ශීත ඔලිම්පික් උළෙලෙන් දිස්වූයේ සාතන් වන්දනාවක් ද? “පස්කොන් තරුවේ” ඇත්ත කතාව මෙන්න!

Date:

පුවත අසන්න

පුවත නරඹන්න

ඉසුරු පරාක්‍රම

පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉකුත් පෙබරවාරි 06 වන දින ඉතාලියේ මිලානෝ නුවර 2026 ශීත සෘතු ඔලිම්පික් උළෙල ආරම්භ විය. පෙබරවාරි 22 වන දින දක්වා පැවැත්වෙන ශීත සෘතු ඔලිම්පික් උළෙලේ සංවිධායකයන් ඊට අති උත්කර්ෂවත් සමාරම්භක උත්සවයක් සංවිධානය කර තිබිණි.

කෙසේවෙතත්, මෙම සමාරම්භක අවස්ථාව සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල ඇති වූ සංවාදය නම් සුබවාදී එකක් නොවේ.

ඊට හේතුව වන්නේ, ශීත සෘතු ඔලිම්පික් උළෙලේ ප්‍රධාන සැරසිලි ආයිතමය වූ ඔලිම්පික් කල්දේරම පහන් දැල්වීම ආරම්භවීම සමඟ එය යක්ෂයා හෙවත් සාතන් ඇදහීමේ පූජාවක් මෙන් දිස්වූ බවට ප්‍රේක්ෂකයන්ට පෙනී යාමයි!

මෙම ඔලිම්පික් කල්දේරම දැල්වීමත් සමඟ ඉන් සාතන්ට සම්බන්ධ සංකේත සහ සාතන් ඇදහීමේ රහසිගත පණිවුඩ දිස් වූ බවට ලොව නන්දෙස නිරීක්ෂකයන් අදහස් පළකරන්නට විය. මේ බව සනාථ කරන වීඩියෝපට සහ පෝස්ටු සමාජ මාධ්‍ය ගිනිබත් කරන්නට විය. මෙවන් කතිකාවක් ආරම්භවීම සමඟ කුමන්ත්‍රණ න්‍යායාචාර්යවරුන් කලඑළි බසින බව ද අමුතුවෙන් පැවසිය යුතු නැත!

කෙසේවෙතත්, තතුවල නිරවද්‍යතාව පරීක්ෂාකරන්නන් (fact-checker) සහ ශීත සෘතු ඔලිම්පික් උළෙලේ නිල ආරංචිමාර්ගවලට අනුව මෙම සාතන් න්‍යායේ සත්‍යතාවයක් නොමැති බව පෙනී යයි. ඔවුන් පෙන්වා දෙන්නේ ශීත ඔලිම්පික් උළෙලේ සමාරම්භක අවස්ථාවේ දිස් වූ පහන් දැල්වීම් සාවද්‍ය ලෙස අර්තනිරූපණය කර තිබෙන බවයි. 

මෙම ආන්දෝලනාත්මක සංවාදය අරම්භවන්නේ ඔලිම්පික් ගිනිදැල් නිර්මාණය කර තිබෙන ආකාරය දිස්වීමත් සමඟයි. මෙමඟින් දැල්වී දිස්වන ව්‍යූහය පස්කොන් තරුවක් හෙවත් “පෙන්ටග්‍රෑම්” එකකට සමාන බවත්, එය ජනප්‍රිය සාතන්වාදය සමඟ සම්බන්ධවන සංකේතයක් බවත් සමාජ මාධ්‍ය පරිශීලකයන්ගේ චෝදනාවයි. එමෙන්ම, මෙම අවස්ථාවේ දිස් වූ අග්නිමය රතු-තැඹිලි ආලෝකකරණය “බාල්” හෝ “බැෆොමට්” වැනි ප්‍රබන්දාත්මක චරිතවලට කැඳවුම් සිදුකරන ගුප්ත උත්සවවලට සමාන බවට තවත් පිරිසක් තර්ක කරති. 

