කොළඹ LNW:රජය යෝජනා අකර ඇති පරිදි වතු ප්‍රජාවට රු.400ක වැටුප් වැඩි කිරීම ගැන සතුටු වන අතර එමෙන්ම එම ප්‍රමාණය තවත් වැඩි විය යුතු බව සමඟි ජන බලවේගය විශ්වාස කරන්නේ යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
වතු ප්‍රජාව වෙනුවෙන් වැටුප් වැඩි කිරීම විය යුතු ආකාරය ගැන විවිධ මතිමතාන්තර ඇති නමුත් වතු ප්‍රජාවට මුදල් ලැබේ නම් එය හොද හා සාධනීය දෙයක් බවයි ප්‍රේමදාස මහතා සඳහන් කරන්නේ.
රජයකට මේ ආකාරයෙන් මුදල් වෙන් කළ හැකි බවත් කෝවිඩ් සමයේ එක්සත් රාජධානි රජය කඩාවැටුණු ගරා වැටුණු ව්‍යාපාරවල සේවය කරන අයගේ වැටුප් වැඩි කිරීමට මුදල් වෙන් කළ බවත් මේ ආකාරයෙන් මුදල් වෙන් කිරීමේ ගැටලුවක් නොමැති බවත් වතු ප්‍රජාව ශක්තිමත් කළ යුත්තේ මුදල් ප්‍රතිපාදනවලින් පමණක් නොව ඔවුන්ට වතු ක්ෂේත්‍රයේ ඇති මුඩු ඉඩම් වගා කිරීමේ අයිතිය ලබා දී කුඩා තේ වතු හිමියන් ලෙස නිර්මාණය කරන ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් හෙතෙම ප්‍රකාශ කළේය.
වතු ප්‍රජාව වෙනුවෙන් අයවැයෙන් වෙන් වූ මුදල සම්බන්ධයෙන් දුර්මතයක් නිර්මාණය වී ඇති මොහොතක ඒ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදු කිරිමට අද (14) පාර්ලිමේන්තුවේ දී උත්සාහ ගත් අවස්ථාවේ ඊට ඉඩ නොලැබීම නිසා මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් විපක්ෂ නායකයා මෙම අදහස් දක්වා තිබේ.
අද වන විට වතු ක්ෂේත්‍රයේ 60-70%ක ඉඩම් අයිතිය ඇත්තේ රාජ්‍ය හා පෞද්ගලික සමාගම් සතුව වුවත් ඔවුන් රාජ්‍ය තේ නිෂ්පාදනයට 30%ක් වැනි අඩු දායකත්වයක් ලබා දෙන බවත් 30%ක් වැනි ඉඩම් හිමිකාරීත්වය ඇති කුඩා තේ වතු හිමියන් රටේ තේ නිෂ්පාදනයට 60-70%ක දායකත්වය ලබා දෙන බවත් වගා නොකළ මුඩු ඉඩම් රාජ්‍ය හා සමාගම්වල ඇති නිසා මේවා රැකියා විරහිත තරුණයන්ට සහ වතු ප්‍රජාවට ලබා දීම තුළ ඔවුන්ට ඉඩම් අයිතියක් ලැබීම, තේ නිෂ්පාදනය වැඩි වී රටේ ආර්ථීකයට එය විශාල බලපෑමක් සිදු කිරීමක් වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
එබැවින් රු. 1350ක තවත් රු. 400කින් වැඩි කිරිම ගැන විරුද්ධ නොවන බවයි ඔහු පැවසුවේ.
වඩාත් කැමති වන්නේ එම රු. 400 වතු සමාගම් විසින් ක්‍රියාත්මක කිරීම බවත් ඊට අමතරව වගා නොකළ මුඩු ඉඩම් මේ අයට ලබා දී වගා කටයුතු සිදු කිරිමට අවස්ථාව ලබා දෙන ලෙසත් තමන් රජයෙන් ඉල්ලා සිටින බව ඔහු තවදුරටත් සඳහන් කරන ලදී.
ඒ තුළින් තමන්ගේම කියා නිවසක් ගොඩනගා ගත හැකි බවත් මෙය සමගි ජන බලවේගයේ හා සමගි ජන සන්ධානයේ ස්ථාවරය බවත් ජනාධිපතිවරණ හා මැතිවරණ 2ක මේ ප්‍රතිපත්තිය ඉදිරිපත් කළ බවත් මෙය වලංගු ප්‍රතිපත්තිය බැවින් අනික් අය කියන කතා නොඅසා මේ ගැන අවධානය යොමු කරන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
ආශිකා බ්‍රාහ්මණ
