නැවත අනවසර ඉදිකිරීම් බැහැ. ජනපති දැඩි තීන්දුවක!

Date:

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW: ඉදිරියේදී අනවසර ඉදිකිරීම් සඳහා කිසිදු ඉඩක් ලබා නොදෙන අතර ඊට අදාළ නීති ශක්තිමත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කළේය.

එසේ නොවුණහොත් ඉදිරියේදී මීට වඩා දැඩි ව්‍යසනයකට රටට මුහුණ දීමට සිදු වනු ඇති බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ.

ස්ථාපිත කිරීමට නියමිත යළි ගොඩනැගීමේ ජනාධිපති කාර්ය සාධක බලකාය යටතේ නීතිමය ප්‍රතිපත්ති සකස් කිරීම වෙනුවෙන් වෙනම ඒකකයක් ස්ථාපිත කිරීමට අපේක්ෂා කරන අතර ඒ යටතේ මෙම ගැටලුව සඳහා ස්ථීර විසදුම් සෙවීමට හැකිවනු ඇති බව ජනාධිපතිවරයා සඳහන් කරන ලදී.

ඒ අනුව ගොඩනැගිලි ඉදිකිරීමේදී මෙන්ම ඉදිකිරීම් සඳහා ඉඩම් තෝරා ගැනීමේදී එහි සුදුසු නුසුදුසුභාවය පිළිබද තහවුරු කරගැනීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අනුමැතිය තිබීම අත්‍යවශ්‍ය බව එම සාකච්ජාවේදී මතුවිය.

අවශ්‍ය සියලුම අනුකූලතා සහතික ලැබීමෙන් පසු ඉඩමට අදාළව ජලය සහ විදුලි සැපයුම ලබා දිය යුතු බවටයි එහිදී ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ ඊයේ (07) පස්වරුවෙ කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති විශේෂ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක් වෙමිනි.

ආපදා තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්කයේ විනාශ වූ සියලුම පළාත් මාර්ග සහ ප්‍රාදේශීය සභා මාර්ග ඉදිරි ඉදිරි සති 02 තුළ සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත් කර ජනතාවගේ ගමනාගමන කටයුතු සඳහා විවෘත කරන ලෙසද එහිදී ජනාධිපතිවරයා අදාළ අංශ වෙත උපදෙස් දෙන ලදී. ඒ වෙනුවෙන් දැනට වෙන් කර ඇති ප්‍රතිපාදන යොදවන ලෙසත් දෙසැම්බර් 31 දිනට පෙර අවසන් කළ නොහැකි මාර්ග පිළිබඳ තොරුතුරු සහ අවශ්‍ය ප්‍රතිපාදන දැනුම් දෙන ලෙසත් 2026 වසරට අදාළව එම ප්‍රතිපාදන වෙන් කර දීමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා පැවසුවේය.

ආපදා තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්කයේ A හා B ශ්‍රේණියේ පළාත් මාර්ග 1,181කට හානි සිදුව තිබෙන අතර පාලම් 35කට සහ බෝක්කු 162කට, පැති බැම් 01ට හානි සිදුව තිබේ.

ආපදා තත්ත්වය හේතුවෙන් බිද වැටුණු දිස්ත්‍රික්කයේ විදුලි සැපයුම, ජල සැපයුම සහ සන්නිවේදන පහසුකම් ඇතුළු අත්‍යවශ්‍ය යටිතල පහසුකම් ස්ථාපිත කිරීමට ගෙන ඇති පියවර පිළිබඳ ජනාධිපතිවරයා විසින් වෙන් වෙන්ව විමසා බැලීය.

එමෙන්ම ආපදා තත්ත්වය හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුඹුරු හෙක්ටයාර් 12,729කට පූර්ණ හානි සිදුව තිබෙන අතර එයින් 7,215 යළි වගා කළ හැකි මට්ටමේ පවතින බවත්, 5,514ක් වගා කළ නොහැකි බවත් නිලධාරින් පෙන්වා දෙන ලදී. ජල සැපයුම නොමැතිවීම නිසා කුඹුරු අස්වැද්දිය නොහැකි නම් ඒ සඳහා තාවකාලික ජල සැපයුම් ලබා දීමට ජලපවාහන මණ්ඩලයට උපදෙස් දුන් ජනාධිපතිවරයා වගා කළ නොහැකි කුඹුරු ප්‍රමාණය හැකි තරම් අඩු කර ගනිමින් එම කුඹුරු අස්වැද්දීමට කටයුතු කරන ලෙසද උපදෙස් දුන් අතර ගොවීන් වෙත බිත්තර වී සහ පොහොර ලබා දීමේ වැඩපිළිවෙළ පිළිබඳවද විමසා බැලීය.

එමෙන්ම බඩඉරිගු, එළවළු සහ අතිරේක බෝග වගාවන්ට සිදුව ඇති හානිය සහ එම ගොවි ජනතාව වෙත වන්දි ලබා දිමේ ක්‍රමවේදය පිළිබඳව කරුණු පැහැදිලි කරන ලදී.

ළිං පවිත්‍ර කිරීමේ කටයුතුවලදී ප්‍රමුඛ වගකීමක් ප්‍රාදේශීය සභාවලට පැවරෙන බවත්, ත්‍රිවිධ හමුදාවේ සහ ස්වේච්ඡා සංවිධානවල දායකත්වය ලබා ගනිමින් කඩිනමින් එම කටයුතු අවසන් කරන ලෙසත්ජ නාධිපතිවරයා ප්‍රාදේශීය සභා සභාපතිවරු වෙත දැනුම්දුන්නේය.

