විපක්ෂ නායක සජිත්ගෙන් රාජාංගනය යාය 11 රෝහලට රුපියල් ලක්ෂ 28ක් වටිනා වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක්

සටහන – රුවන් නෙළුගොල්ල

මේ සුළිකුණාටු සමයේ සහ ඉන් පසුව රජය සහ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ සහ ඉන් පිටත ජනතාවගේ සුබසිද්ධිය උදෙසා විවිධ යෝජනා ඉදිරිපත් කර ක්‍රියාත්මක කරන බවට පොරොන්දු වුවත් මේ වන විට එම වරප්‍රසාද හා සම්පත් මෙන්ම මූල්‍ය ශක්තිය ලබා දෙන්න රජය අපොහොසත් වී ඇති බවත් ටකරන් කෑල්ලක් ගියත් ලක්ෂ 10ක් දෙනවා කියූ රජය පූර්ණ හානි සිදු වූ නිවෙස්වලට දෙනවා කියූ ලක්ෂ 50 ආධාරය හෝ පදිංචියට නුසුදුසු ඉඩම් සඳහා දෙනවා කියූ ඉඩම් ද ලබා දී නොමැති බවට වාර්තා වෙන බවත් මෙය බරපතල කරුණක් නිසා කරුණාකර දිට්වා සුලි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජීවිත එක්ක සෙල්ලම් නොකරන ලෙසට රජයෙන් ඉල්ලා සිටින බවත් ප්‍රකාශ කළ ආකාරයටම සියලුම සහන විපතට පත් වූ ජනතාවට ලබා දිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ රාජාංගනය යාය 11 රෝහලට සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක හුස්ම වැඩසටහන යටතේ රු. ලක්ෂ 28ක් වටිනා Patient Monitor 5ක්, Syringe Pump 1ක් හා Infusion Pump 1ක් උපකරණ පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත් රෝහල් සංවර්ධනය කිරීමේ අරමුණින් හුස්ම වැඩසටහන යටතේ මෙම වෛද්‍ය උපකරණ පරිත්‍යාග කිරීම සිදු විය.

මේ නගර ගම්නියම්ගම්වල ඇවිදින විට ව්‍යාපාරිකයන් සහ ව්‍යවසායකයන් සමග කතා කරන විට ණය අය කර ගැනීම නතර කරන බවට රජයේ පාර්ශ්වයන් මාධ්‍ය ඔස්සේ කියූ බවට දැක්ක නමුත් ඒවා බිම් මට්ටමේ ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොවී බවට චෝදනා එල්ලකරන බවත් රජය මේවා මාධ්‍ය හරහා ප්‍රචාරය කළේ වගකීමෙන් බවත් ව්‍යවසායකයන් කර්මාන්තකරුවන් ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් වෙනුවෙන් ගොවි ජනතාව වෙනුවෙන් ලබා දෙන වන්දි හරියට ලබා දිය යුතු බවත් මේ කන්නයේ හරියට ගොවිතැන් සිදු නොවුවහොත් ආහාර අර්බුධයක් එන නිසා මේ සෑම දෙනා ගැනම සිතිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

දෙනවා කියූ සහන නොදුන්නොත් ජනතාව වෙනුවෙන් අපි නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා

මේ වින්දිතයන්ගේ අයිතිවාසිකම් සුරක්ෂා කරන්න සමගි ජන බලවේගය නීතිඥ කණ්ඩායමක් නිර්මාණය කරන බවත් ගැසට් එක හරහා කතාවේදී පාර්ලිමේන්තුවේදී කියූ දේවල් කරන තුරු මේ අයිතිවාසිකම් ඉටු කරන තුරු සමගි ජන බලවේගය මේ වින්දිතයන් වෙනුවෙන් පෙනි සිටිනා බවත් මේ අයිතිවාසිකම් යනු මානව හා මූලික අයිතිවාසිකම් විපක්ෂයේ සිට ජනතාවට මේවා ලැබෙන තුරු සටන් කරන බවත් පැවසූ විපක්ෂ නායකවරයා ඊට අමතරව විපක්ෂයක් ලෙස සමගි ජන බලවේගයට කළ හැකි සෑම උපකාරයක්ම ජනතාව වෙනුවෙන් සිදු කරන බවත් සඳහන් කළේය.

දැන්වත් බොරු නොකියා හරියට සහන ටික දිය යුතුයි

ස්වයංරැකියා ලාභියාගේ සිට සෑම සියලු දෙනාටම මේ සහන දිය යුතු බවත් පොරොන්දු වූ සහන දෙනවා සේම මේ සහන මුදල් අඩු නොකළ යුතු බවත් ජනතාවගේ පීඩනය සමනය කරන්න බොරැ නොකියා සැබවින්ම කියූ දේ කළ යුතු බවත් ජනතාවට මේ සහන ලබා දෙන තුරු විපක්ෂය බලා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.