මේ අතර, ඔලිම්පික් උළෙල සංකේතවත් කරන ඔලිම්පික් මුදු සෙනසුරු වන්දනාවටත්, ද්විත්ව කල්දේරම් සොලොමන් දේවස්ථානයේ ගුප්ත කුළුණුවලටත්, සමස්ත සමාරම්භක උත්සවයම “සිරකරුවන්ගේ ලොවටත්” (prison planet) සමාන බව තවත් පිරිසකගේ අදහසයි. ඒ සියල්ල මධ්‍යයේ සමස්ත උත්සවය ම සාතන්වාදී ගෝලීය බලවතුන්ගේ ලොව ආක්‍රමණය කිරීමේ සැලැස්මක කොටසක් බවට තවත් පිරිසක් තර්ක කරති. 

යතාර්ථය ඊට හාත්පසින්ම වෙනස් ය. මෙම ඔලිම්පික් කල්දේරම වසර ගණනාවක ඉංජිනේරු සහ කලාත්මක සැලසුම්කරණයේ නිශ්පාදනයකි. 

සත්‍ය ව්‍යූහය – පෙන්ටග්‍රෑම් එකක් නොවේ!

ලීඩා කැස්ටලි, පාවුලෝ ෆැන්ටින් සහ ෆින්කැන්ටියරි වැනි නිර්මාණකරුවන්ගේ සහාය ද ඇතිව මාර්කෝ බාලිච් නම් නිර්මාණකරුවා විසින් සකසන ලද මෙම ව්‍යුහය ඇලුමිනියම් ඒකක 1,440 කින් සහ හැරවුම් ලක්ෂ්‍ය 244 කින් සමන්විත වේ. විෂ්කම්භය මීටර් 3.1 – 4.5 අතරවන මෙම ව්‍යූහයෙන් සංකේතවත් කරන්නේ ජනතා ව්‍යාපාරය, එකමුතුකම සහ පරිවර්තනය යි. පස්කොන් තරුවක හැඩයක් ගැනීමටත් වඩා, මෙම ව්‍යූහයේ චාලක හැඩය නිර්මාණයකර තිබෙන්නේ ඉන් විහිදෙන දැල්ල ආරක්ෂා කිරීමට සහ කාලගුණික තත්ත්වයන්ට අනුවර්තනය වෙමින් විමෝචනය අවම කිරීමට ය. 

තව ද, උත්සවයේ ආලෝකකරණය දන්තේ ඇලිගියරිගේ “ද ඩිවයින් කොමඩි” නම් කවි පන්තියේ “ඉන්ෆර්නෝ” කවිපෙළිින් අභාෂය ලබාගෙන ඇති බව වාර්තා වේ. ඉන්ෆර්නෝ යනු පුරාණ රෝම කවියකුවන වර්ජිල්ගේ මඟපෙන්වීම යටතේ දන්තේ විසින් අපායට ගිය ගමන පිළිබඳව කියවෙන කවිපෙළකි. එහි දී පෘථිවිය තුළ පිහිටා ඇති වධහිංසාවේ කේන්ද්‍රීය කව නවයක් නිරූපණය කරයි. ඒ අනුව, මෙම ව්‍යූහය හුදෙක් ආගමික චාරිත්‍රයකට වඩා ජනතා අරගලය, ඔරොත්තු දීමේ හැකියාව සහ අලුත් වීම කෙරේ සාහිත්‍යමය උපහාරයක් දක්වයි. 

එමෙන්ම, සොබාදහම සහ මානව දක්ෂතාවය අතර සමඟිය පිළිබිඹු කරන සිත්තරූ ලියනාඩෝ ඩා වින්චිගේ වැල්රටාවල අභාෂය ද මීට ඇතුළත්කර ඇත. ඩා වින්චි ගේ අවසන් භෝජන සංග්‍රහය සිතුවම පින්තාරු කරන ලද්දේ ඉතාලියේ මිලානෝ නුවරවන අතර, සොබාදහම සහ මානව දක්ෂතාවය අතර පවතින සමඟිය යනු මිලානෝ නුවරට ආවේණික හර වටිනාකම්වලින් එකකි. ශීත සෘතු ඔලිම්පික් මෙවර පැවැත්වෙන්නේ මිලානෝ නුවරවන පසුබිමක, මෙම හර වටිනාකම් සත්කාරක නගර අතර පවා පවතින බව පෙන්වීමට ශීත සෘතු ඔලිම්පික් ඉතිහාසයේ පළමු වරට කල්දේරම් දෙකක් පිළිවෙලින් ඉතාලියේ කෝර්ටිනා ද ඇම්පෙසෝ සහ මිලානෝ නුවර එකවර දල්වන ලදී.

