ආශිකා බ්‍රාහ්මණ
කොළඹ LNW:ශ්‍රී ලංකා ආර්ථිකයේ විශේෂ තත්ත්වයක් පෙන්නුම් කරමින් විදෙස්ගත් ශ්‍රමිකයන් හරහා රටට ලැබෙන විදේශ ප්‍රේෂණවල කැපී පෙනෙන වර්ධනයක් සිදුව ඇතැයි පසුගියදා මහ බැංකුව නිවේදනය කළේය.
ඒ අනුව 2026 ජනවාරි මාසයේ දී විදෙස්ගත සේවා නියුක්තිකයන්ගෙන් ලද ප්‍රේෂණ ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 751.1 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසන ලදී. මෙය 2025 ජනවාරි මාසයේ දී මෙරටට ලැබී තිබුණු ප්‍රේෂණ ප්‍රමාණය වූ ඇමරිකානු ඩොලර් මිලියන 573 හා සැසඳීමේ දී 31.1% ක කැපීපෙනෙන ඉහළයාමකි.
මේ අතර වර්ෂයක් තුළ විදේශ සේවා නියුක්තිකයන්ගෙන් ශ්‍රී ලංකාවට ලැබුණු වැඩිම ප්‍රේෂණ ප්‍රමාණය 2025 වසරේ දී ලැබී තිබුණු අතර එම වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 8.07ක් වේ.
එහිදී ඉතිහාසයේ තනි මාසයක් තුළ ලැබී ඇති වැඩිම ප්‍රේෂණ ප්‍රමාණය 2025 දෙසැම්බර් මාසයේ දී වාර්තා වී ඇති අතර එය ඇමරිකානු ඩොලර් මිලියන 879.1ක් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව දක්වා තිබේ. කෙසේවෙතත් ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ, විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණවලට දිට්වා සුළි කුණාටුවෙන් පසුව ලැබුණු ප්‍රේෂණ වැනි වෙනත් ප්‍රේෂණ ද ඇතුළත් විය හැකි බවයි.
කුමන හෝ තත්ත්වයක් ඇත මෙරටට ලැබෙන විදේශ ප්‍රේෂණවල වර්ධනයක් සිදුවීම ආර්ථිකයේ නැග්ම පිළිබඳ සුභ ලකුණකි. එය රාජ්‍ය පැත්තෙන් සාධනීය කාරණයකි. ඒ අනුව විදේශ ප්‍රේෂණ රටට ආර්ථිකයට කරන බලපෑම කෙබඳුද යන්න මෙහිදී විමසා බැලීමට අපේක්ෂා කරයි.
උපායමාර්ගික වැදගත්කම
උපායමාර්ගිකව විදේශ ප්‍රේෂණවල වැදගත්කම පිළිබඳ සලකා බැලීමේදී ශ්‍රී ලංකාවේ ජාතික ආර්ථික ව්‍යුහය තුළ විදේශ ප්‍රේෂණ යනු දශක කිහිපයක සිට අඛණ්ඩව පවතින, වඩාත්ම තීරණාත්මක මූල්‍ය මූලාශ්‍රයයි. විදේශයන්හි සේවය කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් විසින් මෙරටට එවනු ලබන මෙම ප්‍රාග්ධන ගලනය ජාතික ආර්ථිකයේ ස්ථාවරත්වය සුරකින ප්‍රධානතම “ජීවනාලිය” ලෙස සැලකිය හැකිය. අපනයන ආදායම හෝ සංචාරක කර්මාන්තය වැනි අනෙකුත් විදේශ විනිමය උත්පාදන ක්ෂේත්‍ර ගෝලීය වසංගත හෝ දේශපාලනික අස්ථාවරත්වයන් හමුවේ දැඩි පසුබෑමකට ලක් වුවද, ප්‍රේෂණ ගලා ඒම සාපේක්ෂව ස්ථාවර මට්ටමක පවතී. මෙම ස්ථාවරත්වය මගින් විදේශ විනිමය පද්ධතියේ පවතින අසමතුලිතතාවයන් සමනය කරන අතර, රටේ සමස්ත මූල්‍ය ස්ථාවරත්වය කෙරෙහි එය සෘජුවම බලපානු ලබයි.
