

සටහන – රුවන් නෙළුගොල්ල

නව රාත්‍රී උත්සවය සමරණ මේ මොහොතේ විපක්ෂ නායකවරයා ලෙස තමාගේ ප්‍රාර්ථනාව වන්නේ ජනතාවට සියලු සමෘද්ධි ලබා දෙන වඩාත් හොද අනාගතයක ආරම්භය සනිටුවහන් වන නව රාත්‍රි දිනයක් උදාවේවා කියා බවත් ශ්‍රී ලාංකික සියලු හින්දු බැතිමතුන්ට සුබ නව රාත්‍රී දිනයක් ප්‍රාර්ථනා කරමින් රට තුළ එක්සේසත් භාවය එකමුතුභාවය සහෝදරත්වය සාමය සංහිදියාව ජාතීන් හා ආගම් අතර ඇති පරස්පරතා සියල්ල දුරු වී සෞභාග්‍යය සම්පන්න රටක් උදා වේවා කියා ප්‍රාර්ථනා කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති නව රාත්‍රී උත්සවය හා එක්වෙමිනි.

හින්දු දේව දර්ශනයට අනුව සුර්යා කන්‍යා රාශියේ ගමන් කරන මාසයේ නව රාත්‍රී පුජා උත්සවය පවත්වන බවත් අඳුර ඉවත් කර ආලෝකය උදා කරන හින්දු ආගමික ජනතාවගේ උතුම් උත්සවයක් ලෙස හැදින්විය හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේම රාත්‍රී නවයක් පුරා ශක්තියේ ප්‍රතිමූර්තිය බඳු දුර්ගා මෑණියන්ගේ නව සොහොයුරියන්ට පූජා සත්කාර කරන බවත් සරස්වතී දෙවියන් අධ්‍යාපනයට, ලක්ෂ්මී දෙවියන් සෞභාග්‍යයට මුල පුරන මේ ආගමික සම්ප්‍රදාය වර්ණවත් නර්තන සමග සමරන බවත් දෙවියන් පිදීම සශ්‍රීකත්වය, සෞභාග්‍යය ප්‍රාර්ථනා කිරීම, අධ්‍යාපනය වෙනුවෙන් නව ආරම්භයක් ලබා ගැනීම යන පරමාර්ථ මුදුන් පමුණුවා ගැනීමට අස්වනු නෙළන කාලයේ මෙය පවත්වන බවත් මෙහි මුල් දින තුන කාලි මෑණියන් වෙනුවෙන් පුද පූජා පවත්වා බලය වෙනුවෙන් ඇයදීම කරනු ලබන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

හින්දු බැතිමතුන් මස් මාංශවලින් තොරව ආගමානුකූලව මේ දින නවය ගත කිරීම තුළ දෙවිවරුන්ගේ ආශිර්වාදය පිහිට ලබා ගැනීම හරහා රටටත් තමන්ටත් ජනතාවටත් සෞභාග්‍යය අපේක්ෂා කරන බවත් අඳුරු මාර්ගයක ඇති පහන් කණුව ඒ මාර්ගයට මග පෙන්වන්නා සේ මිනිස් ජීවිතයේ කරුණාව යන පහන මිනිස් ජීවිත සමෘද්ධිමත් කරන බවත් පැවසූ විපක්ෂ නායකවරයා නවරාත්‍රී උත්සවය කරුණාවේ පහන හෙවත් ආධ්‍යාත්මික ප්‍රඥාවේ ආලෝකය ලබා ගන්නා නිසා මෙය ජාතික සමගිය නිර්මාණය කරන බවත් අවධාරණය කළේය.

මෙහි දී පහන් දැල්වීම හරහා මෝහය සහ නොදැනුවත්කම නැමැති අඳුර දුරලා ප්‍රඥාව නැමැති ආලෝකය විහිදුවාලීම සිදු කරන බවත් අපේක්ෂාවෙන් පිරි පහනෙහි ආලෝකය ප්‍රජාවන් අතර සමගිය, සහයෝගය සහ සෞභාගය ඇති කර ජනතාව අතර බෙදීමක් ඇති කරන සෑම වෙනස්කමක්ම ඉවත් කරන මොහොතක් ලෙස නව රාත්‍රි උත්සවය සමරණ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.