“අඬන පිරිමි” භීතිකාව කුඩුපට්ටම්කළ ඩෆර් බ්‍රදර්ස් ඔබට තුති! 

Date:

ඉසුරු පරාක්‍රම

ජනවාරි 03, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බාල මහළු කා අතරත් අතිශයින් ජනප්‍රිය, නෙට්ෆ්ලික්ස් නාලිකාවේ විකාශය වූ “ස්ට්‍රේන්ජර් තිංග්ස්” කතාමාලාව දශකයකට ආසන්න කාලයකට පසු ඉකුත් දෙසැම්බර් 31වන දින සිය අවසාන එපිසෝඩය සනිටුහන් කළේය. මෙම අවසානය දෙස ලොව මිලියන සංඛ්‍යාත රසිකයන් දෑස් දල්වාගෙන බලා සිටියේ කිසිවකුත් අපේක්ෂා නොකළ අවසානයක් එහි ඇතුළත් වූ බැවිනි. 

නමුත් මෙම ලිපියෙන් කීමට බලාපොරොත්තු වන්නේ ස්ට්‍රේන්ජර් තිංග්ස් කතාමාලාවේ පැවති ත්‍රාසජනක, උද්යෝගකර, විද්‍යා ප්‍රබන්ද්‍යාත්මක හා වික්‍රමාන්විත සත්‍ය ගවේෂණය අභිබවා දිගහැරෙන සමාජ යතාර්ථයක් පිළිබඳවයි. 

එනම්, පරම්පරා ගණනාවක් මුළුල්ලේ පිරිමි දරුවන්ට හානිකර පූර්වාදර්ශයක් සැපයූ “අඬන පිරිමි” භීතිකාව ගැන යි. 

කඳුළු යනු දුර්වලතාවයක්.. හැඟීම් යනු වගකීමක්.. සංවේදීකම යනු පරාජයකළ යුතු දෙයක්.. ඒ උපන් දා සිට පිරිමි දරුවන් ගේ මනසට කා වැද්දූ සිතුවිල්ලකි. ක්‍රීඩා පිටියේ දී මුහුණ පෑමට සිදුවන නින්දා අපහාසවල සිට වැඩිහිටි සමාජයේ මුහුණ දීමට සිදුවන අභියෝගයන් දක්වා, අඬන පිරිමි යනු සමච්චලයේ ලක්ෂණයකි; දුර්වලකමේ සංකේතයකි; පුරුෂ සමාජභාවයේ අසාර්ථකත්වය සඳහාවන කෙටි යෙදුමකි. 

මෙවන් පසුබිමක, ඩෆර් සොයුරන් (මැට් සහ රොස් ඩෆර්) හෙවත් ඩෆර් බ්‍රදර්ස් විසින් නිර්මාණය කරන ලද ස්ට්‍රේන්ජර් තිංග්ස්, නිහඬව රැඩිකල් විසඳුමක් සපයා ඇත. පිරිමි දරුවන්ට සහ පිරිමින්ට තිරය ඉදිරියට පැමිණ, නිර්භය ව, සහ දණ්ඩනයකට ලක්වීමකින් තොරව අඬන්නට ඉඩ සලසන මෙම අද්විතීය කතාමාලාව, එසේ කිරීමෙන් විසකුරු පිරිමිකම හෙවත් “ටොක්සික් මැස්කියුලිනිටි” වෙත යුද්ධයකට විවෘත ආරාධනාවක් සිදුකර ඇත.  

මනෝවිද්‍යාවට අනුව, විසකුරු පිරිමිකම වර්ධනය වන්නේ චිත්තවේගීය මර්දනය මත ය. දරන්නට සිදුවන ඕනෑම වේදනාවක් හෝ අපහසුතාවයක් ඒ පිළිබඳව මැසිවිලි නැඟීමකින් හෝ හැඟීමක් ප්‍රකාශයට පත්කිරීමකින් තොරව දරා ගැනීම ඉන් අපේක්ෂා කරයි. ඊට ගෙවීමට සිදුවන වන්දිය අදාළම නැත. විසකුරු පිරිමිකම, චිත්තවේගීය ප්‍රකාශනය දුර්වලතාවයට සහ අවදානම අසාර්ථකත්වයට සමාන කරයි. මෙහි ප්‍රතිවිපාක ද මනෝවිද්‍යාවේ මැනවින් සඳහන්කර ඇත – පිරිමින් අතර ඇතිවන මානසික අවපීඩනය, විශාදි තත්ත්වයන් උත්සන්න වීම, මත්ද්‍රව්‍ය භාවිතය ඉහළ යාම, ප්‍රචණ්ඩත්වය සහ සියදිවි හානිකර ගැනීම් ඉහළ යාම මේ අතර වේ. චිත්තවේගීය මර්දනය තුළින් සෞඛ්‍ය සම්පන්න සබඳතා ගොඩනඟා ගැනීමට ඇති හැකියාව දුර්වල වේ. 

