නිශ්මං රණසිංහ දෙසැම්බර් 17, කොළඹ LNW:
ශ්‍රී ලංකාවේ ටෙස්ට් ක්‍රිකට් ආරම්භයේ සිටම ඩීඑස් ද සිල්වාගේ දස්කම් අපට දැක ගන්නට හැකි විය.පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන විටත් ඩීඑස්ට 40 කි.එහෙත් ඔහු කාලයක් කණ්ඩායමේ සිය ස්ථානය අල්ලාගෙන සිටියේය.ඒ ශ්‍රී ලංකා කණ්ඩායම සතුව සිටි රස්සාවට ක්‍රිකට් ගහන එකම ක්‍රීඩකයා ඔහු වූ බැවිනි.එසේම ඔහු වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම එවකට දැරූ වියදම අන් ක්‍රීඩකයන්ට වඩා වැඩිය.
1975 දී ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායමට තේරෙන ඩීඑස් ගුග්ලි පන්දුවේ විශේෂඥයෙකි.දකණතින් පා දඟ පන්දු යවන ඩීඑස් සතුව තිබුණ දැණුම ක්‍රිකට්වලට යොදා ගත්තේ අඩුවෙන් ද ඔහු නොදුන්නේද කියා විමසා බැලීමට වඩා සරලව කිව හැක්කේ එම හැකියාවන් ක්‍රිකට්වලට යැයි කියා කැඳවා වෙනත් අය එයින් ප්‍රයෝජන ගත් බවය.
සාමාන්‍ය ඉතිහාසය ගත් විට ලංකාවේ ලෝක කුසලාන මට්ටමේ ක්‍රීඩා තරග සංවිධානය වන විට කුමන හෝ ක්‍රමයකින් අතුරු පාළක සභාවන් පත්වීම අපි දැක ඇත්තෙමු.එවැනි තැන්වලදි ඩීඑස් ද එම කමිටු පත් කිරීමේ අවශ්‍යයතාවය වෙනුවෙන් යොදා ගැනීම අපි දුටුවෙමු.
ලංකාවේ පැවති 2011 මෙන්ම 2012 දී ශ්‍රී ලංකාව සම්බන්ධ වූ ලෝක කුසලාන තරගාවලි දෙකේදීම ඩීඑස් හිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයේ මුල් පුටුවේය.එම තරගාවලි දෙක ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පරිපාලනය සහ අතුරු කමිටු ගැන යළි නොසිතන්නට හොඳම මට්ටමේ උදාහරණ දුන් තරගාවලිය.
වැටුප් ගෙවන්නට පවා නොහැකි තත්ත්වයට ශ්‍රී ලංකා ක්‍රිකට් පත් විය.තරගාවලිය සම්බන්ධ ගිණුම් වාර්තා අතුරුදහන් වූවේ පරිගණක දෘඨාංග ද සමඟය.මේ කිසිවකට ඩීඑස් සෘජුව වගකිව යුතු බව අපි නොකියන්නෙමු.එහෙත් ඔහුව එම පුටුවේ හිඳුවා තබා ගත්තේ කරන කෙනෙකුට පහසුවක් ඇති කර ගන්නට බව අපි එදා කී පරිදිම අදද පවසන්නෙමු.
ඔහු සරලය.ඒත් ඔහු තුළ දැඩි බවක් තිබිණ.ඔහු පුහුණුකාරත්වය දැරූ අවුරුදු 19 පහළ ලෝක කුසලාන තරගාවලියේ අවසාන තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ සියල්ලම කාසියේ වාසිය ලැබුණොත් මුලින් පන්දු රැකීම වැදගත් බව කීව ද මුළු කණ්ඩායමම නිහඬ කරවා ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහර දිය යුතුය යන තීරණය ගත්තේ ඩීඑස් ය.ඒ සමහර විට ඔහු ඉහළට අවැසි ලෙස හැසිරුණ ද තමාගේ යටත සිටින අයව තමන් පහළින් සිටින විට කරන තත්ත්වයෙන් තබාගෙන වැඩ කරන්නට තිබුණ කැමත්තක්ද විය හැකිය.