එබැවින් කිසිඳු අන්දමකින් සාතන්වාදී පස්කොන් තරුවක්, සංකේතයක් හෝ වෙනත් යමක් මෙම කල්දේරමෙන් දිස් නොවන අතර, සමස්ත සමාරම්භක උළෙල තුළ කිසිඳු සාතන්වාදී වන්දනාවක් නිරූපණයකරන ලක්ෂණයක් ඇතුළත් වී නොමැති බවයි තතුවල නිරවද්‍යතාව පරීක්ෂාකරන්නන් සහ ඉතිහාසඥයන්ගේ මතය වී තිබෙන්නේ. එමෙන්ම, කුමන්ත්‍රණ න්‍යායාචාර්යවරුන් විසින් පෙන්වා දෙන පරිදි ද්විත්ව කල්දේරම්වලින් ගුප්ත කුළුණු නියෝජනය කිරීමට කිසිඳු හැකියාවක් නොමැති බවට ද ඔවුහු අවධාරණය කරති. එපමණක් නොව, තිරසාරභාවය, ආරක්ෂාව සහ නවෝත්පාදනය මෙවර ශීත සෘතු ඔලිම්පික් ව්‍යාපෘතියේ මූලධර්මයන් බව ඔලිම්පික් බලධාරීහු පවති.  

සාතන් භීතියේ මූලාරම්භය

මෙම ආන්දෝලනාත්මක ජනමතය වඩාත් කැපී පෙනීමට පවතින එකම හේතුව එහි පවතින සාවද්‍යබව පමණක් ම නොවේ. මෙම කැළඹීම මේ අන්දමින් ම මෑත ඉතිහාසයේ දක්නට ලැබී තිබීම තවත් හේතුවකි. 1980 ගණන්වල සහ 1990 ගණන්වල මුල්භාගයේ දී එක්සත් ජනපදයේ සහ යුරෝපයේ ඇතැම් ප්‍රදේශවල සාතන් භීතිය ප්‍රභල අන්දමින් මුල්බැසගෙන තිබිණි. තහවුරුකරන ලද සාක්ෂි නොමැති වූව ද, සංවිධානාත්මක සාතන්වාදී නිකායන් විසින් දරුවන් අපයෝජනය කරන බවට වූ භීතිකාවක් මෙම යුගයේ දී පැතිර තිබිණි. එතැනින් ද නොනැවතී, ප්‍රධාන ධාරාවේ මාධ්‍ය විසින් මෙවන් තොරතුරු අනවශ්‍ය අන්දමින් උළුප්පා පෙන්වීම, “ප්‍රතිසාධන මතක” චිකිත්සා වැනි විද්‍යාත්මක පදනමක් නොමැති මනෝචිකිත්සක ක්‍රමවේද අනුගමනය කිරීම සහ ආගමික ව්‍යාපාර දියත් කිරීම නිසාවෙන් මෙම භීතිකාව උඩුදුව ගියේය. 

එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ පැවැත්වූ මැක්මාර්ටින් ළමා අපයෝජන නඩුව වැනි වැනි ඉහළ පෙළේ නඩු වසර ගණනාවක් ඇදී ගිය අතර, සාක්ෂි නොමැතිකම නිසා කාලයත් සමඟ නඩු අහවරකරන ලද්දේ වගඋත්තරකරුවන්ගේ වෘත්තීය කීර්තිනාමයන් ද නැත්තටම නැතිකර දමමිනි. හෙවි මෙට්ල් සංගීතඥයන්, “ඩංජන්ස් ඇන්ඩ් ඩ්‍රැගන්ස්” වැනි බෝඩ් ක්‍රීඩා සහ ළමා කාටූන අරඹයා මෙම සාතන් භීතිකාව ක්‍රියාත්මක වූයේ එවන් විනෝදාශ්වාද අංග ඔස්සේ යක්ෂ නමස්කාරය ප්‍රවර්ධනය කරන බවට චෝදනා එල්ල වෙමිනි. 90 දශකයේ මැද භාගය වන විට, මෙම භීතිය ජනිත වන්නේ හුදෙක් මිනිසුන් විසින්ම ගෙනඑනු ලබන යෝජනා සහ සමාජ කාංසාව මඟින් මිස සාතන්වාදී න්‍යාය පත්‍රයක් අරඹයා නොවන බවට ඇමරිකානු එෆ්බීඅයි වාර්තා සහ පර්යේෂණ අධ්‍යයනයන් විසින් නිගමනය කර තිබිණි. 

