ඈත මහින්ද සහ ළඟ මහින්ද….

0
374

මහින්ද මහත්තයා කොහේහරි හම්බවෙච්ච තැනකදී මාලිමාවේ මන්ත්‍රී කෙනෙක් එයා එක්ක සුහඳව කතාකරන චායාරූපයක් බුකියේ සැරිසරනවා. මම ඒකෙ ලොකු අමුත්තක් දකින්නේ නැහැ. මොකද මට මහින්ද ලොක්ක කොතැනකදී හෝ හම්බවුනත් මමත් ඒ සමාචාර කරනවා. ඒකට දේශපාලන සහ වෙනත් වෙනස්කම් අදාල වෙන්නේ නැහැ.

වැඩිහිටියෙක් ලෙසත්, ලංකාවේ ජනතා චන්දයෙන් තේරුණ ජනාධිපති කෙනෙක් ලෙසත්, යුද්දය සම්බන්දයෙන් තීරණාත්මක මැදිහත්වීමක් කරපු කෙනෙක් ලෙසත්, මහින්ද කොහොමත් එන්නේ සමාචාර කරගෙනම නිසාත්, ජනතාව එක්ක හිටපු නායකයෙක් හැටියට එයා මිනිස්සු එක්ක ඉන්න දන්නා නිසාත්, එයාගේ කොහොමත් පොඩි ආකර්ෂණයක් තියෙන නිසාත්, එයාව හම්බවෙන කෙනෙක්ට එයා මඟහරින්න බැහැ.

සාමාන්‍යයෙන් දේශපාලඥයෝ කියන්නෙම වෙනම සත්ව කොටසක්. උනුයි අපියි එකක් නෙවෙයි. දෙකක්.

ඒ නිසා අපි ඈත ඉන්න මහින්දට කොහොම බැන්නත් එයා ලඟට ආවම තත්වේ වෙනස්. අනුර පවා ජනාධිපති වෙන්න කලින් යම් යම් අවස්ථාවල යම් යම් තැන්වලට ගියාම එයාට අපි සැලකුවේ ජනාධිපති ලෙසම තමයි. විශේෂයෙන් මම. මොකද මම එයා ජනාධිපති වෙන්න මාස ගාණකට කලින් දැනගෙන හිටිය එයා ලංකාවේ ජනාධිපති කියල.

ඒක නෙවෙයි වැඩේ.

අපි දුර ඉන්න මහින්ද මහත්තය ගැන ලියනකොට හිතන්න ඕනි දේ තමයි එයා ලඟටත් කවදාහරි හම්බවෙන්න පුළුවන් කියල. අනුර ගැන ලියද්දිත් එහෙමයි. මහින්ද මහත්තයට වඩා අනුර ජනාධිපතිතුමා අපිට මුහුණට මුහුණ හම්බවෙන්න තියන අවස්ථාව වැඩියි මගේ හිතේ.

ඒ නිසා අපි කතාකරන කොට. ලියන කොට ඒ ඒ මනුස්සයින්ට ගරහන්නේ නැතුව, පුද්ගලිකව හෙලාදකින්නේ නැතුව, වයස නිසා අවමානයට ලක්කරන්නේ නැතුව, කුණුහරප කියන්නේ නැතුව, බොරු චෝදනා කරන්නේ නැතුව ඉන්නවානම් හොඳයි. මොකද ඈත ඉන්න එයා ළඟට එන්නත් පුළුවන්. එතකොට බය නැතුව, චකිතයක් නැතුව කෙලින් මුහුණ බලන්න පුළුවන්කම තියෙන්න ඕනි කියල මම හිතනවා.

ආයේ මනුස්සයෙක්ගේ මුණ බලන්න තියාගෙන වැඩකරපන් කියල අපේ කිරිඅම්මා මට කියල තියනවා.

මින් අදහස් කරන්නේ නැහැ මනුස්සයකුගේ වැරදි පෙන්නලා දෙන්න එපා කියල. නමුත් අනවශ්‍ය විදියට ගරහන්න එපා. ඒක පාරාවළල්ලක් වෙනවා.

මේ ෆොටෝ එක ගැන අද බුකිය ලියන්නේ ඒ පරස්පර බව නිසා.

මහේෂ් හපුගොඩ