ප්‍රේෂණවල බලපෑම වඩාත් තීරණාත්මක ලෙස විද්‍යමාන වන්නේ රටේ ගෙවුම් ශේෂය කළමනාකරණය කිරීමේදීය.
මේ අතර විදේශ ප්‍රේෂණ සාර්ව ආර්ථිකය කෙරෙහිද බලපානු ලබයි. මෙහිදී කිවයුතු වන්නේ විදේශ ප්‍රේෂණ යනු හුදෙක් මුදල් ප්‍රවාහයක් පමණක් නොව, ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික සමතුලිතතාව (Macroeconomic Equilibrium) පවත්වා ගන්නා උපායමාර්ගික මෙවලමක් බවයි. ජාතික මට්ටමේ විදේශ විනිමය සංචිත ශක්තිමත් කිරීම මගින් ගෙවුම් ශේෂයේ (Balance of Payments) පවතින පීඩනය අවම කිරීමට මෙය දායක වෙයි. ප්‍රේෂණ මගින් ජංගම ගිණුමේ හිඟය පියවන ප්‍රධාන ආකාර තුනකි.
- ආනයන – අපනයන පරතරය පියවීම
අපනයන ආදායමට වඩා ආනයන වියදම් ඉහළ මට්ටමක පවතින තත්ත්වයක එම පරතරය පියවාගැනීමට අවශ්‍ය අතිවිශාල විදේශ විනිමය ප්‍රමාණය සපයා ගැනීමට ප්‍රේෂණ උපකාරී වෙයි. - බාහිර ණය සේවාකරණය
ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොළේ විශ්වාසය තහවුරු කිරීම සඳහා අවශ්‍ය වන විදේශ විනිමය සංචිත ගොඩනැගීමට ප්‍රේෂණ සෘජු දායකත්වයක් ලබා දෙයි. - මූල්‍ය ප්‍රතිපත්ති නම්‍යශීලීභාවය
රජයට සහ මහ බැංකුවට අවශ්‍ය මූල්‍ය අවකාශය (Fiscal Space) ලබා දීම මගින් දේශීය ආර්ථික කම්පන කළමනාකරණයට පහසුකම් සපයයි.
මෙහිදී තීරණාත්මක කාරණය වන්නේ මෙම ප්‍රේෂණ ගලා ඒම අඩාල වුවහොත් ශ්‍රී ලංකා රුපියල සාමාන්‍ය මට්ටමින් අවප්‍රමාණය වීමට එහා ගිය “නිදහස් කඩා වැටීමකට” (Free-fall) ලක් වීමේ අවදානමක් පැවතීමයි. එවැනි තත්ත්වයක් තුළ ඉන්ධන, ඖෂධ සහ ආහාර වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීමට නොහැකි වන අතර, එය උග්‍ර උද්ධමනයකට සහ සමාජයීය අස්ථාවරත්වයකට මග පාදයි. එනම්, ප්‍රේෂණ යනු රටේ මුදල් ඒකකයේ අගය ආරක්ෂා කරන අවසන් ආරක්ෂක පවුරයි.
2022 ඇතිවූ ආර්ථික අර්බුදය හමුවේ මෙම තත්ත්වයට රටක් ලෙස මුහුණ දුන් අතර රටේ ආර්ථිකයේ පිරිහීම මත විදෙස් ප්‍රේෂණ ගලා ඒමද ඉතා මන්දගාමී ස්වභාවයක් ගනු ලැබීය. එය ඉතා විශාල ආර්ථික කම්පනයක් වන අතර නැවත එය ආවරණය කර ගැනීම වෙනුවෙන් ආර්ථිකය ගොඩගැනීමේ විශ්වාසය මෙන්ම සමාජීය විශ්වාසය ඇති වීමද අවශ්‍ය ය.