ඔලිම්පික් උළෙල අරඹයා “සැඟවුණු න්‍යායපත්‍ර” චෝදනාව එල්ල වූ පළමු අවස්ථාව ද මෙය නොවේ. 2012 වර්ෂයේ දී එක්සත් රාජධානියේ ලන්ඩන් නුවර පැවැත් වූ ඔලිම්පික් උළෙල හා 2024 වර්ෂයේ දී ප්‍රංශයේ පැරිස් නුවර පැවැත් වූ ඔලිම්පික් උළෙල ද “රහසිගත මතවාදයන්” ප්‍රවර්ධනයකරන බවට විවිධ කණ්ඩායම් විසින් චෝදනාකර තිබිණි. කාලයත් සමඟ මෙම චෝදනා බැහැර විය. 

මෙවර ශීත සෘතු ඔලිම්පික් උළෙල ඉතාලියේ මිලානෝ නුවර පැවැත්වීමේ දී හටගත් සාතන් භීතිකාව ද මෙම සමාජීය ලක්ෂණයේ ම දිගුවක් බවට උපකල්පනයකළ හැකි ය. තාක්ෂණය අතින් සීඝ්‍ර වෙනස්කම් සිදුවන වර්තමානයේ කුඩා සිදුවීමක් අරඹයා පවා සමාජ අවිනිශ්චිතතාවය දැවැන්ත අන්දමින් ගොඩනැඟිය හැකි ය. එවන් පසුබිමක, සංකේතාත්මක ප්‍රතිරූපවලින් සමාජීය කැළඹීම් ඇතිවීම පිළිබඳව අප පුදුම නොවිය යුතු ය. ඊට ඉන්ධන සැපයීමට සමාජ මාධ්‍ය සැදී පැහැදී සිටින බව ද අප අමතක නොකළ යුතු ය. එබැවින්, ඇසට ප්‍රිය ආකර්ෂණීය නිර්මාණයක සැබෑ අරුත විකෘතිකර ඊට භීතිය ප්‍රවර්ධනයකරන අරුත් ආරෝපණය කොට කුමන්ත්‍රණ න්‍යායන් ගොඩනැඟීම තුළින්, නිරායාසයෙන් ම එම නිර්මාණයේ දාරයක්, ශීර්ෂයක් පවා සැඟවුණු කුමන්ත්‍රණයක “සාක්ෂියක්” බවට පත්විය හැකි ය. 

බිය සහ සාවද්‍ය තොරතුරු ප්‍රවර්ධනය කිරීමෙන් විනාශයේ පළමු ගොදුර බවට පත්වන්නේ යතාර්ථය බව අප සිහියේ තබා ගත යුතු ය. දකින දකින තැන සැඟවුණු න්‍යායපත්‍ර තිබෙනවා ද යන්න සොයනවාට වඩා මෙම සරල යතාර්ථය අවබෝධකර ගැනීම මනුෂ්‍ය වර්ගයාට බොහෝ සෙයින් ප්‍රයෝජනවත් ය. 

*ඡායාරූප: අන්තර්ජාලය

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කථානායක ජගත්ට එරෙහි පැමිණිල්ල විභාග කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම තීරණය කරයි

සටහන - රුවන් නෙළුගොල්ල කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව ලැබී...

අපෙන් ඈත් වෙලා ගිය බොහෝ පිරිසක් දැන් අපිට එකතු වෙමින් ඉන්නවා -නාමල්

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW : මේ රටේ වෛද්‍යවරුන්ට...

රුසියා හමුදා බුද්ධි අංශ ජෙනරාල්වරයාට වෙඩි තැබීමේ සිදුවීමට අදාළව තිදෙනෙකු අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 08, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගියදා රුසියාවේ හමුදා...

රුපියල් බිලියනය බැගින් වන්දි ලබාදෙන ලෙස ඉල්ලා ඇමති නලින්දගෙන් විමල්ට එන්තරවාසියක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: රුපියල් බිලියනය බැගින් වන්දි...