දිවයින පුරා සත්ත්ව ගොවිපොළ පිළිබඳ නිවැරදි දත්ත පවත්වාගෙන යාමේ අවශ්‍යතාව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ සඳහා පවතින නීති ප්‍රමාණවත් නොවන්නේ නම් එම නීති සකස් කිරීමේ අවශ්‍යතාවද පැහැදිලි කළ අතර සත්ත්ව ගොවිපොළ නිසි ලෙස ලියාපදිංචි වී නොතිබීමහේතුවෙන් වන්දි ලබා දීම් ආදි කටයුතුවලදි ගැටලු මතුවන බවද පෙන්වාදුන්නේය. එබැවින් රට පුරා සත්ත්ව ගොවිපොළ පිළිබඳ දත්ත එක් පද්ධතියකට ගෙන නැවත සමාලෝචනයක් සිදු කරමින් වන්දි ලබා දීම් පිළිබඳ කඩිනමින් ප්‍රතිපත්තිමය තීරණයකට එළැඹෙන ලෙස නිලධාරින්ට උපදෙස් දෙන ලදී.

එමෙන්ම මිරිදිය ධීවර කර්මාන්තය යළි නගා සිටුවීම, සෞඛ්‍ය සේවයේ අවශ්‍යතා මෙන්ම පාසල් යළි විවෘත කිරීමේ කටයුතු පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරුණු අතර ජනතාව යළි පදිංචි කිරීම සඳහා ඉඩම් හදුනා ගැනීම සහ හානි වූ නිවාස සඳහා වන්දි ලබා දීම් පිළිබඳවද පුළුල් ලෙස සාකච්ජා විය. එහිදී වන්දි ලබා දීමේ කටයුතුවලදී සහ ජනතාව යළි පදිංචිකිරීමේ කටයුතු සඳහා ප්‍රාදේශීය ලේකම්වරු පූර්ණ ලෙස මැදිහත්විය යුතු වෙයි.

මේ අතර නිවාස අහිමි වූ ජනතාව වෙනුවෙන් සිය විහාරස්ථානයට අයත් අක්කර 20ක ඉඩමක් ලබා දීමට මැද්දේකැටිය, ගොකරැල්ල, සංගමු රජමහා විහාරයේ විහාරාධිපති උදම්මිමට විද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ ආචාර්ය ශාස්ත්‍රපති පූජ්‍ය අලුත්ගම මංගල ස්වාමීන් වහන්සේ කටයුතු කර තිබේ. ඊට අදාළ ලිපි ලේඛනද මෙහිදී ජනාධිපතිවරයා වෙත භාර දෙනු ලැබීය.

වයඹ පළාත් සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ මැදිහත්වීමෙන් වයඹ පළාත් සමුපකාර සමිති, සංගම් සහ සාමාජිකයන් එක්ව ලබා දුන් රුපියල් ලක්ෂ 100ක මුල්‍ය පරිත්‍යාගය සහ ගෝකරැල්ල හාල් මෝල අධිපති එස්.එම්. වසන්ත සමරකෝන් මහතා විසින් සිදු කළ පරිත්‍යාගයද ජනාධිපතිවරයා වෙත භාර දුන්නේය.

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය ආනන්ද විජේපාල, කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න, කාන්තා හා ළමා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නාමල් සුදර්ශන, වයඹ පළාත් ආණ්ඩුකාර තිස්ස වර්ණසූරිය යන මහත්වරු සහ දිස්ත්‍රික්කයේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුද, ප්‍රාදේශී සභා සභාපතිවරු ඇතුළු නියෝජිතයන්, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරු සහ කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් චන්දන දිසානායක මහතා ඇතුළු රාජ්‍ය නිලධාරිහු, ආරක්ෂක අංශ ප්‍රධානිහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

දිට්වා සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් මේ වන විට ආපදා මරණ 627ක් දක්වා වැඩි වී තිබෙන අතර තවත් පුද්ගලයින් 190ක් අතුරුදහන් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරයි.

මෙම අයහපත් කාලගුණය හේතුවෙන් පවුල් 611,530ක පුද්ගලයින් 2,179,138කට බලපෑම් එල්ල විය. නිවාස 4,517ක් සම්පූර්ණයෙන් විනාශ වී තිබෙන ආතර් තවත් නිවාස 76,066කට අර්ධ හානි සිදුව තිබේ.

මේ වන විට පවත්වාගෙන යන ආරක්‍ෂිත මධ්‍යස්ථාන ගණන 956කි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උසස් පෙළ විභාගයේ ඉතිරි කොටස ජනවාරි 12 සිට – තෙවන වාර විභාගය ගැනත් තීරණයක් ගනී.

කොළඹ LNW:ආපදා තත්ත්වය හේතුවෙන් පැවැත්වීමට නොහැකි වූ අධ්‍යයන පොදු...

අර්ධ නිවාස හානි වෙත වන්දිය ලැබෙන්නේ කොහොමද? ජනාධිපති කරුණු පැහැදිලි කරයි.

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සම්පූර්ණයෙන් නිවාස හානි වෙනුවෙන් රු. ලක්ෂ 50ක...