ප්‍රශස්තම ප්‍රතිලාභය
විදේශ ප්‍රේෂණ ජාතික මට්ටමෙන් ගලා එන මුදල් ප්‍රවාහයක් වුවද එහි සැබෑ ප්‍රතිලාභය වඩාත් ප්‍රශස්ත ලෙස අත්විඳින්නේ බිම් මට්ටමේ වෙසෙන ජනතාවයි. මෙහි පවතින “ගුණක බලපෑම” (Multiplier effect) ආර්ථික ක්‍රියාවලියට නව පණක් ලබා දෙයි. උදාහරණයක් ලෙස, ප්‍රේෂණ ලබන පවුලක් එම මුදල් දේශීය සිල්ලර වෙළඳසැලක වියදම් කරන විට, එම වෙළෙන්දා තවත් සැපයුම්කරුවෙකුගෙන් භාණ්ඩ මිලදී ගනී. මේ ආකාරයට එක් විදේශ විනිමය ඒකකයක් දේශීය ආර්ථිකය තුළ කිහිපවරක් සංසරණය වෙමින් කුඩා පරිමාණ ව්‍යාපාර හා රැකියා අවස්ථා උත්තේජනය කරයි.
ඒ අනුව බොහෝවිට සූක්ෂම ආර්ථික චිත්‍රයේදී වුවද ගෘහස්ථ කලාපය හා ප්‍රාදේශීය වශයෙන් ආවරණය වන කලාපය තුළ විදේශ ප්‍රේෂණවල බලපෑම පැහැදිලිව හඳුනා ගත හැකිය. ගෘහ ඒකකයකින් ප්‍රාදේශීය ආර්ථිකයට සැලසෙන වාසිදායක බව ගැන මෙහිදී අවධානය යොමුකළ හැකිය.
ගෘහ ඒකකවලට ලැබෙන සෘජු ප්‍රතිලාභ පිළිබඳ සැලකීමේදී විශේෂයෙන් මානව ප්‍රාග්ධන ආයෝජනය, දරිද්‍රතාවයෙන් මිදීම, වත්කම් ගොඩනැගීම හෙවත් ඉතුරුම් සහ ස්ථාවර වත්කම් අත්පත්කර ගැනීම දක්වා වූ ප්‍රධාන කරුණු ලෙස හඳුනා ගත හැකිය. මානව ප්‍රාග්ධන ආයෝජනයේදී අධ්‍යාපන හා සෞඛ්‍ය සුරක්ෂිතභාවය පවුලක් තුළට කේන්ද්‍ර වීමට පටන් ගනී. වත්කම් අත්පත්කරගැනීම හමුවේ පවුලක ආර්ථික පදනම ගොඩනැගෙන අතර පවුලට සුරක්ෂිත බවක් ගෙන එයි. ඒ අනුව කුටුම්භය තුළ සිදුවන මෙකී සංවර්ධනය අනෙක් පසින් පෙරළා සමාජයට ලැබීමට පටන් ගනී.
කුටුම්භය තුළ ඇතිවන වන එම සුරක්ෂිත බව ඉන් පිටටත් සමාජයට පැමිණෙන විට ව්‍යවසායකත්ව පැත්තෙන් සිදුවන වර්ධනය එනම් පවුලේ පරිභෝජන රටාව වෙනස් වීම හරහා ප්‍රාදේශීය මට්ටමේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට (SMEs) පවතින ඉල්ලුම ඉහළ යාම, යටිතල පහසුකම් සහ දේපල ඉහළ යාම එනම් නිවාස ඉදිකිරීම් ක්ෂේත්‍රය වර්ධනය වීම හරහා ප්‍රාදේශීය මට්ටමේ ශ්‍රමිකයන්ට නව රැකියා අවස්ථා නිර්මාණය වීම, බැංකු පද්ධතියේ ව්‍යාප්තිය ආදිය සිදුවනු දැකගත හැකිය. ඒ අනුව විදේශ ප්‍රේෂණ ශ්‍රී ලංකාව වැනි කුඩා ආර්ථිකයක් පවතින රටකට සිදුකරන බලපෑම සුළුපටු නොවේ.
