‘‘භාරතයේ උපත ලැබුවේ නම් ඔහු එහිදී දෙවියකු වශයෙන් පුද ලබනු නිසැකය ”

0
208

‘‘භාරතයේ උපත ලැබුවේ නම් ඔහු එහිදී දෙවියකු වශයෙන් පුද ලබනු නිසැකය ” ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්වරයා වූ එම්.එස්. ආන් මහතා 1945 දී සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මහතාගේ සේවය අගයමින් පවසා තිබිණි.

“ගඩොලින් තනා තිබූ රෝමය කිරි ගරුඬින් නිම කළ බව ශ්‍රේෂ්ඨ ඔගස්ටස් අධිරාජ්‍යයා ආඩම්බරයෙන් පැවසුවා. මිල අධිකව තිබූ අධ්‍යාපනයේ මිල අඩු කළ බවත්, වසා තිබූ පොතක් විදිහට අපිට දිස් වුණු අධ්‍යාපනය විවෘත ලියවිල්ලක් බවට පත් කළ බවත්, ධනවත් අයට උරුමව තිබූ අධ්‍යාපනය දිළින්දන්ගේ උරුමයක් බවට පත් කරපු බවත් සාඩම්බරයෙන් පවසන්නට මේ රාජ්‍ය මන්ත්‍රණ සභාවට හැකි නම්, ඒ ආත්ම වර්ණනාව ඔගස්ටස් අධිරාජ්‍යයාගේ ආත්ම වර්ණනාවට වඩා කොයිතරම් ශ්‍රේෂ්ඨ ද? “

(හැන්සාඩ් වාර්තා 1944, පි‍ටුව.946)

නීතිඥ, ආචාර්ය. ක්‍රිස්ටෝපර් විලියම් විජේකොන් කන්නංගර
(සභාපති, අධ්‍යාපන කාරක සභාව)

1943 දී අධ්‍යාපන කාරක සභාව විසින් රාජ්‍ය මන්ත්‍රණ සභාව වෙත ඉදිරිපත් කළ නිර්දේශ මත, අධ්‍යපාන කාරක සභාවේ සභාපතිවරයා වූ සී.ඩබ්.ඩබ්. කන්නංගර මහතා විසින් අධ්‍යාපන ආඥා පනතට සංශෝධනයක් වශයෙන් නිදහස් අධ්‍යාපන යෝජනාවලිය 1944 මැයි මස 30 වැනි දින රාජ්‍ය මන්න්‍රතණ සභාව වෙත ඉදිරිපත් කරන ලදී.

“නොයෙනා හිරු රැස් සිඳු ගැබ පතුළට
අගනා මිණි කැට අදුරේම සැගෙවෙද
පිපෙනා කුසුමන් වනයෙහි නිම නැත
හමනා සුළෙඟින් වනෙයෙම පරවෙත”

එතුමා නිදහස් අධ්‍යාපන යෝජනාවලිය ඉදිරිපත් කරමින් සිය දීර්ඝ කතාව ආරම්භ කරන්නේ තෝමස් ග්‍රෙරේ නම් වූ ප්‍රසිද්ධ කවියාගෙ කවියකින්.

“විකසිත කුසුම් වියළි කතරේ වාතයෙන් මැල වී සුවඳ අහිමි වී යන ඈත පිටිසර දිළිඳු ගොවි පවුලේ පොල් අතු සෙවණේ ඉපැදී බුද්ධියේ හා භාග්‍යයේ එළිය නොලබා නිවී යන අනාගත දරු පරපුර වෙනුවෙන් නිදහස් අධ්‍යාපන ක්‍රමයක් බිහි කළ යුතු යි.”

ලංකා ඉතිහාසයේ ව්‍යවස්ථාදායකය විසින් පනවන ලද ප්‍රගතිශීලීම පනත බලාත්මක වී අදට අසූ වසරක් සපිරෙයි. නිදහස් අධ්‍යාපනයේ අග්‍ර ඵල ලබන සරසවි සිසුන් ලෙනින්ලා, චේ ලා විරුවන් සේ සමරද්දී නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් අප්‍රමාණ කැපකිරීමක් කල කංනන්ගර ශ්‍රීමතාණන් සහ අද දවස අමතක කිරීම පරපුරක අවාසනාවකි.

කෝකිල විතානතන්ත්‍රී