රටේ එමට ප්‍රශ්න ඇතත් කිසිදු ප්‍රශ්නයකට විසඳුම් පේන තෙක් මානයක නොමැත. ප්‍රශ්නවලට විසඳුම් නැතත් රටේ ආණ්ඩුවක් ඇත.
මේ වනවිට ආණ්ඩුවේ ඇමතිවරුන්ගේ ප්‍රධාන කාර්යය වී තිබෙන්නේ දිනපතා මාධ්‍ය හමු පවත්වමින් අර්බුදයේ ගැඹුර ජනතාවට පැහැදිලි කිරීමයි.
එහෙත්, ජනතාව ඉල්ලා සිටින්නේ අර්බුදයේ ගැඹුර හොඳින්ම දන්නා බැවින් අර්බුදය පැහැදිලි කිරීම වෙනුවට අර්බුදයට විසඳුම් ලබාදෙන ලෙසයි. විසඳුම් ලබාදිය නොහැකි නම් ගෙදර යන ලෙසයි.
එහෙත් පාලකයන් ගෙදර යාමට සූදානම් නොමැත. අර්බුදයට විසඳුම්ද ඔවුන් සතුව නොමැත.
අර්බුදයේ තරම පැහැදිලි කිරීම පමණක් නොව අර්බුදයට විසඳුම් ලබාදීමට නොහැකි වීම සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටීමද දැන් ඇමතිවරුන්ගේ කාර්යභාරය වී තිබේ.
දැන් ජනතාවට ඉතිරි වී තිබෙන්නේ හාමතේ මියයාම පමණි. එසේ නැතහොත් දින ගණන් ගෑස් පෝලිම්වල, ඉන්ධන පෝලිම්වල රැඳී සිට පීඩනය දරාගත නොහැකිව මියයාම පමණි.
මියයාමද දැන් ලේසි නැත. පවතින ආර්ථික අර්බුදය හමුවේ මීනී පෙට්ටියක මිලද ඉහළ ගොසිනි.
ඊයේ මාධ්‍ය වාර්තා කර තිබුණේ මිනී පෙට්ටියක මිල රුපියල් 5000 – 10,000 ත් අතර ප්‍රමාණයකින් ඉහළ දැමීමට මල්ශාලා හිමිකරුවන් තීරණය කර ඇති බවයි. මිනී පෙට්ටි මිල ඉහළ යාමට සාපේක්ෂව එම්බාම් කිරීම ඇතුළු සෙසු වියදම්ද ඉහළ යනු ඇත.
අනෙක් පැත්තෙන් අවමගුල් ගෙදරකට පැමිණෙන ඥාති-හිතවතුන්ට කහට කෝප්පයක් හෝ ලබාදීමද ලෙහෙසි පහසු කාර්යයක් නොවේ. කෑම වේලක් ලබාදීම පිළිබඳව සිතීමටවත් නොහැකිය.
හෙට අනිද්දා වනවිට, බන්දුල ගුණවර්ධන ඇතුළු කැබිනට් ප්‍රකාශකවරුන් හෝ ආණ්ඩුවේ මැති ඇමතිවරුන් හෝ කිසිවෙක් මාධ්‍ය හමුවක් පවත්වා ‘අර්බුදය දැන් උත්සන්න වෙලා තියෙන්නෙ, රටට ආදරයක් තියනව නං, රට ගැන හිතනව නං දැන්ම මැරෙන්න එපා මැරෙන එකත් කල් දමන්න’ යැයි ඉල්ලා සිටියහොත් ඒ පිළිබඳව ජනතාව පුදුමයට පත්විය යුතු නොවේ. එසේ නොමැති නම් බතල වැලක්, මයියොක්කා දණ්ඩක් වත් ගෙදරම වවා ගන්නැයි කිවූ ආකාරයෙන්ම මිනී පෙට්ටියද ගෙදරම හදා ගන්නැයි මහින්ද අමරවීර ඇමතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටීමටද ඉඩ තිබේ.
එනිසා හාමතේ හිටියත්, රට යළිත් සාමාන්‍ය තත්වයට පත්වන තෙක් හුස්ම පොද අල්ලාගෙන සිටීමට ජනතාව පුරුදු විය යුතුය.
UN