රෂිකා හෙන්නායක ජනවාරි 16, කොළඹ LNW :
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (16) පෙරවරුවේ 2026 ජාතික නිවාස වැඩසටහනේ සමාරම්භක උත්වසවය යාපනය චාවකච්චේරිය මීසාලේ ගම්මානයේදි ආරම්භ වේ.
නිවාස ඉදිකිරීම් හා ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ සඳහන් කළේ, මේ යටතේ මේ වසර තුළ නිවාස 31,000 ක් ඉදිකිරීමට සැලසුම් කර ඇති බවයි.
තවද, ජාතික ව්‍යසනයක් බවට පත්ව ඇති විෂ මත්ද්‍රව්‍ය උවදුර රටින් මුලිනුපුටා දැමීමේ අරමුණින් ක්‍රියාත්මක කරන “රටම එකට” ජාතික මෙහෙයුමේ උතුරු පළාත් වැඩසටහන අද (16) පස්වරුවේ යාපනය තාක්ෂණ විද්‍යාලයීය ක්‍රීඩා පිටියේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි.
“රටම එකට” ජාතික මෙහෙයුමේ සමාරම්භක උත්සවය 2025 ඔක්තෝබර් 30 දින කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්වුණු අතර, එහි දකුණු පළාත් වැඩසටහන 2025 නොවැම්බර් 20 දා තංගල්ලේදී පැවැත්විය.
විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීමේ අත්‍යවශ්‍යතාව පිළිබඳව උතුරු පළාතේ ජනතාව දැනුවත් කිරීමත්, “රටම එකට” ජාතික මෙහෙයුම මඟින් ඉටු කෙරෙන සුවිශේෂී කාර්යභාරය පැහැදිළි කිරීමත්, එමෙන්ම මෙම මෙහෙයුම සාර්ථක කර ගැනීම සඳහා උතුරු පළාතේ මහජනතාවගේ හා අදාළ සියලු පාර්ශවයන්ගේ සාධනීය දායකත්වය ලබා ගැනීමත් අද පැවැත්වෙන වැඩසටහනේ ප්‍රධාන අරමුණු ලෙස සඳහන් වේ.
මෙම ජාතික මෙහෙයුම ක්‍රියාත්මක කිරීමේදී විෂ මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන්, අලෙවි කරන්නන් සහ ජාවාරමට සම්බන්ධ සියලු පාර්ශවයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම, භාවිතයට ඇබ්බැහි වූ පුද්ගලයන් නිසි පරිදි පුනරුත්ථාපනය කිරීම, විෂ මත්ද්‍රව්‍යවලට එරෙහිව සමස්ත සමාජය බලගැන්වීම සඳහා මතවාද ගොඩනැංවීම, අදාළ රාජ්‍ය ආයතන ඇතුළු සියලු පාර්ශව එකම අරමුණක් සඳහා ඒකරාශීව කටයුතු කිරීම සහ මත්ද්‍රව්‍ය පිටුදැකීම කෙරෙහි යොමු වූ ධනාත්මක ප්‍රචාරණය සිදු කිරීම යන ප්‍රධාන කාර්යයන් සමගාමීව ක්‍රියාත්මක කෙරේ.
පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිකුත් කළ වාර්තාවකට අනුව, 2025 ඔක්තෝබර් 30 සිට 2026 ජනවාරි 13 දක්වා කාලය තුළ “රටම එකට” ජාතික මෙහෙයුම යටතේ විෂ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් සිදුකළ සමස්ත වැටලීම් ගණන 69,960ක් වේ. එහිදී සැකකරුවන් 69,318 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, රැඳවුම් නියෝග ලබාගත් සැකකරුවන් සංඛ්‍යාව 1,446ක් වේ.
එමෙන්ම සැකකරුවන් 58 දෙනෙකු සම්බන්ධයෙන් නීති විරෝධී වත්කම් විමර්ශන මේ වන විට ආරම්භ කර ඇති අතර, මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් අත්අඩංගුවට ගෙන පුනරුත්ථාපනයට යොමු කර ඇති පිරිස 1,384 දෙනෙකු බවද වාර්තා වේ.
විෂ මත්ද්‍රව්‍ය ව්‍යාප්තියෙන් ඇතිවන සෞඛ්‍ය, සමාජ හා ආර්ථික පරිහානිය වළක්වා සමාජ සුරක්ෂිතභාවය තහවුරු කිරීමේ අරමුණින් “රටම එකට” ජාතික මෙහෙයුම අඛණ්ඩව ක්‍රියාත්මක කෙරේ.


