කොළඹ LNW: ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන එන ලද සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි කෙහෙල්බද්දර පද්මේ නැමැත්තාගේ මිලියන 50ක වත්කම් දින හතක කාලයක් සඳහා ක්‍රියා විරහිත කර ඇති අතර එම වත්කම් නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය වෙත භාර කර තිබේ.
එම වත්කම සංවිධානාත්මක අපරාධ සහ මත් ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් මුදල්වලින් මිලදී ගෙන ඇති බව අනාවරණය වී තිබෙන අතර එම දේපල වෙනත් කෙනෙකුට පැවරීම, විකිණීම හෝ වෙනත් ක්‍රියාදාමයක් සිදුකිරීම වැලැක්වීම සඳහා මුදල් විශුද්ධිකරණ පනතට අනුව එලෙස ක්‍රියාවිරහිත කර ඇත.
මේ අතර නේපාලයේ සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන එන ලද ඉෂාරා සෙව්වන්දි සම්බන්ධ විමර්ශන වාර්තාවක් කොළඹ අපරාධ කොට්ඨාශය ඊයේ (22) කොළඹ මහෙස්ත්‍රාත් අසංක එස්. බෝදරගම මහතා වෙත ඉදිරිපත් කර තිබේ.
එහිදි විමර්ශන නිළධාරින් පැවසුවේ මේ වන විට සැකකාරිය දින 90ක් රඳවා ප්‍රශ්න කිරිම ආරම්භ කර ඇති අතර ඇය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කඩිනමින් අධිකරණය වෙත වාර්තා කරන බවයි. සැකකාරිය නිරික්ෂණ කරන්නේ කොටුව මහේස්ත්‍රාත්වරයා වන බැවින් විමර්ශන වාර්තා සියල්ල එම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා නිලධාරින්ට නියෝග කර තිබේ.
සැකකාරියට අධාර අනුබල දුන්නේ යැයි අත්අඩංගුවට ගෙන රඳවාගෙන ප්‍රශ්න කල තවත් දෙදෙනෙකු දින 90ක් රඳවා ප්‍රශ්න කිරිමට අවසරය ලබාගෙන ඇති බවත් ඔවුන් සම්බන්ධ විමර්ශනවලට අදාලව නියෝග කිහිපයක් ලබා ගැනිමට අවශ්‍ය බවත් විමර්ශන නිලධාරින් අධිකරණයට දැන්වූ අතර එහිදි ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා පැවසුයේ එම පුද්ගලයින් සැකකරුවන් ලෙස නම් කර ඇත්දැයි දන්වන ලෙසයි.
ගණේමුල්ල සංජිව ඝාතනය සම්බන්ධයෙන් මේවන තෙක් ඔවුන් සැකකරුවන් ලෙස නම්කර නොමැති බවත් ඔවුන් මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් හා අපරාධ සිදුකිරිම පිණිස සැකකාර ඉෂාරා සෙව්වන්දිට ආධාර අනුබල දිම සම්බන්ධයෙන් සැකපිට රඳවා ප්‍රශ්න කරන බව නිලධාරින් ප්‍රකාශ කර ඇත.
රඳවා ප්‍රශ්න කරන පුද්ගලයින් පැමිණිල්ලක සැකකරුවන් ලෙස නම් කර නොමැති නම් ඒ සම්බන්ධයෙන් නියෝග නිකුත් කිරිමට අධිකරණයට නොහැකි බව එහිදී කරුණු සලකා බලමින් මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කර තිබුණු අතර ඒ අනුව ඔවුන් සම්බන්ධව වෙනම බී වාර්තාවකින් අධිකරණයට කරුණු ඉදිරිපත් කරන ලෙස නියෝග කර තිබේ.
ආශිකා බ්‍රාහ්මණ
