ගාමිණී අතුකෝරළ හිටියා නම් එජාපයට මෙහෙම වෙයිද ?

එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායකවරයකු සහ හිටපු මහලේකම්වරයකු වූ ගාමිණී අතුකෝරළ මහතා අභාවප්‍රාප්ත වී අදට (01) වසර 24ක් සපිරේ. මේ කෙටි සටහන ඒ වෙනුවෙනි.

අද (2026 ජනවාරි 01) සිට ඇරඹෙන්නේ විසි එක්වෙනි සියවසේ දෙවැනි කාර්තුවේ පළවෙනි වසරයි. විසි එක්වෙනි සියවසේ පළමු කාර්තුව තුළ ශ්‍රී ලංකාවට අහිමිවුණු සුවිශේෂීම පුද්ගලයා ගාමිණී අතුකෝරළ විය හැකිය.

ගාමිණී අතුකෝරළ යනු මෙරට දේශපාලනයේ සිටි අතිදක්ෂයෙකි. සරලවම කියන්නේ නම් “මාරම පොරකි”. එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා බිය වුණු එකම තැනැත්තා වූයේ ද ගාමිණී අතුකෝරළ ය. ඔහු රනිල්ට අගමැති ධුරය ලබාදෙන බවට 2000 වසරේදී පොරොන්දු වූයේය. එතැන් සිට 2001 ආණ්ඩු පෙරළියේ මෙහෙයුම ඔහු සැලසුම් කළේය. 2001 දෙසැම්බර් මාසයේදී රනිල් අගමැති ධුරයට පත්විය. ඒ, ගාමිණී අතුකෝරළගේ සුවිශේෂී සංවිධාන ශක්තිය නිසා ය. සම්බන්ධතා ජාල නිර්මාණය කිරීමට ඔහු දැක්වූයේ ප්‍රබල දක්ෂතාවකි. පසුකාලීනව බොහෝ අය ඒ විෂයය ඉගෙන ගත්තේ ගාමිණීගේ සංවිධාන ශක්තිය දෙස බලාගෙන ය.

තරුණ කටයුතු අමාත්‍යාංශයේ සිටම ගාමිණී සිටියේ රනිල්ගේ නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස ය. සැබැවින්ම ඔහු රනිල්ගේ සෙවනැල්ල ලෙසින් ළඟින්ම සිටියේය. රනිල්ව හොඳින්ම දැන සිටියේ ඔහු ය. රනිල්ගෙන් වැඩ කරවාගන්නා ආකාරය ද නිවැරදිවම දැන සිටියේ ඔහුමය.

2001 දෙසැම්බර් 31 වනදා ප්‍රවාහන, මහාමාර්ග සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා වශයෙන් සිය අමාත්‍යාංශයේ රාජකාරි රැසක් ඉටුකර, ප්‍රධාන පෙළේ තනතුරු සඳහා පත්වීම් කිහිපයක් ද සිදුකර රත්නපුර පිහිටි සිය නිවස බලා ගිය ගාමිණී අතුකෝරළ මහතා 2002 ජනවාරි පළමුවැනිදා අවදි වූයේ නැත. ආරක්ෂක අංශ විසින් සොයාබැලීමේදී ඒ මහතා විසඥව සිටි අයුරු දැක වහාම රෝහල්ගත කළ නමුත් ජීවිතය බේරාගැනීමට ලැබුණේ නැත. හෘදයාබාධයක් හේතුවෙන් ඒ සුවිශේෂී චරිතය එජාපයටත් රටටත් අහිමි විය.

ඒ, ඔහු විසින් රනිල්ට ආණ්ඩුවක් හදා දී මාසයකටත් අඩු කාලයකදී ය. එසේ ගාමිණී අතුකෝරළ හදා දුන් ආණ්ඩුව වසර 3ක් කරගෙන යාමට රනිල්ට හැකිවුණේත් නැත.

රනිල් වික්‍රමසිංහ යනු මොළකාරයෙකි. එහෙත් රනිල්ගේ මොළය ඇත්තේ රටක් පාලනය කිරීමටය. බලය අල්ලාගැනීමට අවශ්‍ය මොළය තිබුණේ ගාමිණීට ය. ගාමිණී අතුකෝරළගේ අභාවයෙන් පසුව එජාපය ඔහුගේ පූර්වාදර්ශය ඉදිරියට ගෙනයාමට උත්සාහ කළේ නැත. එහි ප්‍රතිඵලය අද කාටත් හොඳින්ම දැක ගැනීමට හැකිය.

ඇත්තෙන්ම ගාමිණී අතුකෝරළ ජීවතුන් අතර සිටියේ නම් 2005 ජනාධිපතිවරණයෙන් ජයගැනීමට මහින්ද රාජපක්ෂට හැකිවන්නේ නැත. ගාමිණීගේ අභාවයෙන් එජාපයට අහිමිවුණේ උපායමාර්ගික නායකත්වයයි. අදටත් ඒ අඩුව එසේමය.

එජාපය ඒ අඩුව පුරවාගැනීමට කළ යුත්තේ ගාමිණී අතුකෝරළගේ පූර්වාදර්ශයන් යළි අධ්‍යනය කිරීමයි. මේ එජාපයට එය අත්‍යාවශ්‍යයම කාලයයි.

ගාමිණිගේ අභාවයෙන් වසර 24ක් වනවිට ඔහුගේ නැඟණිය එජාප මහලේකම් ධුරයට පත්කිරීමට රනිල් කෘතඥ වී ඇත. එහෙත් ඇය පවා ගාමිණීගේ පූර්වාදර්ශයන් හරිහැටි අධ්‍යනය කරන්නේද යන්න සැක සහිතය.

අවසාන වශයෙන් කියන්නට ඇත්තේ ගාමිණී අතුකෝරළගේ අභාවය යනු එජාපයට “සියවසේ මරණය” වශයෙන් හැඳින්විය හැකි බවය. එතැනින් ගොඩ එන්නට එජාපයට හැකිවනු ඇත්තේ ද ගාමිණීගේ පූර්වාදර්ශ හැදෑරීමෙන් සහ අනුගමනය කිරීමෙන් පමණක්ම ය.