අනෙක් පසින් කුටුම්භ සම්බන්ධයෙන් අවදානමක්ද පවතියි. එනම් මෙම ප්‍රේෂණ ආදායම මත පමණක් යැපීම යොමුවීම මත ස්වයං-උත්පාදන හැකියාවන් හීන වීමේ අවදානමයි.

අභියෝගය සහ අවදානම
ප්‍රේෂණ මත පදනම් වූ ආර්ථිකයක් නිරන්තරයෙන්ම විදේශීය සාධකවලට නිරාවරණය වී පවතී. ඒ අනුව මෙරටට ලැබෙන ප්‍රේෂණ ප්‍රමාණය සහ ගුණාත්මකභාවය කෙරෙහි බලපාන ප්‍රධාන පද්ධතිමය අවදානම් (Systemic Risks) කිහිපයකි:
අවිධිමත් මූල්‍ය පද්ධති (Undial/Hawala)බැංකු පද්ධතියෙන් බැහැරව ක්‍රියාත්මක වන උණ්ඩියල් සහ හවාලා වැනි ක්‍රම නිසා රජයට නිසි ලෙස විදේශ විනිමය ග්‍රහණය කර ගැනීමට නොහැකි විය හැකිය. මෙය රටේ මුදල් සැපයුම පාලනය කිරීමට මහ බැංකුවට ඇති හැකියාව දුර්වල කරන අතර කළු සල්ලි ශුද්ධ කිරීමේ අවදානම ද වැඩිකරන්නකි.
මානව ප්‍රාග්ධන ක්ෂය වීම (Brain Drain)
ඉහළ පුහුණුවක් සහිත වෘත්තිකයන් රට හැර යාම දිගුකාලීනව දේශීය නිෂ්පාදන ඵලදායිතාවයට මාරාන්තික පහරක් විය හැකිය. මෙය ප්‍රේෂණ වැඩි කළද, දේශීය කර්මාන්ත පවත්වාගෙන යාමට අවශ්‍ය ශ්‍රමය අහිමි කරයි.
ගෝලීය දේශපාලනික හා ආර්ථික කම්පන (Global political and Economic Shocks)
මැදපෙරදිග කලාපයේ පවතින භූ-දේශපාලනික අර්බුද හෝ ගෝලීය තෙල් මිල උච්චාවචනය වීම් ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ රැකියා සුරක්ෂිතතාවට සෘජුවම බලපෑ හැකිය.
ඕලන්ද රෝගය (Dutch Disease)
ප්‍රේෂණ මත අධික ලෙස යැපීම නිසා දේශීය මුදල් ඒකකය කෘතිමව ශක්තිමත් වීමෙන්, දේශීය අපනයනකරුවන්ගේ තරඟකාරීත්වය අඩු වීමේ අවදානමක් මතුවිය හැකිය.
ඒ අනුව විදේශ ප්‍රේෂණ විසින් සමස්ත සමාජයට සිදුකරන බලපෑම සුවිශේෂීය. සමස්තයක් ලෙස ගත්විට විදේශ ප්‍රේෂණ යනු ශ්‍රී ලංකාවට ආශිර්වාදයක් මෙන්ම අභියෝගයකි. එය ජාතික ආර්ථිකයේ ස්ථාවරත්වය සුරකින නමුත් නිෂ්පාදන ආර්ථිකයක් වෙනුවට යැපුම් ආර්ථිකයක් නිර්මාණය වීමේ අවදානම ද ඒ සමඟ පවතී. එම නිසා ප්‍රේෂණ හුදෙක් පරිභෝජනය සඳහා නොව තිරසාර සංවර්ධනය සඳහා යොදා ගැනීමට බහුවිධ ප්‍රතිපත්තිමය ප්‍රවේශයක් අවශ්‍යය.
