කොළඹ LNW:සමගි ජන බලවේගයේ සමාජ සේවා ගමන හා දේශපාලන ගමන තුළ ජනතාව සමඟ සිටින හෙයින් ඕනෑම අවස්ථාවක ඕනෑම මැතිවරණයකට සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
මැතිවරණය පවත්වන්නේ නම් දිනය ප්‍රකාශ කරන ලෙසත් ඕනෑම ලිට්මස් පරීක්ෂණයකට සූදානම් බවත් විපක්ෂ නායකයා සඳහන් කළේය.
ඔහු මේ බව පැවසුවේ ඊයේ (15) මහනුවර අස්ගිරි මහා විහාරයේ දී අස්ගිරි අනුනායක ස්වාමීන් වහන්සේ බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
එහිදී තවදුරටත් අදහස් දක්වමින්, ප්‍රතිපත්තිගරුකව සමගි ජන බලවේගයේ නායකත්වයෙන් ජනතා ගැටලුවලට විසදුම් ලබා දීමට එකට වැඩ කිරිමට සුදානම් බවත් එහි දී පක්ෂවල අනන්‍යතාව රැක ගෙන කටයුතු කරන බවත් මේ එකතු වීම අවස්ථාවාදී දේශපාලන ඉලක්ක කේන්ද්‍ර කර ගෙන නොව ප්‍රතිපත්තිගරුකව රටේ ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් සැපයීමට එකතු වීමක් බවත් හෙතෙම සඳහන් කරන ලදී.
රට බංකොලොත් කිරිමට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් ඔවුන් රටට අනාවරණය කරගැනීමට ක්‍රියා කළේ සමඟි ජන බලවේගය බවත් ප්‍රේමදාස මහතා තවදුරටත් ප්‍රකාශ කළේය.
පක්ෂයක් ලෙස සමගි ජන බලවේගය සරු දේ සරු ලෙසත් නිසරු දේ නිසරු ලෙසත් දකින බවත් 30 වසරක යුද්ධය අවසන් කිරීම හොඳ දෙයක් මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම විනාශ කිරීම ද හොඳ දෙයක් බවත් මත්ද්‍රව්‍ය ජාවාරම විනාශ කරන්නේ කවුරු වුණත් රටට හොඳක් වෙනවා නම් ඒ වෙනුවෙන් පෙනී සිටින බවත් ඔහු පැවසීය.
ආශිකා බ්‍රාහ්මණ