ඩීඑස් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ වරලම චරිතයකි.පළමු ටෙස්ට් කඩුලු 5 ලබා ගැනීමේ සිට ඔහු දස්කම් ගැන කතා කිරීමට වඩා ඔහු ක්‍රීඩාව තුළ දැරූ වගකීම් සුළු නැත.එ්වා කිසිවෙකුට නොලැබුණ අන්දමේ වගකීම්ය.ක්‍රීඩකයෙකු ලෙස පමණක් නොව ඔහු කැරලිකාර දකුණු අප්‍රිකානු සංචාරය සමඟ නවක කණ්ඩායමක් රැඟෙන නවසීලන්තයට ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නායකත්වයද දුන්නේය.ඒ ඔහු නායකයා ලෙස පත් කර යවා නොවේය.නායකයා ලෙස නම් කළ දුලිප් මෙන්ම උප නායකයා ලෙස නම් කළ රෝයි ඩයස් ද අසනිප වූ බැවිනි.අවුරුදු 19 පහළ පුහුණුකරු වීම මෙන්ම ක්‍රිකට් අතුරු කමිටුවක සභාපතිවීම ද තවත් ඔහුට ලැබුණු අවස්ථාවකි.
ඔහු එම තනතුරුවලින් මහත් සේ සතුටට පත් විය.තමන්ව ශ්‍රී ලංකා ක්‍රිකට් හමුවේ විශේෂිත අයෙකු විය යුතුය යන හැඟීමෙන් ඔහු නිතර සිටියේය.වරක් ඔහු නැවතී සිටි වැල්ලවත්ත ප්‍රදේශයේ නිවසකදී මංජුල වෙඩිවර්ධනත් මමත් ඔහු හා කතා බහක නියැලිණි.ඔහු කෙනෙකු සිනහා නොවීම ගැන පවා මැසිවිලි නඟමින් ඔහුට කරන වෙනස්කම් ගැන කීවේය.එහි වැරදි තිබිණ.එහෙත් ඔහුට වැඩි පිළිගැනීමක් තිබිය යුතුය යන හැඟීම නිතරම එළියට පැන්නේය.
ඔහු කරදරකාරයෙකු කියා හඳුන්වන්න නොහැකිය.එසේම නොකළ යුතුය.නරකයි කියන්නට ද නොහැකිය.එහෙත් ඔහුව වරන අය විසින් පුටුවකට ගැට ගසා තබා නරක දේවල් කරගෙන ගිය බව ප්‍රතික්ෂේප කළ නොහැකිය.නරක තත්ත්වය වන්නේ ඔහු හැමවිටම ක්‍රිකට්වලට එරෙහිව නැඟෙන දේශපාලනය විසින් ඉත්තෙක් කර ගැනීමය.ඒ නිසා බොහෝ කළු පාට මතක වකවානුවල ඩීඑස්ගේ නමද කියැවෙන්නේය.
නමුත් සරල ඉහළ පිළිගැනීමක් බලාපොරොත්තු වුණ මිනිසෙකු වූ ඩීඑස් යන්න ගොස් ඇත.ඔහු කියවා ගත යුතු චරිතයක්ය.විශේෂයෙන් වත්මන් තරුණ ක්‍රීඩකයින් ඔහුගේ ශාරිරික යෝග්‍යතාවය ගැන අවධානය යොමු කළ යුතුය.අවුරුදු 40 දී ටෙස්ට් ක්‍රීඩකයෙකු ලෙස අභිශේක ගන්වන ඩීඑස්,තවත් අවුරුදු දෙකක් ටෙස්ට් ක්‍රීඩා කරන්නේය.එක්දින ක්‍රීඩකයෙකු ලෙස 1985 වන තෙක්ම ක්‍රීඩා කළේය.ඒ කිසිඳු අවස්ථාවක ඔහු ආබාධවලට ගොදුරු වෙනවා අසා හෝ දැක නැත.
ඔහුට දැණුම තිබිණ.සැළසුම් ද තිබිණ.කුමක්දෝ අවාසනාවකට ඒවා රටට ආයෝජනය කළ හැකි මට්ටමේ චරිත ඔහු සමීප කර නොගත්තේය.වැරදි මිනිසුන්ට හසුව බොහෝ සේවයක් කළ හැකිව තිබූ ක්‍රිකට් දැණුමක් තිබුණ හරි මිනිසෙක් ජීවිතයෙන් නික්ම ගිය බව කිව යුතුය.
ඩීඑස්!
ඔබට ගෞරවණීය නික්මීමකට අපේ ආචාරය!
මියගිය මිනිසුන් ගැන හොඳම ලිවිය යුතු බවට නියමයක් නැත.ඒ නිසා ඩීඑස් ගැන සටහනට විවේචනයකට වඩා කල්පනාවෙන් අවධානය යොමු කරන්නේනම් හොඳ වුණාටම මදියි කියන කතාව ගැන තව ටිකක් තාර්කිකව හිතන්නට ඔබට හැකිවනු ඇත.
