ජනාධිපතිකමයි 159ක බහුතරයක් තිබුණට මොකද මිනිස්සු ප්‍රශ්න කියන්නේ මට – විපක්ෂ නායක

0
191

කොළඹ LNW:ආණ්ඩුවට ජනාධිපතිවරයා මෙන්ම 159ක බහුතරයක් තිබුණද ජනතාව ප්‍රශ්න කියන්නේ තමන්ට බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ගැටලුවට විසඳුම් සොයා ආණ්ඩුවට ඉතිහාසගත බලයක් දුන්නද ආණ්ඩුවෙන් විසඳුම් නැති තැනට පත්ව තිබෙන බවයි විපක්ෂ නායකයා සඳහන් කළේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ කලාවැව ආසනයේ කටියාව ප්‍රදේශයේ පැවැති ගමින් ගමට දොරින් දොරට විපක්ෂ නායක ජංගම සේවා වැඩසටහන සහ සමගි ජන බලවේගයේ සාමාජික ප්‍රවර්ධන වැඩසටහනක් සදහා එක්වෙමිනි.

වගාවට කෘෂිකර්මාන්තයට යොමු වූ ජනතාවක් කලාවැවේ සිටින බවත් ලංකාවේ පළමු ගොවි ජනපදය ආරම්භ වූ මේ භූමියේ සිටින ගොවියාට වත්මන් රජයෙන් ලැබෙන සහයෝගය ගැන සතුටුද කියා ප්‍රශ්න කරන බවත් හෙතෙම එහිදී විමසුවේය.

අද වන විට ගොවියාට හිමි බීජ, පොහොර, තෙල් ආදිය හරියට නොලැබෙන අතර පොහොර සහනාධාරය ලැබෙන්නේ වගා කටයුතු අවසන් වූ පසුව බවත් පොහොරවල ගුණාත්මකභාවයේ ගැටලු ඇති මොහොතක වන අලි මිනිස් ගැටුම ද ඇති බවත් මේවාට එක පෑන් පහරින් විසඳුම් දෙන බව පැවසුවද ඒ කිසිවක් නොවූ බවත් ප්‍රේමදාස මහතා කියාසිටියේය.

ලෝකයේ රටවල් කෘෂිකර්මාන්තයෙන් දියුණු වන විට මෙරට ලුම්පන් කල්ලි කෘෂිකර්මාන්තය අසාර්ථක යැයි පවසන නමුත් කෘෂිකර්මාන්තය සාර්ථක කරගැනීමට විපක්ෂයට කළ හැකි උපරිම මැදිහත්වීම සිදු කරන බවද විපක්ෂ නායකවරයා අවධාරණය කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