ඕවින්දි විෂ්මිකා
නොවැම්බර් 06, කොළඹ (LNW): ශ්‍රී ලංකාවේ සංචාරක පුනර්ජීවනය පිළිබඳව එක්සත් රාජධානියේ වෙළඳ නියෝජිත ජෝන් හැනට් සාමිවරයා ප්‍රශංසා කරමින් මෙරට සමඟ වෙළඳ හා සංචාරක සබඳතා ගැඹුරු කිරීම සඳහා බ්‍රිතාන්‍යයේ කැමැත්ත නැවත තහවුරු කර ඇත.
ඒ ලන්ඩනයේ Excel මධ්‍යස්ථානයේ පැවති ලෝක සංචාරක වෙළඳපොළේ (WTM) ශ්‍රී ලංකා පැවීලියනය (Sri Lanka Pavilion) විවෘත කිරීමේ උත්සවය අමතමිනි.
හැනට් සාමිවරයා එහිදී ශ්‍රී ලංකාව සතු “ශක්තිය හා නැවත නැගී සිටීමේ හැකියාව” ප්‍රශංසා කළ අතර එය ලෝකය හමුවේ ප්‍රකාශ කළ හැකි ශුභවාදී ආදර්ශයක් ලෙස විස්තර කළේය.
“ඔබ සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කරනවා පමණක් නොව එහි ප්‍රජාවට සමෘද්ධිමත් වීමට උපකාර කරනවා සහ ශ්‍රී ලංකාවට ලොවට පෙන්විය හැකි විශාල දේ ඇතැයි සනාථ කරනවා” ඔහු පැවසීය. තවද එක්සත් රාජධානිය තවමත් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සංචාරක මූලාශ්‍ර වෙළඳපොළක් ලෙස පවතින බව හෙතෙම අවදාරණය කළේය.
මෑතකදී ශ්‍රී ලංකාවේ ඔහු කළ සංචාරය සිහිපත් කරමින් හැනට් සාමිවරයා පැවසුවේ “අර්බුදකාරී තත්ත්වයෙන් පසු යථා තත්ත්වයට පත් වීමට ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයින්ගේ තිබූ විශ්වාසය සහ උනන්දුව මට උද්යෝගය හා ආශාව ලබා දුන්නේය” යන්නයි. සංචාරක ව්‍යාපාරය ආදායම් උත්පාදක යන්ත්‍රයකට වඩා වැඩි යමක් ලෙස සැලකිය යුතු බවත් එය “විවිධ සංස්කෘතීන් එක්හාසු කරන පාලමක්” ලෙස හැඳින්විය යුතු බවත් ඔහු අවධාරණය කළේය.
ලෝර්ඩ් හැනට් වැඩිදුරටත් අවධාරණය කළේ Developing Countries Trading Scheme හා Ocean Country Partnership Programme වැනි බ්‍රිතාන්‍ය–ශ්‍රී ලංකා හවුල් වැඩසටහන් නීල ආර්ථිකය දියුණු කිරීම, සාගර දූෂණය පාලනය, තිරසාර මත්ස්‍ය කර්මාන්තය ප්‍රවර්ධනය සහ ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම යන අරමුණු සඳහා බලපෑමක් ඇති කරමින් ක්‍රියාත්මක වන බවයි.
ඔහු තවදුරටත් පැවසුවේ ශ්‍රී ලංකාව ලොව ප්‍රමුඛතම සංචාරක ගමනාන්ත 36 අතරට තෝරාගෙන ඇති අතර විශේෂයෙන් වෙරළාසන්න සංචාරක ක්‍රියාකාරකම් සඳහා විශාල ප්‍රසිද්ධියක් ඇති බවයි. “මෙම හවුල්කාරිත්වය තිරසාර වර්ධනය සහ සාමූහික සෞභාග්‍යය සඳහා නව අවස්ථා විවෘත කරමින් පවතී” යැයි ඔහු කියා සිටියේය.
බ්‍රිතාන්‍යයේ පදිංචි ශ්‍රී ලාංකික ප්‍රජාවගේ දායකත්වය ද තානාපතිවරයා අගය කළ අතර එය ව්‍යාපාර, ශාස්ත්‍රීය සහ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ ද්විපාර්ශ්වික සබඳතා අඛණ්ඩව ශක්තිමත් කිරීමෙහිලා වැදගත් බවද අනාවරණය කළේය. සෑම වසරකම දහස් ගණනක් ශ්‍රී ලාංකික සිසුන් එක්සත් රාජධානියේ උසස් අධ්‍යාපනය හදාරන අතර එය දෙරට ජනතාව අතර සබඳතා තවත් ශක්තිමත් කරයි.
“අප රටවල් අතර මෙම සම්බන්ධතාවය ඉතිහාසයෙන්ම උරුම වූ එකක් නමුත් එය අනාගතය අරමුණු කරගත් එකකි. පාරිසරික සංචාරක ක්ෂේත්‍රයෙන් ඩිජිටල් නව්‍යකරණය දක්වාත් අධ්‍යාපනයෙන් ව්‍යාපාර දක්වාත් එක්සත් රාජධානිය සහ ශ්‍රී ලංකාව අවස්ථා හවුල්කාරිත්වයක් ගොඩනඟමින් සිටී” හැනට් සාමිවරයා පැවසීය.
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියට (SLTDA) අනුව 2025 ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවට විදෙස් සංචාරකයින් මිලියන 1.7 කට අධික සංඛ්‍යාවක් පැමිණ තිබේ. එය පෙර වසරට සාපේක්ෂව 16% ක වැඩිවීමක් සනිටුහන් කරයි. ඉන්දියාව, එක්සත් රාජධානිය, රුසියාව, චීනය සහ ජර්මනිය ඇතුළු ප්‍රධාන වෙළඳපොළවල් සමඟ සංචාරක ආදායම පළමු මාස හත තුළ ඇමරිකානු ඩොලර් බිලියන 2 ඉක්මවා ගියේය.
කර්මාන්තයේ නැවත නැගී සිටීම උත්සාහජනක වුවද විශ්ලේෂකයන් අවධාරණය කරන්නේ දිගුකාලීන සාර්ථකත්වයක් සඳහා අවශ්‍ය වන්නේ තිරසාරභාවය සඳහා අඛණ්ඩ ආයෝජන,යටිතල පහසුකම් සහ සේවා ප්‍රමිතීන් යන කරුණු වැඩිදියුණු කිරීම බවයි.
බ්‍රිතාන්‍යයේ සහයෝගය සහ ලෝර්ඩ් හැනට්ගේ ප්‍රශංසාත්මක වචන සමඟ ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය දැන් නව පරිච්ඡේදයක් සඳහා සූදානම් බව පෙනේ.එය දූපත් ජාතියට ගෝලීය පිළිගැනීමක් ලබා දීම පමණක් නොව රටට විශාල ආර්ථික ප්‍රතිලාභ ලබාදිය හැකි මාර්ගයක්ද වේ.