අවාසනාවට කරුණ වන්නේ, ජනප්‍රිය සංස්කෘතිය විසින් බොහෝ විට මෙම චිත්තවේගීය මර්දනය වීරකමක් ලෙස සැලකීමයි. “පිරිමි වීරයකු” යනු ප්‍රතිවිපාක නොමැතිව කම්පනය අවශෝෂණය කරගන්නා, නොබිඳෙන සුළු, අසංවේදී, චිත්තවේගීය වශයෙන් දෘඩ තැනැත්තකු බවට වූ ප්‍රතිරූපයක් ගොඩනඟන්නේ ජනප්‍රිය සංස්කෘතිය විසිනි.

ඩෆර් සොයුරන් එළිපිට අභියෝග කරන්නේ මෙම පුරුෂෝත්තම ඒකාකෘතියටයි!

ආරම්භයේ පටන්ම, ස්ට්‍රේන්ජර් තිංග්ස් කතාමාලාව ගැඹුරින් දැනෙන, සමාව අයැදීමකින් තොරව එම හැඟීම් ප්‍රකාශ කරන සංවේදී පිරිමි ළමුන් පිරිසක් කේන්ද්‍රකරගෙන නිමවා ඇත. මයික් ව්හීලර් තම පෙම්වතිය වූ ඉලෙවන් (එල්) අහිමි වීම ගැන ඇතිවන බිය, ශෝකය සහ ආදරය වෙනුවෙන් හඬා වැටෙයි. විල් බයර්ස් තම බිය, මිතුදම, මවගේ ආදරය, සහෝදර ප්‍රේමය, සහ ප්‍රේමණීය හැඟීම් ඇති සෑම තැනකම අතිශයින් සංවේදී වී හඬා වැටෙයි. ලූකස් සින්ක්ලෙයර් තම පෙම්වතිය වන මැක්ස් ගේ අසාද්‍ය තත්ත්වය හමුවේ කුඩා දරුවකු මෙන් හඬා වැටෙයි. ඩස්ටින් හෙන්ඩර්සන් තම හෙල්ෆයර් සගයා වූ එඩී ගේ අභාවය සහ හොඳම මිතුරා වන ස්ටීව් ගේ මරණාසන්න අත්දැකීම හමුවේ හඬා වැටෙයි. ජොනතන් ව්හීලර්, තම පෙම්වතිය වන නැන්සි සමඟ හැඟීම්බර වන ඕනෑම අවස්ථාවක මෙන්ම, තම කුඩා මල්ලීවන විල් කෙරේ ඇති සහෝදර පෙම හමුවේ හඬා වැටෙයි. ජිම් හොපර් තම දියණිය වූ සේරා ගේ හදිසි අභාවය හමුවේ මෙන්ම, තමා හදාවඩා ගත් ඉලෙවන් ගේ නික්මයාම හමුවේ හඬා වැටෙයි. ස්ටීව් හැරිංග්ටන් තම හොඳම මිතුරන්ගෙන් නික්මයන මොහොතේ හඬා වැටෙයි. මැක්ස් ගේ විසකුරු ගතිපැවතුම් ඇති සොයුරු බිලී හාර්ග්‍රොව් තම පියාගේ අපයෝජනය හමුවේ අසරණ වී හඬා වැටෙයි. එපමණක් නොව කතාමාලාවේ දුෂ්ඨයා වූ වෙක්නා/වන්/හෙන්රි ක්‍රීල්/මිස්ටර් වට්ස්ඉට් පවා තම අතීත කම්පනයන් සිහිපත්වීම හමුවේ හඬා වැටෙයි. 

ස්ට්‍රේන්ජර් තිංග්ස් මෙකී කිසිඳු හැඟීමක් චිත්තවේගීය මර්දනයට ලක්කර නොමැත. බිය, කෝපය, අසරණකම හමුවේ බිඳවැටීමට, කඳුළු සැලීමට සහ අසරණකම ප්‍රකාශ කිරීමට ස්ට්‍රේන්ජර් තිංග්ස් පිරිමි ළමුන්ට ඉඩ සලසා ඇත. 