උපායමාර්ගිකව ප්‍රේෂණවල උපරිම ඵලදායීතාව ලබා ගැනීම සඳහා රජය සහ මූල්‍ය ආයතන වෙත ආකාර කිහිපයකින් මැදිහත්විය හැකිය. එහිදී මූල්‍ය සාක්ෂරතාවය සහ ආයෝජන ප්‍රවර්ධනය වැදගත් කාරණයකි. විදේශගත ශ්‍රමිකයන් සහ ඔවුන්ගේ පවුල් සඳහා මූල්‍ය සාක්ෂරතාවය ලබා දීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සිදුකළ හැකිය. ප්‍රාදේශීය මට්ටමින් එය සිදුවෙමින් පවතියි. ප්‍රේෂණ පරිභෝජනයෙන් ඔබ්බට ගිය කුඩා පරිමාණ ව්‍යාපාර හෝ කොටස් වෙළඳපොළ වැනි ආයෝජන කරා යොමු කිරීමට විශේෂ දිරිගැන්වීම් එහිදී සිදුකළ හැකිය.
බැංකු පද්ධතිය හරහා මුදල් එවන ශ්‍රමිකයන්ට විශ්‍රාම වැටුප් ක්‍රම, අඩු පොලී නිවාස ණය සහ රක්ෂණාවරණ වැනි වරප්‍රසාද ලබා දීම මගින් අවිධිමත් මාර්ග අධෛර්යමත් කළ හැකිය.
පුහුණු ශ්‍රමික උත්පාදනය හරහා අඩු වැටුප් ලබන නුපුහුණු ශ්‍රමිකයන් වෙනුවට, ඉහළ තාක්ෂණික පුහුණුවක් සහිත ශ්‍රමිකයන් විදේශගත කිරීම කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත්ය. ඒ සම්බධයෙන් රාජ්‍ය මැදිහත්වීම තුළ වැඩසටහන් ක්‍රියාත්මක වන ආකාරය ද දැකගැනීමට තිබේ. මේ හරහා රටට ලැබෙන ප්‍රේෂණ ප්‍රමාණය මෙන්ම එම ශ්‍රමිකයන් නැවත මෙරටට පැමිණෙන විට ඔවුන් රැගෙන එන තාක්ෂණික දැනුම ද ඉහළ යයි.
විශේෂයෙන් ප්‍රතිපත්තිමය නියාමනය දෙසද අවධානය යොමුවීම වැදගත්ය. අවිධිමත් මුදල් හුවමාරු වැළැක්වීම සඳහා පවතින නීතිමය රාමුව දැඩි කිරීම සහ බැංකු පද්ධතියේ පවතින ගනුදෙනු ගාස්තු අවම කර කාර්යක්ෂමතාව ඉහළ නැංවීම එහිදී සිදුකළ හැකිය.
මෙවැනි පද්ධතිගත උපායමාර්ග හමුවේ විදේශ ප්‍රේෂණ යනු හුදෙක් පැවැත්ම සඳහා වන මාර්ගයක් නොව ශ්‍රී ලංකාවේ අනාගත සංවර්ධනයේ සැබෑ ගාමක බලවේගයක් බවට පත් කර ගැනීමේ අවකාශය පවතියි. එහෙයින් සර්ව් ආර්ථික කළමනාකරණය තුළ විදේශ ප්‍රේෂණ සුවිශේෂී බලපෑමක් සිදුකරන අතර එය පුද්ගල සංවර්ධනයේ සිට සමාජ සංවර්ධනය දක්වා වූ දීර්ඝ ක්‍රියාවලියක් ලෙස හඳුනා ගත හැකිය.




