සටහන: සශිකලා මධුෂාණි
දෙසැම්බර් මස 03: ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : නොවැම්බර් 22 වන දින අඩු පීඩන ප්‍රදේශයකින් ආරම්භ වී නොවැම්බර් 25 වන දින ගැඹුරු අවපාතයක් දක්වා තීව්‍ර වෙමින් මෙම වසරේ ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත් වෙත බලපෑ සෙන්යාර් සුළි කුණාටුව හේතුවෙන් මේවන විට 708ක් ජිවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයින් 504 දෙනෙකු අතුරුදහන් වී ඇති බව එරට ආපදා ඒජන්සිය පවසයි.
පසුගිය දින කිහිපය පුරා ආසියාවේ සමහර ප්‍රදේශවලට බලපෑ අධික මෝසම් වැසි සහ නිවර්තන සුළි සුළං හේතුවෙන් මේ වන විට ඉන්දුනීසියාව, ශ්‍රී ලංකාව සහ දකුණු තායිලන්තය ඇතුළු රටවල පුද්ගලයන් 1,300 කට වැඩි පිරිසක් මිය ගොස් යටිතල පහසුකම් විනාශ කර නගර ජලයෙන් යට කර ඇත.
ඉන්දුනීසියාවේ පමණක් මිලියන 3.2 ක් පමණ ජනතාව පීඩාවට පත්ව ඇති අතර 2,600 ක් තුවාල ලබා ඇත. එමෙන්ම මේ වන විට එරට අධි අවදානම් සහිත ප්‍රදේශවලින් මිලියනයක ජනතාවක් ඉවත් කර ඇත.
ගංවතුර හේතුවෙන් දරුණු ලෙස බලපෑමට ලක් වූ අචේහි, වෙළඳපොළවල් සහල්, එළවළු සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟ වෙමින් පවතින අතර මිල තුන් ගුණයකින් වැඩි වී ඇති බව වාර්තා වේ. මේ සම්බන්ධයෙන් ඉන්දුනීසියානු රජය නිවේදනය කර තිබුණේ, අචේට මෙන්ම උතුරු සුමාත්‍රා සහ බටහිර සුමාත්‍රා පළාත්වලට සහල් ටොන් 34,000 ක් සහ ඉවුම් පිහුම් තෙල් ලීටර් මිලියන 6.8 ක් යවන බවයි.
ආධාර සේවකයින් සහ ප්‍රතිචාර කණ්ඩායම් දිවි ගලවා ගත් අය වෙත ළඟා වීමට විශාල උත්සහයක් දරන අතර අවහිර වූ මාර්ග සහ කැඩුණු පාලම් හේතුවෙන් තත්වය වඩාත් දුෂ්කර වී ඇති අතර යුනිසෙෆ් සංවිධානයට අනුව, උතුරු සුමාත්‍රාවේ ටපනුලි ටෙන්ගා සහ ආචේහි අගම් ඇතුළු සමහර ප්‍රදේශවලට මාර්ගයෙන් ප්‍රවේශ විය නොහැකි බව කියවේ.