මෙහි දී මතුකළ යුතු වැදගත් කරුණ වන්නේ මෙකී චරිත හඬාවැටීම නොව, සමස්ත කතාවස්තුව එම කඳුළුවලට සලකන ආකාරයයි. එම කඳුළු සමච්චලයට ලක්කිරීමට, නොසලකා හැරීමට හෝ දුර්වලකමේ ලක්ෂණයක් ලෙස බැහැර කිරීමට කිසිඳු අවස්ථාවක ඩෆර් සොයුරන් කටයුතුකර නැත. එම කඳුළු රාමුකර තිබෙන්නේ අසාමාන්‍ය තත්ත්වයන් හමුවේ ගොඩනැඟෙන මිනිස් ප්‍රතිචාර ලෙස පමණි!

හඬා වැටීම ස්ට්‍රේන්ජර් තිංග්ස් කතාමාලාවේ එන වීරයන්ගේ වීරත්වය පහත හෙළන්නේ නැත. හඬා වැටුන ද, ඔවුහු තවමත් රාක්ෂයන් සමඟ සටන් කරති; ගැටුම්වලට මුහුණ දෙති; අභියෝග ජයගනිති; ආදරණීයයන් සමඟ එක්වෙති. චිත්තවේගීය මර්දනය නොමැති තැන පිරිමියකුට කායික හා මානසික වශයෙන් යා හැකි දුර බොහෝ බව ස්ට්‍රේන්ජර් තිංග්ස් කතාමාලාව අපට පෙන්වා දෙයි. චිත්තවේගීය ප්‍රකාශනය ශක්තියක් මිස දුර්වලකමක් නොවේ.

එසේ කිරීමෙන්, ඩෆර් සොයුරෝ දිගුකලක් තිස්සේ පැවති සංස්කෘතික මුලාවක් බිඳ දමති – පුරුෂභාවය වලංගු වීමට නම් එය දැඩි, නිහඬ සහ චිත්තවේගීය වශයෙන් නිසරු විය යුතු ය යන්න එම මුලාවයි. ඒ වෙනුවට, ස්ට්‍රේන්ජර් තිංග්ස් පුරුෂ සමාජභාවය සංවේදී, නම්‍යශීලී, හැඟීම්බර සහ මානුෂීය එකක් ලෙස ඉදිරිපත් කරයි. ධෛර්යය බිය සමඟ සහජීවනයෙන් පැවතිය හැකි බවත්, නායකත්වය මෘදු මොළොක් බව සමඟ සහජීවනයෙන් පැවතිය හැකි බවත්, ආදරය බොහෝ විට හස්තයන් වෙනුවට කඳුළු හරහා හෙළිවන බවත් මෙම අද්විතීය කතාමාලාව යෝජනා කරයි.

අප 2026 වර්ෂයට පා තැබුවා පමණි. එහෙත් තවමත් ප්‍රතිවිපාක නොමැතිව පිරිමි ළමුන්ට මෘදු වීමට ඉඩ ලබාදීමට මාධ්‍යයට හැකියාව ලැබී නැත. එවන් පසුබිමක, ඩෆර් සොයුරන්ගේ ස්ට්‍රේන්ජර් තිංග්ස් වැදගත් මෙහෙවරක් ඉටුකර තිබේ. විශේෂයෙන් ම තමන්ගේ ම චිත්තවේගීය ලෝකවල සැරිසරන තරුණ පිරිමි ළමුන් සඳහා මෙම කතාමාලාව දුර්ලභ අවස්ථාවක් ලබා දී ඇත: එනම් අවසරයයි – අධික ලෙස හැඟීම් දැනීම් ඇතිවීමට අවසර ලබා දී ඇත; ශෝකවීමට අවසර ලබා දී ඇත; විවෘතව ආදරය කිරීමට අවසර ලබා දී ඇත; ලැජ්ජාවකින් තොරව හඬන්නට අවසර ලබා දී ඇත. 

එමෙන්ම, වැඩිහිටි නරඹන්නන්ට මෙමඟින් වැදගත් නිවැරදි කිරීමක් ලබා දී ඇත: ඔබ හැදී වැඩුණු පරිසරය තුළ ඔබගේ සමාජභාවය හමුවේ ඔබ විසින් ගොඩනඟාගත් පෞරෂත්වය විසින් යටපත්කළ හෝ ප්‍රතික්ෂේපකළ මානුෂීය ගුණාංග ඔබෙන් පසු පැමිණෙන අනාගත පරම්පරා විසින් ද අත්දකිමින් සිටින බව සිහිපත්කර දීම එම නිවැරදි කිරීමයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ ඔහුගේ බාල පුත්‍රයාත් රිමාන්ඩ් !

සටහන - රුවන් නෙළුගොල්ල මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් අද...

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් 500කට විනය පියවර

සටහන - රුවන් නෙළුගොල්ල මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් 500ක...