ස්විට්සර්ලන්තයේ අලුත් අවුරුදු උදාවත් සමඟ ඇති වූ ගින්නක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි

ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026 වර්ෂයේ උදාව සමරමින් සිටි ස්විට්සර්ලන්තයේ සුඛෝපභෝගී ඇල්පයින් ස්කී නිකේතනයක් වන ක්‍රාන්ස්-මොන්ටානා හි ජනාකීර්ණ තැබෑරුමක ඇති වූ ගින්නක් හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයන් 40 දෙනෙකු මියගොස් තවත් 100කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය අමතාමින් නිරිතදිග ස්විට්සර්ලන්තයේ වලයිස් කැන්ටන්හි පොලිස් අණදෙන නිලධාරී ෆ්‍රෙඩ්රික් ගිස්ලර් සඳහන් කර තිබුණේ, ගින්නට හේතුව මෙතෙක් වාර්තා නොවන බවත්, නිවාඩු නිකේතනය සංචාරකයින් අතර ජනප්‍රිය හෙයින් අනතුරට ගොදුරු වූවන්ගෙන් සමහරක් වෙනත් රටවලින් පැමිණි අය බවත්, මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහල යා හැකි බවත්ය.

අනතුර සිදුවීමත් සමඟ එම ප්‍රදේශය සම්පූර්ණයෙන්ම වසා දමා ඇති අතර ක්‍රාන්ස්-මොන්ටානා තාවකාලිකව තහනම් කලාපයක් බවට පත්කර ඇත.