හෙට සිට සියලුම කාර්යාල දුම්රිය සේවා ක්‍රියාත්මකයි. 18 සහ 19 දිනවලටත් විශේෂ ධාවන සැලැස්මක්!

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:අලුත් අවුරුද්ද වෙනුවෙන් කොළඹින් බැහැරට ගිය ජනතාවට නැවත කොළඹ බලා පැමිණීම වෙනුවෙන් අද දිනයේ සහ හෙට දිනයේද සම්පූර්ණ උදෑසන සහ සවස කාර්යාල දුම්රිය සේවාවන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ ගමනාගමන අධිකාරි අසංක සමරසිංහ මහතා පැවසුවේය.

මේ අතර එළඹෙන 18 සහ 19 යන දෙදින තුළත් මගීන් කොළඹට රැගෙන ඒමට විශේෂ සැලසුමක් පවතින බවයි සමරසිංහ මහතා සඳහන් කළේ.

ඒ අනුව ඊයේ දින කාර්යාල දුම්රිය සේවාවන් සම්පූර්ණයෙන් ක්‍රියාත්මක නොවූවත් හෙට උදෑසන සිට සම්පූර්ණ කාර්යාල දුම්රිය සේවාවන් නැවත ක්‍රියාත්මක කර තිබේ.

ප්‍රධාන මාර්ගය, කැලණිවැලි මාර්ගය සහ මුහුදුබඩ මාර්ගය ඔස්සේ කොළඹට පැමිණෙන සියලුම කාර්යාල දුම්රිය ධාවනය කෙරෙයි.

කැලණිවැලි මාර්ගයෙන් කාර්යාල දුම්රිය හතරක්ද, මුහුදුබඩ මාර්ගයෙන් මාතර, ගාල්ල සහ අලුත්ගම සිට කොළඹට කාර්යාල දුම්රිය කිහිපයක්ද ධාවනය කෙරෙයි.

එසේම විශේෂ දුම්රිය සේවාවන් ද ක්‍රියාත්මකය. උදාහරණයක් ලෙස, මාතර සිට අනුරාධපුරය දක්වා “රට රැජිණ” දුම්රිය ධාවනය කරමින්, එය කොළඹ හරහා නැවත මාතර දක්වා ගමන් කරයි.

මෙතෙක් කිසිදු අවලංගුවීමකින් තොරව දුම්රිය සේවාවන් ක්‍රියාත්මක කරගෙන යාම ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් සාර්ථකව කළමනාකරණය කර ඇති බවත් ඉදිරියටද අවලංගු කිරීමකින් තොරව සේවාවන් පවත්වාගෙන යාම අපේක්ෂා කරණ බවත් සමරසිංහ මහතා තවදුරටත් ප්‍රකාශ කළේය.

මෙම දුම්රිය සේවා පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව නිල වෙබ් අඩවියට පිවිස බලාගත හැකිය. එසේම 1971 දුරකථන අංකයට ඇමතුමක් ලබාගෙන හෝ ඔබ ගමන් කිරීමට බලාපොරොත්තු වන දුම්රිය ස්ථානයට ඇමතුමක් ලබාදීමෙන් තොරතුරු ලබාගත හැකියි.